leader s

ගෝලීය වශයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රෝග අතර දෙවන ස්ථානයේ පිළිකාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව තුළ ද වාර්ෂිකව පිළිකා රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමිකින් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2022 වසරේදී මෙරටින් නව පිළිකා රෝගීන් 33,243ක් වාර්තා වී තිබෙන අතර, එම වර්ෂයේදී මරණ 19,145ක් වාර්තා වී තිබේ.

මෙරට පිරිමි පුද්ගලයින් අතර වාර්තා වන පිළිකා අතර පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වාර්තාවීම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. 2022 වසරේදී පමණක් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා රෝගීන් 1,019ක් මෙරටින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනාවරණය කරයි.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව යනු කුමක් ද?

 

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව යනු ලෝකය පුරා සිටින පුරුෂයින්ට බලපාන සෞඛ්‍ය ගැටලුවකි. මේ පිළිකා තත්ත්වය ලෝකයේ පිරිමින් අතර දෙවන ස්ථානයේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මෞත්‍ර ලිංගික සහ වකුගඩු බද්ධ කිරීමේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි යසුනි මාණික්කගේ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.

 

පුරස්ථි ග්‍රන්ථි පිළිකාව මුල් අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව ඇය කියා සිටියා ය.

 

'පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව ඕනෑම වයසකදී ඇතිවෙන්න පුළුවන්. වයස අවුරුදු 50ට වැඩි පුරුෂයින්ට සැලකිය යුතු වැඩි අවදානමක් තියෙනවා. වයස වැඩිවෙන්න වැඩිවෙන්න අවදානම වැඩියි.'

 

"පුරස්ථි ග්‍රන්ථිය පිරිමි පුද්ගලයින්ට පමණක් තියෙන අවයවයක්. පුරස්ථි ග්‍රන්ථිය පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතියේ කොටසක්. මේක පිහිටලා තියෙන්නේ මුත්‍රාශයත් ගුද මාර්ගයත් අතර පිහිටි ප්‍රදේශයේයි. මේක හැඩයෙන් වටකුරු හැඩයක් තියෙන්නේ. මේ ග්‍රන්ථිය වෝල්න්ට් ගෙඩියක විතර ප්‍රමාණයක් ගන්නවා. පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රධාන කාර්ය වන්නේ ශුක්‍රාණු පිටවීමේ ද්‍රවයක් නිපදවීම තමයි ඒ ග්‍රන්ථියෙන් සිදුවෙන්නේ."

 

''සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් වයසට යන විට පුරස්ථි ග්‍රන්ථිය අධි වර්ධනයක් දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය ගැන වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරන්නේ BPH එහෙම නැත්නම් Benign prostatic hyperplsia කියලා.''

''වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් 50%කට වැඩි පිරිසකට පුරස්ථි ග්‍රන්ථිය අධි වර්ධන තත්ත්වයක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවුරුදු 85 ට වැඩි පිරිසෙන් 90% කට වැඩි පිරිසකට මේ තත්ත්වය ඇතිවෙනවා. මෙහෙම පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා ජීවන තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපෑමක් එල්ල කෙරෙනවා." ඇය පැවසුවාය.

'අවුරුදු 40ට වැඩි නම් කල්පනාවෙන්'

 

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි යසුනි මාණික්කගේ සඳහන් කර සිටියේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වය පවුලේ යමෙකු ගොදුරු වී තිබුණානම් අනෙක් පිරිමි පුද්ගලයින් වයස අවුරුදු 40 සිට තමන් පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි.

 

ca2'ජෛව සාම්පල් පරීක්ෂාවක් කරනවා. ඒ වගේම MRI පරික්ෂණ වගේම මෙම පිළිකාව අස්ථි වලට පැතිරිලා ද කියලා බලන්න වෙනම පරීක්ෂණයක් කරලා බලනවා.'

"පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාව ඕනෑම වයසකදී ඇතිවෙන්න පුළුවන්. වයස අවුරුදු 50ට වැඩි පුරුෂයින්ට සැලකිය යුතු වැඩි අවදානමක් තියෙනවා. වයස වැඩිවෙන්න වැඩිවෙන්න අවදානම වැඩියි. වයස අවුරුදු 60-70 අතර පිරිමි පුද්ගලයින්ට මේ තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් තියෙනවා. හැබැයි තමන්ගේ පවුලේ ඉතිහාසයේ කාට හෝ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා නම් වයස අවුරුදු 40ට වැඩි පිරිමි පුද්ගලයින් ඒ ගැන සැලකිල්ලෙන් සිටිම අත්‍යාවශ්‍යයි.''

''මේ පිළිකා තත්ත්වය ඇතිවීමට නිශ්චිත හේතුවක් තවම හඳුනාගෙන නැහැ. වයස, හෝමෝන සහ ජානමය තත්ත්වයන් මේකට හේතු වෙන්න පුළුවන්. පවුලේ කාට හෝ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකට ගොදුරුවී තිබේනම් ඒ ගැන අවදානයෙන් සිටින්න අවශ්‍යයි.''

 

''මස්, ඉහළ මේදය සහිත ආහාර ගන්නා අයට වගේම, පාරිසරික බලපෑම් වගේම රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම නිසා පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ඇතිවීමේ අවදානමක් තියෙනවා." ඇය පැවසුවාය.

 

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ රෝග ලක්ෂණ මොනවා ද?

 

වැඩිහිටි පුද්ගලයින්ගේ පුරස්ථි ග්‍රන්ථිය අධි වර්ධනයක් පෙන්නුම් කරන BPH රෝගී තත්ත්වය සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ දී දක්නට ලැබෙන රෝග ලක්ෂණ එක සමාන වන බව ද ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි යසුනි මාණික්කගේ පැවසුවාය.

"නිතර මුත්‍රා කිරීම, හදිසියේ මුත්‍රා පිටවීම, මුත්‍රා කිරීම ආරම්භයේදී අපහසුතාවය, මුත්‍රාශ්‍රය සම්පුර්ණයෙන් හිස් නොවීම, ශුක්‍රාණු වල ලේ තිබීම සහ ලිංගික කටයුතු වල යෙදීමේදී වේදනාවක් ඇති වීම මේ රෝග ලක්ෂණ දෙකේ පොදු රෝග ලක්ෂණයක්." යනුවෙන් ඇය මෙහිදී පැහැදිළි කළාය.


පිළිකා තත්ත්වය හඳුනා ගන්නේ කෙසේ ද?

 ca3 'පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් තිබේද යන්න දැන ගැනීම සඳහා PSA කියලා රුධිර පරීක්ෂණයක් සිදුකරලා බලනවා.'

 

යම් පුද්ගලයෙකුට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් තිබේද යන්න දැන ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදුකරන අතර එහි එක් පර්යේෂණයක් වන්නේ රෝගියාගේ ගුද මාර්ගය තුළට ඇගිල්ලක් යොමු කර පරීක්ෂා කිරීමයි.

"මේක හඳුනා ගැනීමේ රෝග නිශ්චය කිරීමේ කොටස් කිහිපයක් තිබෙනවා. මුලින්ම ශාරීරික පරීක්ෂණයක් තියෙනවා. එහිදී වෛද්‍යවරයා විසින් රෝගියාගේ ගුද මාර්ගය තුලට ඇගිල්ලක් දමා පුරස්ථි ග්‍රන්ථිය පරික්ෂා කර බලනවා. ඊට අමතරව PSA කියලා රුධිර පරීක්ෂණයක් සිදුකරලා බලනවා. ඒ වගේම ජෛව සාම්පල් පරීක්ෂාවක් කරනවා. ඒ වගේම MRI පරික්ෂණ වගේම මෙම පිළිකාව අස්ථි වලට පැතිරිලා ද කියලා බලන්න වෙනම පරීක්ෂණයක් කරලා බලනවා." ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී යසුනි මාණික්කගේ පැවසුවාය.

රෝගියාට ඇතිවිය හැකි බලපෑම් සහ ප්‍රතිකාර මොනවා ද?

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම නිසා ඉන් රෝගියාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වීමට හැකි බව ඇය පෙන්වා දෙයි.

 

"පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවට ප්‍රතිකාර නොකිරීම නිසා බරපතල ප්‍රතිවිපාක වගේම ජීවිත තර්ජනයක් වුණත් ඇති වෙන්න පුළුවන්. නිසි වෙලාවට ප්‍රතිකාර නොකිරීමෙන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව සිරුරේ අනෙක් කොටස් වලටත් පැතිරෙන්න පුළුවන්. විශේෂයෙන් මෙම පිළිකාව මිනිස් සිරුරේ අස්ථි වලට, වසා ගැටිති වලට පිළිකාව පැතිරුණාට පස්සේ ප්‍රතිකාර කිරීම අපහසු වෙන්න පුලුවන්.''

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව තියෙන පුද්ගලයින්ට හෝමෝන ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර වගේම ශල්‍යකර්ම තියෙනවා. මේවායෙන් අතුරු ආබාධ පවා ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඇතැම් විට වඳ භාවයට පත්වීමට වුණත් පුළුවන්. පිළිකාව තියෙන පුද්ගලයාට පමණක් නෙමෙයි ඔහුගේ පවුලේ අයටත් මානසිකව ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්.''

 

''පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව සුවය ලැබුණත් ඒ පිළිකා තත්ත්වය නැවත ඇතිවෙන්න පුළුවන්. මේ නිසා අඛණ්ඩව පරීක්ෂණය කිරීම සහ ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.''

 

''මුල් අවදියේදී රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා පුර්ණ සුවයක් ලබා ගැනීමට. ප්‍රතිකාර ක්‍රම ගොඩක් තිබුණත් රෝගියාගේ වයස, ඉක්මන් හඳුනා ගැනීම, ප්‍රතිකාර වලට දක්වන ප්‍රතිචාරය ඉතා වැදගත් වෙනවා." ඇය පැවසුවාය.

 

ශ්‍රී ලංකාව තුළ වයස්ගත ජනගහණය වැඩිවීම, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ගැන සිදුකරන පරීක්ෂණ අවම වීම, පිළිකා සම්බන්ධයෙන් තියෙන දැනුම අවම මට්ටමක තිබීම සහ PSA රුධිර පරික්ෂණය නොකිරීම මෙරට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වැඩිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනි යසුනි මාණික්කගේ වැඩිදුරටත් පැහැදිළි කළාය.

 

පියයුරු පිළිකා ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?

 දිනකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 12ක් !

 

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවෙන් ආරක්ෂාව විමට ගත හැකි පියවර කුමක්ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල නැගු පැනයට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"විශේෂයෙන් ආහාර රටාව ගැන සැලකිලිමත් වීම වැදගත්. මත්පැන් පානය අවම කිරිම සහ දුම්පානයෙන් වැළකී සිටීම සිදුකළ යුතුයි. නිරෝගිමත් බර මට්ටමක් පවත්වාගෙන යෑම, හිරු එළියට නිරාවරණය නොවෙනවානම් විටමින් D ලබාගන්න කටයුතු කළ යුතුයි. මේ කරුණු වලින් පුද්ගලයෙකු පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව වැළඳෙන්නේ නැහැ කියන එක නෙමේ. නමුත් වැදගත් වන්නේ අවදානම් මට්ටමේ පසුවන පුද්ගලයෙකු නම් ඒ තැනැත්තා තමන්ගේ වෛද්‍යවරයා හමුවෙලා ඒ ගැන සාකච්ජා කිරීම වැදගත්." ඇය පැවසුවාය.


(BBC සිංහල සේවය)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්