සැප්තැම්බර් සාහිත්‍ය මාසයට එල්ල වන විවේචන සහ 27 වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සැබෑ අභියෝග ගැන අභිනව සභාපතිවරයා ‘ලීඩර් ටීවී’ සමඟ හෙළි කරයි.
‘පොත් වෙළෙන්දෝ මඩිය තරකර ගන්නවා’ කියන කතාව ඇත්තක්ද? වසර 39ක පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ගමන්මග සහ කලාවේ අනාගතය ගැන විවෘත කතාබහක්.
අපි භාවිත කරන දින දර්ශනයෙහි අන්තර්ගත මාස දොළහකි. එම මාස දෙළහෙන්: දෙසැම්බර්, ජනවාරි, අප්‍රියෙල්, මැයි, ජුනි සහ ජූලි එනම් මාස හයක් ම විවිධ උත්සව අවස්ථා සඳහා වෙන් කර ඇත. ඒ සෑම මාසයක ම වෙළෙන්දෝ මෙන් ම පාරිභෝගිකයෝ ද බිහි වෙති. එම මාස හයෙහි වෙළඳාමේ යෙදෙන්න්ට ද පාරිභෝගිකයන්ට ද කිසිදු බාධාවකින් තොරව තම තමන් ගේ කටයුතු කරගත හැකි ය.
මේ අතරට සැප්තැම්බර් මාසය ද කිසියම් විශේෂ මාසයක් ලෙස නම් කර ඇත. යට සඳහන් කළ මාස හය තුළ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් ලෙස තම සිතුම් පැතුම් ඉටු කරගන්නා අය ම සැප්තැම්බර් මාසයේ දී තම සිතුම් පැතුම් ඉටු කරගන්නා අය දෙස වපරැසින් බලති; 'සාහිත්‍ය මාසෙ කියන්නෙ පොත් විකුණන මාසෙ' යැයි කියති, 'පොත් වෙළෙන්දෝ මඩිය තර කරගන්නා මාසෙ' යැයි කියති. ඒ අපේ ජනතාව ගේ විධිය යි. එබැවින් සැප්තැම්බර් මාසය පොත් වෙළෙන්දන් ගේ මාසය යැයි ඇතැමුන් පරිභව කළ ද ඒ කිසිදු පරිභවයක් මායිම් නොකර ලංකාවේ ''ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය'' නමින් සංගමයක් පිහිටුවී ය. එය පිහිටුවා මේ වන විට වසර වසර 39කි.
ඔවුන් විසින් සංවිධානය කරනු ලබන පොත් ප්‍රදර්ශනය පළමුව පැවැත්වූයේ කොළඹ කලා භවනේ ය. අනතුරුව එය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට රැගෙන ආවේ ය. මෙවර පැවැත්වෙන්නේ එහි 27වන පොත් ප්‍රදර්ශනය යි.
මේ වන විට එම සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ මරදාන සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි ය. මෙවර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ ඔහු ය.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අභිනව සභාපති, සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)








