හෝටලයක් සඳහා ලබාගත් අනුමැතියක් සිමෙන්ති කම්හලක් දක්වා සංශෝධනය වීම සහ ඊට අදාළ ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතුවේ.
ගුවන් තොටුපළ මෙහෙයුම්, මුතුරාජවෙල සංවේදී පරිසර පද්ධතිය සහ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යාරක්ෂාව මුල්කරගනිමින් පාර්ශ්ව රැසකගෙන් විරෝධතා.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මුතුරාජවෙල සංවේදී තෙත්බිම් කලාපයට නුදුරින් පිහිටි ලියනගමුල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මහා පරිමාණ සිමෙන්ති කර්මාන්තශාලා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ වන විට පරිසරවේදීන්, ප්‍රදේශවාසීන් සහ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල දැඩි අවධානය යොමුව තිබේ. ආරම්භයේදී සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබාගෙන පසුව එය බැර කර්මාන්තශාලාවක් දක්වා වෙනස් කිරීම සහ ඒ සඳහා අනුමැතිය හිමිවූ ආකාරය පිළිබඳව කරුණු ගණනාවක් මේ වන විට කරළියට පැමිණ ඇත.
සැලසුම් අනුමැතිය සහ මතුව ඇති මතභේද
ලබාගෙන ඇති තොරතුරුවලට අනුව, මෙම පරිශ්‍රයේ වර්ග මීටර් 3,857ක තනි මහල් හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මුල් අනුමැතිය නිකුත් කර ඇත්තේ 2025 මැයි 09 වන දිනදීය. කෙසේ වෙතත්, එම වසරේම දෙසැම්බර් 25 වන දින වන විට, වර්ග මීටර් 12,925ක භූමි ප්‍රමාණයකින් යුත් තට්ටු පහක සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කම්හලක් ඉදිකිරීම සඳහා එම සැලසුම් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
එම සංශෝධිත අනුමැතිය නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සැලසුම් අංශවල අත්සන් භාවිත වී ඇති බවට ලේඛනගත තොරතුරු පෙන්වා දුන්නද, අදාළ නිලධාරීන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් එවැනි අනුමැතියක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි. මේ හේතුවෙන් අදාළ අනුමැති පත්‍රිකාවල නීත්‍යානුකූලභාවය සහ ක්‍රියාපටිපාටිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලබයි.
පාරිසරික බලපෑම් සහ නීතිමය පසුබිම
සිමෙන්ති නිෂ්පාදනය හා ඇසුරුම්කරණය වැනි බැර කර්මාන්තයක් ආරම්භ කිරීමේදී පාරිසරික බලපෑම් ඇගයීම් (EIA) හෝ මූලික පාරිසරික පරීක්ෂණ (IEE) ක්‍රියාවලියක් අනුගමනය කිරීම සාමාන්‍ය නීතිමය පිළිවෙත වේ. එහෙත්, මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික නිර්දේශ නිකුත් කිරීමේදී සම්මත පුළුල් ඇගයීම් ක්‍රියාවලියකින් තොරව කටයුතු කර ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.
විශේෂයෙන්ම, 2021 ඔක්තෝබර් 07 දිනැති අංක 2248/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් අධි-සංවේදී පාරිසරික කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මුතුරාජවෙල රක්ෂිතයට සහ මීගමුව කළපු පරිසර පද්ධතියට මෙම භූමිය මායිම්ව පිහිටා තිබීම ගැටලුව තවත් තීව්‍ර කරයි. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සීමා නිර්ණය වාර්තා පදනම් කරගනිමින් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ, මෙම ව්‍යාපෘති භූමියෙන් හෙක්ටයාර 0.1956ක පමණ කොටසක් කළපු රක්ෂිත සහ කඩොලාන මායිමට අයත් බවට හඳුනාගෙන ඇති බවයි.
ගුවන් ආරක්ෂාව සහ මහජන සෞඛ්‍යය පිළිබඳ තාක්ෂණික පැතිකඩ
ව්‍යාපෘති පරිශ්‍රය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ධාවන පථයට ආසන්නව පිහිටීම හේතුවෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කරුණක් වේ. ගුවන් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ, විවෘත පරිසරයක සිමෙන්ති අංශු හෝ දූවිලි පැතිරීම සිදුවුවහොත්, අධික උෂ්ණත්වයකින් ක්‍රියාත්මක වන ජෙට් එන්ජින් ටර්බයින තුළ එම අංශු තැන්පත් වීමෙන් යාන්ත්‍රික දෝෂ ඇතිවීමේ අවදානමක් සහ නියමුවන්ගේ දෘශ්‍යතාවට (Visibility) බාධා එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.
මීට අමතරව, කටුනායක නිදහස් වෙළඳ කලාපය, අවට පිහිටි පාසල් පද්ධතිය මෙන්ම ධීවර හා නේවාසික ජනාවාස කලාපයක් මධ්‍යයේ මෙවැනි කර්මාන්තශාලාවක් ක්‍රියාත්මක වීම මඟින් ශ්වසන ආබාධ ඇතුළු සෞඛ්‍යමය ගැටලු මතු විය හැකි බව පවසමින් ප්‍රදේශයේ ආගමික නායකයන් සහ ජනතා නියෝජිතයන් මේ වන විට විරෝධතා මතු කර තිබේ.
සමාගම් පසුබිම සහ එල්ල වන විවේචන
මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ මෙල්වා (Melwa) සමාගම් සමූහය විසිනි. මීට පෙරද විවිධ ආයෝජන ව්‍යාපෘති සහ මූල්‍ය පහසුකම් ලබාගැනීම් සම්බන්ධයෙන් දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල විවිධ අදහස් පළවූ අතර, මෙම නව ව්‍යාපෘතියේ හිමිකාරීත්වය සහ දේශපාලන සබඳතා පිළිබඳවද විවිධ පාර්ශ්ව විසින් ප්‍රශ්න කරනු ලබයි.
කෙසේ වෙතත්, ආයෝජන ප්‍රවර්ධනය සහ කාර්මික සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය සාධකයක් වන අතරම, එම කටයුතු ජාතික ආරක්ෂාව, පාරිසරික තිරසාරභාවය සහ නීතිමය රාමුවට අනුකූලව සිදුවන්නේද යන්න තහවුරු කිරීම රජයේ වගකීම බව ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ අදහසයි.
මෙම ව්‍යාපෘතියට අදාළ අනුමැතීන් ලබාදීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර, ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම ගුවන් මෙහෙයුම්වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකිරීම අදාළ බලධාරීන් සතු ප්‍රමුඛ කාර්යභාරය වී තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් වූ ''රෙඩ් ඇලට් '' විශේෂ වීඩියෝ වැඩසටහනක් මතු පළවේ.
සබැඳි පුවත් :
කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියරටත් තර්ජනයක් වූ ලියනගෙමුල්ලේ සිමෙන්ති කම්හල ගැන පාර්ලිමේන්තුවේදීත් හෙළිදරව්වක්






