දැඩි කැපවීමකින් හා අභියෝග මැද ප්‍රකාශන ක්ෂේත්‍රයේ දස වසරක් සම්පූර්ණ කරන 'කවිවර' හිමිකාරිය කාංචනා (කවී) කරුණාරත්න, ‘සරග’ සාහිත්‍ය කලා හෝරාව සමග කළ විශේෂ කතාබහ.
''කවිවරට දහයයි - පොත් දහයයි'': සාහිත්‍ය කෘති 10ක් ජනගත කිරීමේ සැඳෑව සහ දස වසරක ප්‍රකාශන චාරිකාවේ අත්දැකීම් ගැන කාංචනාගෙන් හෙළිදරව්වක්.
පොත් කියවීමෙන් මිනිසාට ලැබෙන ප්‍රයෝජන මොනවා දැයි කිසිවකු ගෙන් කිසිවකු ප්‍රශ්න කළ හොත් ඒ, එක් එක් පුද්ගලයා සතුව විවිධාකාරයේ පිළිතුරු තිබිය හැකි ය.
ඒ අතුරින්: චින්තන ශක්තිය සහ පරිකල්පනය දියුණු වීම, භාෂා කුසලතාව සහ වචන මාලාව දියුණු වීම, දැනුම සහ අවබෝධය වර්ධනය වීම, යහපත් ගුණධර්ම සහ සහකම්පනය ඇති වීම සහ මානසික ආතතිය අඩු වීම යනාදිය ප්‍රමුඛ විය හැකි ය.
මේ සියල්ල හෝ ඒ අතුරින් යම් කරුණක් ඉටු වීමට නම් කිසියම්: ලේඛයෙක්, ලේඛිකාවක් හෝ ලේඛක ලේඛිකා කණ්ඩායමක් සිය අදහස් අකුරු කළ යුතු ය; යට කී පිරිස අතුරින් කිසිවකු හෝ සිය අදහස් අකුරු කළ ද පාඨක ප්‍රජාවට ඒවා කියවීමට නම් ඒ සියලු අදහස් පොත් ලෙස මුද්‍රණය වී සමාජ ගතවිය යුතු ය. එසේ වන්නට පොත් ප්‍රකාශකවරයකු හෝ ප්‍රකාශකවරියක සිටිය යුතු ම ය.
''ඇයි කතුවර කතුවරියන්ට ම ප්‍රකාශනයත් කරන්න බැරි ද…" යැයි කිසිවකු විමසිය හැකි ය. එසේ කළ හැකි ය. නමුදු පොත් නිසි ලෙස පාඨක ප්‍රජාව අතරට යෑමට නම් ප්‍රකාශන ආයතනයක් හරහා ම සිදු කළ යුතු ය; එය අවිවාදිත ය.
එහෙත් ප්‍රකාශන භූමිකාව යනු සරල කටයුත්තක් නොවේ. පොතක අත් පිටපතක් භාර ගැනීමේ සිට එය මුද්‍රණද්වාරයෙන් පිටවන තෙක් පමණක් නොව එය පාඨක ප්‍රජාව අතරට රැගෙන යෑමේ දී ද දැඩි වෙහෙසක් දැරීම මෙන් ම දැඩි කැපවීමක් ද කළ යුතු ය. මේ වෙහෙස සහ කැපවීම ප්‍රකාශකවරයකු දරාගන්නා තරමට ම ප්‍රකාශකවරියකට ද දරාගැනීමට හැකි ද…?
සාපේක්ෂව ගත් කළ ප්‍රකාශකවරයකුට වඩා ප්‍රකාශකවරියකට එකී වෙහෙස සහ කැපවීම දරාගත නොහැකි ය; එහෙත් එම කැපවීම දරාගත හැකි ප්‍රකාශකවරියන් ද මේ වන විට ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිති.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ ද යට කී ආකාරයේ වෙහෙස දරාගනිමින්, දැඩි කැපවීමකින් ප්‍රකාශන ක්ෂේත්‍රයේ නව වසරක් රැඳී සිට දසවන වසරට පා තබන ප්‍රකාශකවරියකි.
ඇය නමින් කාන්චනා (කවී) කරුණාරත්න ය; ඇගේ ප්‍රකාශන ආයතනය ''කවිවර ප්‍රකාශන'' නම් වේ. ඇය ප්‍රකාශන ක්ෂේත්‍රයට පා තබා පියවරෙන් පියවර පැමිණ මෙම මස 13වන දිනට වසර දහයකි. එය නිමිති කරගනිමින් ''කවිවරට දහය යි පොත් දහය යි'' යන මැයෙන් නවතම සාහිත්‍ය කෘති දහයක් ජනගත කිරීමේ ''කවිවර පියවර සොඳුරු සැඳෑව'' යන මැයෙන් පවත්වන පොත් ජනගත කිරීම මෙම මස දහවන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී පැවැත් වේ.
මතු පළ වන්නේ ''කවිවර පියවර සොඳුරු සැඳැව'' පිළිබඳව කවිවර ප්‍රකාශන ආයතනයේ සන්තකාරිය වන කාංචනා (කවී) කරුණාරත්න සමග The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)








