Gen-Z පරම්පරාව, දෙමාපිය පීඩනය සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැඟවුණු අර්බුදය ගැන රංජන් පරණවිතානගෙන් විග්‍රහයක්
තාක්ෂණය සහ මුදල් ගලා එද්දී පිටියෙන් ගිලිහෙන කැපවීම හා පුවත්පත් කලාවේ ඉරණම
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමින් විශාල මුදල් සංසරණයක් සහ නවීන තාක්ෂණික පහසුකම් සහිත යුගයකට පිවිස සිටියද, ක්‍රීඩකයින්ගේ ආකල්පමය වර්ධනය, කැපවීම සහ මූලික ක්‍රීඩා සංස්කෘතිය තුළ බරපතළ පසුබෑමක් දක්නට ලැබෙන බව ක්‍රීඩා පරිපාලන හා පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම ප්‍රකට කාටූන් ශිල්පියෙකු වන රංජන් පරණවිතාන පෙන්වා දෙයි.
සටහන:
කළුතර විද්‍යාලයේ ක්‍රීඩකයෙකු වූ රංජන් පරණවිතාන, අනතුරුව පුහුණුකරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති අතර වයස අවුරුදු 21දී ශ්‍රී ලංකා පොලිස් ලාංඡනය ජනරජ ලාංඡනය සහ සිංහල අකුරු සහිතව වර්තමාන මුහුණුවරට ප්‍රතිනිර්මාණය කළ නිර්මාණකරුවා ද වේ. එසේම 'මැම්බර් හාමු' / 'රංජන්ගේ මැම්බර්' දේශපාලන කාටූනය හරහා දශක ගණනාවක් පුරා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ ප්‍රවීණයෙකි.
TV සුප්‍රීම් නාලිකාවේ විකාශය වූ ''මචං'' (MACHAN) සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් මාධ්‍යවේදී ශානුක කරුණාරත්න සමඟ අදහස් දැක්වූ රංජන් පරණවිතාන, මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය, නව පරපුරේ හැසිරීම් සහ මාධ්‍ය භාවිතය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.
ඩොලර් වැසි මැද ගිලිහෙන 'ලෝයල්ටි' සහ කැපවීම
1982 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබන යුගයේ ක්‍රීඩකයින් මුහුණ දුන් සීමිත පහසුකම් සහ වර්තමාන වෘත්තීය පරිසරය සංසන්දනය කරමින් අදහස් දැක්වූ පරණවිතාන, අතීත ක්‍රීඩකයින් සාමාන්‍ය රැකියාවක නිරත වෙමින්, සවස් කාලයේ පැය කිහිපයක පුහුණුවකින් ජාත්‍යන්තර මට්ටම ජයගත් අයුරු සිහිපත් කළේය.
"එදා ටෙස්ට් දීමනාව දිනකට ලැබුණේ රුපියල් 500ක් වගේ මුදලක්. ඒත් එදා ක්‍රීඩකයින් තුළ පාසලට, ක්‍රීඩා සමාජයට සහ රටට තිබූ කැපවීම (Loyalty) අතිමහත්. අද ක්‍රීඩකයින්ට ඩොලර් දහස් ගණනින් මුදල් හා ඉහළම පහසුකම් ලැබෙනවා. නමුත් මුදල් මූලික වීම නිසා එදා තිබූ පක්ෂපාතීත්වය සහ දැඩි කැපවීම අද ක්‍රීඩාවෙන් ක්‍රමයෙන් ඈත් වෙලා," යනුවෙන් ඔහු සඳහන් කළේය.
දෙමාපියන්ගේ පීඩනය සහ 'Gen-Z' පරම්පරාවේ අභියෝගය
වර්තමාන පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස දෙමාපියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම ඔහු පෙන්වා දෙයි. කණ්ඩායමේ සාමූහික ජයග්‍රහණයට වඩා තම දරුවා ලබාගන්නා ලකුණු හෝ කඩුලු සංඛ්‍යාව (Scores) පමණක් මුල් කරගනිමින් සංසන්දනය කිරීම නිසා ළමුන් දැඩි මානසික පීඩනයකට ලක්වන බව ඔහු පවසයි.
අසීරු මොහොතක පීඩනය කළමනාකරණය කරගැනීමේ හැකියාව හෝ නිවැරදි පිතිකරණ/පන්දු යැවීමේ තාක්ෂණය (Technique) නොසලකා, හුදු ලකුණු පුවරුවේ සංඛ්‍යාලේඛන මත පමණක් දක්ෂතා මැනීම ක්‍රීඩාවේ ගුණාත්මකභාවය පිරිහීමට හේතු වී තිබේ.
මීට අමතරව, ස්මාර්ට් දුරකථන භාවිතය, රාත්‍රී නිදි වැරීම, ක්ෂණික ආහාර රටාව සහ ක්‍රීඩාවේ ඉතිහාසය හෝ න්‍යායාත්මක කරුණු හැදෑරීමට ඇති උනන්දුව අඩුවීම හේතුවෙන් නව පරම්පරාවේ (Gen-Z) කායික හා මානසික ජවය අඩාල වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. සුළු ආබාධයකදී පවා ස්වභාවික ශාරීරික දැඩිභාවයකින් තොරව, මානසිකව ෆිසියෝ (Physio) මත පමණක් අධික ලෙස යැපීමට නවක ක්‍රීඩකයින් පෙළඹී සිටින ආකාරය ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රමය සහ ප්‍රාදේශීය යටිතල පහසුකම්
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය හරහා ඉන්දියාව සිය නවක දක්ෂතා ඔප්නංවා ගත්තද, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වැනි ෆ්‍රැන්චයිස් තරග රටාව ශ්‍රී ලංකාව වැනි රටවල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික හැදෑරීම් කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව පරණවිතාන ගේ අදහසයි.
ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, යාපනයේ සෙන් ජෝන්ස් සහ හාට්ලි වැනි විද්‍යාලවලින් විජයකාන්ත් වියස්කාන්ත් වැනි දක්ෂ ක්‍රීඩකයින් බිහිවුවද, පාසල් මට්ටමෙන් පසු ඔවුන්ට ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් ක්‍රීඩා සමාජ ව්‍යුහයක් හෝ තණතිලි නඩත්තු කිරීමේ පහසුකම් උතුරු පළාත තුළ නොමැති වීම බරපතළ අඩුවක් බවයි. එසේම ජාත්‍යන්තර මට්ටමේ තණතිලි නඩත්තුව සඳහා විද්‍යාත්මක පුහුණුවක් ලත් කියුරේටර්වරුන්ගේ (Curators) හිඟයද මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රගතියට බාධාවක්ව පවතී.
ක්‍රීඩා මාධ්‍ය කලාව සහ පුවත්පත් ක්ෂේත්‍රයේ පසුබෑම
ක්‍රීඩා මාධ්‍ය වාර්තාකරණයේ පවතින ප්‍රවණතා පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, වර්තමානයේ බොහෝ මාධ්‍යවේදීන් ක්‍රීඩාංගණ වෙත නොගොස්, හුදෙක් අන්තර්ජාල සංඛ්‍යාලේඛන හෝ ගොසිප් පදනම් කරගනිමින් වාර්තාකරණයේ යෙදීම ක්‍රීඩා මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය පහත වැටීමට හේතු වී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම, උදෑසන රූපවාහිනී නාලිකා ඔස්සේ පුවත්පත් සිරස්තල කියවීම සහ ඩිජිටල් තිර පරිහරණය ඉහළ යාම හේතුවෙන් ජනතාව ගැඹුරු කියවීම්වලින් ඈත්වීම, සමස්ත පුවත්පත් කර්මාන්තය මුහුණ දී ඇති ආර්ථික හා පැවැත්ම පිළිබඳ අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
'ගරාජ් ප්‍රඩක්ෂන්' වෙතින් නිෂ්පාදය කෙරෙන 'මචං (MACHAN) | '' වැඩසටහන සතියේ සෑම බදාදා දිනකම රාත්‍රී 9.30ට TV සුප්‍රීම් රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට සමගාමිව ඩයලොග් TV (12) හා පියෝ TV (122) නාලිකා ඔස්සේ විකාශය වේ,








