theleaderlk 01

(පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල හිටපු අමාත්‍යවරිය සමග මාධ්‍යවේදී ජයසිරි අලවත්ත සිදුකළ සම්මුඛ සකච්ජාවකි)


ප්‍රශ්නය : පහුගියදා ඔබ ඉතා බරපතළ ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස්වුනා. තවමත් ඒ ගැන සමාජයේ දැඩි කතාබහකට ලක්වෙනවා. ඒත් ඔබ දැන් නිහඬයි.. මොකද්ද ඒකට හේතුව ?

තලතා :
මම කිසිසේත්ම නිහඬ නෑ. එදා මම මතු කළ ප්‍රධාන කාරණයට තමයි මේ මොහොතෙ පවා මුළු රටේම කේන්ද්‍රීය අවධානය යොමුවෙලා තියෙන්නෙ. ඒකෙ කාලීන වැදගත්කම පෙන්නලා දෙන්න තමයි මම මගේ මන්ත්‍රී ධූරය පවා පරිත්‍යාග කළේ. ඒත් ඒක රටේ කොච්චර කතාබහට ලක්වුනත් අවශ්‍ය කෙනාට තවමත් ඒකෙ වැදගත්කම දැනිලා නෑ. ඔහුට දැනෙන්නෙ නැත්නම් වෙන කාට දැනුනත් වැඩකුත් නෑ. තව එච්චර කාලෙකුත් නෑ. හරියටම සති දෙකයි තියෙන්නෙ. අවසාන මොහොතෙ හරි ඔහුට ඒක අවබෝධ වුනොත් අපි ඔක්කොම දිනුම්. අපේ රටත් දිනුම්. එහෙම නැති වුනොත් අපි ඔක්කොමත් පරාදයි. අපේ රටත් විනාශයි. ආයෙ අපේ ජීවිත කාලය තුළ නම් අපිට ආණ්ඩු බලය හීනයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ අවසාන දින කීපය ඇතුළත හරි ඔහු ඒක තේරුම් ගනීවි කියලා මම හිතනවා. එහෙම වුනොත් විතරක් අපිත් දිනුම් රටත් දිනුම්.


ප්‍රශ්නය : ඔබ ඔය වක්‍රව කියන්නෙ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්තයා ගැනද ?

තලතා :
වක්‍රව නෙවෙයි මම සෘජුව කියන්නෙ ඔහු ගැන තමයි. අනෙක මේ කතාව මම නෙවෙයි මුලින්ම කිව්වෙ. අපේ දිවංගත මංගල සමරවීර මැතිතුමා. ඒ බව එතුමාට දැනුනෙ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දුන්නට පස්සේ. ඒ අනුව තමයි එතුමා මැතිවරණයට කලින් ප්‍රකාශයක් කරලා තරඟයෙන්  ඉල්ලා අස්වුනේ. ඒ නිසා ඔහුට පාර්ලිමේන්තු එන්නත් බැරිවුනා. එවැනි ප්‍රතිපත්තිගරුක සත්‍යවාදී මිනිස්සුන්ට සජබය තුළ ඉඩක් නෑ. ඊළඟට සරත් ෆොන්සේකා මැතිතුමා. ඔහු සමගි ජන බලවේගයේ සභාපති හැටියට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තුවට ආපු රටම පිළිගත්ත චරිතයක්. යුධ ජයග්‍රහණය තමන්ගෙ මල්ලට දාගන්න රාජපක‍ෂලා කොච්චර උත්සාහ ගත්තත් යුද්ධය කියපු ගමන් මිනිස්සුන්ට මතක් වෙන්නෙ සරත් ෆොන්සේකා. ඔහුටත් පල නොකිය පලා ඛෙදපු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැන අද ඔහු කියන කතාව ඇත්ත.


මංගල සහ ෆොන්සේකා දෙන්නම සමගි ජන බලවේගයෙන් එලියට ගියේ මට කලින්. ඔවුන් දෙදෙනාම කතා කරන වචනවල ලොකු බරක් තියෙනවා. ඔවුන් වැඩ කරන්නෙ පැහැදිලි දැක්මක් වගකීමක් අවබෝධයක් ඇතිව. ඒ නිසා ඔවුන් කියන දේට සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙනවා. සජිත් ප්‍රේමදාස කියන චරිතය ගැන එවැනි පිළිගැනීමක් ජනතාව තුළ ගොඩනැගිල නෑ. ඔහු කට පුරෝලා පොරොන්දු දුන්නට ඒ ගැන කිසිදු වගවීමක් නෑ. 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට මුහුණ දෙන්න බැරිව සෑහෙන කාලයක් හැංගිලා හිටිය ආකාරය ජනතාවට අමතක නෑ.


එදා මංගලට ෆොන්සේකට දැනුණ දේ මටත් ඒ විදියටම දැනුණ නිසා තමයි අද මම මේ තීරණය ගත්තේ. ඒ නිසා මගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශයත් එවැනි තීරණාත්මක අවස්ථාවක කරපු එකක් බව ඊට අදාළ නිසි බරතැබීමක් එක්ක ඔබ වටහා ගතයුතුයි.

කොකාගෙ සුද පෙනෙන්නෙ ඌ ඉගිලෙන කොට කියලා කතාවක් තියෙනවානෙ...

ප්‍රශ්නය : එතකොට ඔබ එදා රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරලා ඔහුට එරෙහිව සජිත් ප්‍රේමදාසත් එක්ක එලියට බහින අවස්ථාවෙ ඔය තත්වය දැක්කෙ නැද්ද ?

තලතා :

කොකාගෙ සුද පෙනෙන්නෙ ඌ ඉගිලෙන කොට කියලා කතාවක් තියෙනවානෙ. මට වෙලාවකට හිතෙනවා ඒ කතාව කියන්න ඇත්තෙ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගැනම හිතලදෝ කියලත්. මොකද එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එජාප නායකයා වෙලා ඉන්න කාලෙ මෙතුමා හිටියෙ නියෝජ්‍ය නායකයා විදියට. රනිල් වික්‍රමසිංහ දෙවෙනි වතාවටත් ජනාධිපතිවරණය පැරදුන මොහොතෙ ඉඳලා ඔහුට පක‍ෂයෙන් ඉවත් වෙන්න කියන ඉල්ලීම එදා ප්‍රබලව මතුවුනා. එතැන ඉඳලා තව ජනාධිපතිවරණ තුනකට මුහුණ දීලා ඉන් දෙකක්ම පැරදුනත් ඔහු නායකත්වය අත්හැරියෙ නෑ. ඒ ඇයි කියන කාරණය දැන්නම් අපිට ඕනවටත් වඩා පැහැදිලියි.

ඒත් එදා අපි හිතුවෙ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා තමන් නායකයා වුනාම කරන දේ හිතේ මවලා අතේ පැළකරලා පෙන්නන විදිහට ඔහු අපේ නායකයා වුනොත් රටම දිනවන්න පුළුවන් වෙයි කියලා. ඒකයි අන්තිමට සමගි ජන බලවේගය හදලා ඔහුත් එක්ක එලියට බැස්සේ. ඒත් ඔහු නායකයා වුනාට පස්සෙ ඔහුගෙ නායකත්ව  භූමිකාවෙන් හෙම්බත් වුන අපි හැමෝටම තේරුණා ඒ අතින් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය කොයිතරම් ප්‍රබල ප්‍රායෝගික විශ්වසනීය එකක්ද කියලා. පස්සෙ ඔහු ජනාධිපති වුනාට පස්සෙත් අපි හැමෝම වගේ ඉවසගෙන හිටියෙ අපිට ආපහු හැරෙන්න බැරි නිසා. එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජ්‍ය නායකයා හැටියට ඉන්දෙද්දී තමන් නායකයා වුනාම කටයුතු කරන විදිය අතේ පැළකරලා අපට පෙන්නපු ආකාරයටම තමයි වත්මන් විපක්ෂ නායක භූමිකාවෙ ඉඳගෙන ජනාධිපතිවරයා වුනොත් කරන දේ ඔහු අද රටට පෙන්නන්නෙත්. ඒකට අපි ආයෙ අහුවෙන්නෙ නෑ. ජනතාවට අහුවෙන්න දෙන්නෙත් නෑ. අපි ඒ ගොනා වික්කා. අන්න ඒ වෙනුවෙන් තමයි මගේ මේ සටන.

ප්‍රශ්නය : දැන් ඔබ කියන්නෙ සජිත් ජනාධිපතිවරණ සටනින් ඉවත්වෙලා රනිල්ට ඉඩ දෙන්න කියලද ?

තලතා :

ඇත්තටම ඒක මම කියන එකක් නෙවෙයි. තමන්ගෙ රට ගැන හිතේ කොනක හරි කිසියම් හැඟීමක් තියෙනවා නම් ඒ වගේම මේ රටේ ජනතාව අවුරුදු තුනක් තිස්සෙ විඳවන හැටි පේනවා නම් ඒක තමයි ඕනම නායකයෙක් මේ මොහොතෙ ගන්න ඕන තීරණය. විශේෂයෙන් එක්සත් ජාතික පක‍ෂයේ මුල් තියෙන අපිට ඒක අනෙක් හැමෝටම වඩා දැනෙනවා. රාජපක‍ෂ කල්ලිය මේ රට කඩා වට්ටලා බංකොලොත් කරලා පැනල ගියාට පස්සේ ඒක ගොඩගත්තේ අපේ පැරණි නායකයා. ඒක ගැන අපි එක්සත් ජාතික පක‍ෂයෙන් දේශපාලනයේ 'අ' යන්න කියපු හැමෝටම දැනෙන්නෙ යම් නිහතමානී ආඩම්බරයක්. ඉතිං ඒ ව්‍යායාමය සම්පූර්ණ කරන්න ඔහුට ඉඩනොදී පටු ආත්මාර්ථකාමී තනි පුද්ගල න්‍යාය පත්‍රයක් වෙනුවෙන් අපේ පක‍ෂයයි අපේ ජනතාවයි අපේ රටයි තුනම විනාශ කරගන්න කොහොමටවත් ඉඩදෙන්න බෑ.  ඒ කතාව දැනට මගෙන් විතරක් එලියට පැන්නට අපි හැමෝගෙම හෘද සාක‍ෂිය ඇතුළෙ කැකෑරෙමින් තියෙන ඇත්ත ආයාචනය ඒක තමයි. ඒ අයත් හෙට අනිද්ද වැල නොකැඩී එලියට බහින්න පටන් ගත්තම ඒ බව ඉතා ඉක්මණින් ඔබට බලාගන්න පුළුවන්. ඇත්තටම මේ මොහොතෙ වැදගත් වෙන්නෙ දිනන රටක් මිසක් දිනන සජිත් කියන සටන් පාඨය නෙවෙයි.

 

සමගි ජන සන්ධානය කියන්නෙ හුදු වචන කීපයක් විතරයි...

ප්‍රශ්නය : ඔබ කොහොම කිව්වත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙනකොට සමගි ජන බලවේගය පුළුල් කරලා සමගි ජන සන්ධානය විදියට දැවැන්ත ශක්තිමත් බල කඳවුරක්  ගොඩනගල ඉවරයි. ඔබ කියන්නෙ තමන්ගෙ ජයග්‍රහණය පෙනි පෙනී ඒක පැත්තකට දාල රනිල්ට එකතු වෙන්න කියලද ?

තලතා :

ඒක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකතනයක්. සමගි ජන සන්ධානය කියන්නෙ හුදු වචන කීපයක් විතරයි. එවැනි සන්ධාන පහුගිය අවුරුද්ද ඇතුළත විතරක් කීයක් නම් හැදුනද? ඒව නිකං බෝඩ් ලෑලි විතරයි. උදාහරණයකට කිව්වොත් උත්තර ලංකා සභාගයද මොකද්ද බර වචන තියෙන නමක් දාගෙන විමල් වීරවංශ මහත්තයලා ඔය වගේම දැවැන්ත බල කඳවුරක් හැදුවයි කිව්වා. ඊට පස්සේ දැන් ඔවුන් සර්ව ජන බලයද මොකද්ද කියලා වෙන එකක් හදාගෙන ඒක පාවිච්චි කරලා කොමියුනිස්ට් පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනවා. සමගි ජන සන්ධානය කියන්නෙත් ඒ වගේ දේශපාලන අච්චාරුවක් විතරයි.

ගෝඨාභයගෙ නැව ගිල්ලවලා ඒකෙන් පැනපු හොරු ටික තමයි දැන් මේක හසුරුවන්නේ. මේ වගේ තීරණාත්මක වෙලාවක එවැනි පද පෙරළි යොදාගෙන ජනාතාවට විහිළු සපයන නායකයෙකුට කොහොමටවත් මේ රට භාරදෙන්න ජනතාව කැමැති වෙන්නෙ නෑ. ඔහු හොරු අල්ලන බව කියලා කෑ මොර දුන්නට හොරු ටික ඔහුව අල්ලගෙන ඉවරයි. ඔහු දැන් ඉන්නෙ මේ රට බංකොලොත් කළ භයානකම හොරු කල්ලියක අත් අඩංගුවෙ.


ප්‍රශ්නය : ඔබ මේ කතා කරන විදියෙන් පේන්නෙ සජිත් ප්‍රේමදාස මහත්තයා මෙතෙක් ගත්ත උත්සාහය සහමුලින්ම අත්හැරලා දාලා අත පිහදා ගෙන පැත්තකට වෙන්න කියන එකද ?  

තලතා :
කොහෙත්ම නෑ. හොඳට බලන්න. අපේ රටේ හිටපු ජනාධිපතිවරු අට දෙනාගෙන් ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක‍ෂ, රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරු හය දෙනාම ජනාධිපති වෙන්න කලින් අගමැති වෙලා අත්දැකීම් ගත්ත අය. මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක‍ෂ විතරයි අගමැති නොවී ජනාධිපති වෙලා තියෙන්නෙ. අනෙක් හයදෙනාට සාපේක‍ෂව ඒ දෙන්නා කොයිතරම් අසාර්ථක වුනාද බලන්න. ඒ නිසා තමයි මම පැහැදිලිවම කියන්නෙ ගෝඨාභය -2 අපිට එපා කියලා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහත්තය කළයුතුව තිබුණෙ රනිල් මහත්තය ජනාධිපති වූ සැණින් ඔහුට සහයෝගය දීලා මේ පාර අගමැති වෙලා ඊළඟ සැරේ ජනාධිපති වෙන එක. එහෙම වුනා නම් ඔය නාමිකව හදාගන්න කාඩ්බෝඩ් බල කඳවුරු වගේ නෙවෙයි ඇත්ත බල කඳවුර දැනටමත් නිර්මාණය වෙලා ඉවරයි.
 
 
සමගිය බලය වීමයි බලයට සමගි වීමයි කියන්නෙ දෙකක්....

ප්‍රශ්නය : ඒත් දැන් ඒ දෙන්නම අපේක්ෂකයො වෙලා ඉවරයි. ඒ නිසා සජිත් මහත්තය ඒකට කැමති වුනත් දැන් පරක්කු වැඩියි නේද ? ඒ ගැන මොකද ඔබ කියන්නෙ ?

තලතා :
නෑ. කිසිම ප්‍රමාදයක් නෑ. ඇත්තටම ඔහු ඒක අවබෝධ කරගත්ත නම් ලැයිස්තුවෙ නම තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ජනතාව බුද්ධිමත්. ඔවුන් එවැනි තීරණයක් ඔහුගෙන් දැන් එයි දැන් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අද ජාතික ජන බලවේගය ජනතාව පිරිවරාගෙන සමගියේ බලය රටට පෙන්නන්න වෙහෙසෙන කොට හතර වටේ අනාථ වෙච්ච හොරු ටික අපේ සමගි ජන බලවේගය ඇතුළට ඇවිල්ලා බලයට සමගි වෙන්න කෘතිම වෙහෙසක් ගන්න විදිහ ජනතාවට පේනවා. සමගිය බලය වීමයි බලයට සමගි වීමයි කියන්නෙ දෙකක්.

ඒ නිසා අපේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සියලූ කොටස් නැවත එකතු වුනා නම් මේ රටේ දැවැන්තම සමගිය රටට පෙන්නන්න ඒ හොඳටම ඇති. එතන තමයි අපේ පක්ෂයේ ජයග්‍රහණයත් රටේ ජයග්‍රණයත් ජනතාවගේ ජයග්‍රහණයත් එකට මුණ ගැහෙන තීරණාතමක හැරවුම් ලක්ෂය නිර්මාණය වෙන්නෙ.

(සංවාද සටහන - ජයසිරි අලවත්ත)

pe2024 2

worky sin

නවතම පුවත්