leader s

හය හැවිරිදි දැරියකගේ මවක වන අර්චනා, තම දියණියගේ ශරීරයේ අසාමාන්‍ය ලෙස සිදුවන වෙනස්කම් දුටු අතර ඉන් ඇය දැඩි කනස්සල්ලට පත් වූවා ය.

"මම බය වුණා. මේ තරම් පුංචි වයසකදී මේ වෙනස දකින්න. පොඩි දේටත් එයාට තරහ යන්න ගත්තා. මේ වෙනස මාව කනස්සල්ලට පත් කළා," ඇය පවසයි.

 

බටහිර ඉන්දියාවේ සාතාරා දිස්ත්‍රික්කයේ ගමක ඇගේ පවුල සමග ජීවත් වන අර්චනාගේ සැබෑ නම එය නොවෙයි.

 

ඇය ජීවත් වන්නේ ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා වන පුත්‍රයා සහ වැඩිමහල් දියණිය සමග ගොවිපළක ඉදිකරන ලද කුඩා නිවසක ය.

 

අර්චනාගේ දුව ඇගේ වයසට වඩා වයසින් වැඩි බව පෙනෙන්නට පටන් ගත් විට ඇය ඇයව වෛද්‍යවරයකු වෙත ගෙන යාමට තීරණය කළා ය.

 

'අපිට ඒක පිළිගන්න අමාරු වුණා'

 

archana1අර්චනාගේ දුව වයස අවුරුදු හයේදී වැඩිවිය පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගත්තා ය

මේ අතර, දිල්ලියේ ජීවත් වන රාශි ද තම දියණියගේ ශරීරයේ වෙනස්කම් නිරීෂණය කළ නමුත් ඒවා සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවා ය.

ඇගේ හය හැවිරිදි දියණියගේ බර කිලෝග්‍රෑම් 40ක් බවට පත් වුව ද ඇය තම දියණිය "නිරෝගී දැරියක" ලෙස දුටුවා ය.

නමුත් දිනක් රාශිගේ දියණිය හදිසියේ ම ලේ ගැලීමක් ගැන ඇය වෙත පැවසුවා ය.

පසුව ඇය දියණිය වෛද්‍යවරයෙකු වෙත ගෙන ගිය අතර එහිදී දැන ගත්තේ තම දියණියට ඔසප් වීම ආරම්භ වී ඇති බව ය.

"අපිට ඒක පිළිගන්න හරි ම අමාරු වුණා. තමන්ට මොකක් ද වෙන්නේ කියලා තේරුම් ගන්නවත් මගේ දුවට පුළුවන් වුණේ නැහැ," රාශි පැවසුවා ය.

 

ඒ සමග ම ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් අර්චනාට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවන ලෙස උපදෙස් දුන්නේ ය.

 

"අර්චනා එයාගේ දුවව අපි ළඟට ගෙනාවා ම පරීක්‍ෂා කළාට පස්සේ අපිට තේරුණා ඇයට වැඩිවිය පැමිණීමේ සියලු ම ලක්‍ෂණ තිබෙන බව. ඇගේ සිරුර ඕනෑ ම වේලාවක ඔසප් වීම ආරම්භ වෙන්න පුළුවන්, අවුරුදු 14ත් 15ත් අතර යෞවනියකගේ සිරුරට සමාන වුණා," පූනේහි මදර්හුඩ් රෝහලේ වෛද්‍ය සුෂිල් ගරුඩ් පවසයි.

 

archana2ඔසප් වීම සාමාන්‍යයෙන් නව යොවුන් වියේදී ආරම්භ වන අතර දශක කිහිපයක් පුරා සිදුවිය හැක

 

වෛද්‍ය ගරුඩ් පවසන්නේ, මෙම දැරියගේ වයස අනුව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා හෝමෝන මට්ටම බෙහෙවින් ඉහළ අගයක පැවති බව ත් ඊට බලපාන හේතු බොහොමයක් තිබිය හැකි බවත් ය.

"අර්චනා මට කිව්වා එයාගේ ගෙදර කිලෝ 5ක පළිබෝධනාශක කැනිස්ටර් දෙකක් තියෙනවා, දුව ඒවා ළඟ සෙල්ලම් කරනවා කියලා. ඉතින් මේ දරුවාගේ හෝමෝන වෙනස් වෙන්න මේක එක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්," වෛද්‍යවරයා පවසයි.

 

වෛද්‍ය ගරුඩ් පවසන්නේ දරුවන්ගේ නව යොවුන් වියට පැමිණීමට පෙර මෙලෙස වෙනස්කම් ඇති වීම, පූර්ව වැඩිවිය පැමිණීම හෝ මුල් වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වන බව ය.

 

වැඩිවිය පැමිණීම යනු පිරිමි හෝ ගැහැනු දරුවෙකුගේ ශරීරයේ වෙනස්කම් සිදුවී, ඔවුන්ගේ ලිංගික ඉන්ද්‍රියයන් වර්ධනය වී ප්‍රජනනය කිරීමේ හැකියාව ඇති වීමේ ක්‍රියාවලියකි.

 

එහිදී පිරිමි දරුවන් බොහෝ දෙනෙකුගේ රැවුල වැවීම, ලිංගේන්ද්‍රය අවට රෝම ඇති වීම සහ කටහඬ රළු වීම සිදුවේ. ගැහැනු දරුවන්ගේ ලිංගේන්ද්‍රය අවට රෝම ඇති වීම, පියයුරු වැඩිම සහ ඔසප් වීම ආරම්භ වීම සිදුවේ.

 

ගැහැනු දරුවන් වයස අවුරුදු 8ත් 13ත් අතර පිරිමි දරුවන් වයස අවුරුදු 9ත් 14 ත් අතර ඕනෑ ම අවස්ථාවක වැඩිවිය පැමිණීම සාමාන්‍ය දෙයකි.

 

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ හෝමෝන ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛශාඛි රුස්ටේගී පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ ගැහැනු දරුවන්ගේ වෙනසක් තමන් නිරීක්ෂණය කර ඇති බව ය.

"කායික වෙනස්කම්වල පළමු ලක්ෂණ දැකලා මාස 18 සිට අවුරුදු තුන දක්වා කාලය තුළ ගැහැනු දරුවන් ඔසප් වෙන හැටි අපි දැකලා තියෙනවා. දැන් මාස තුනත් හතරත් අතර කාලය තුළ ගැහැනු දරුවන් ඔසප් වෙනවා," ඇය බීබීසීයට පැවසුවාය.

දැන් වැඩිවිය පැමිණීම ආරම්භ වී වසර 1 සිට 1.5 දක්වා කාලය තුළ පිරිමි දරුවන්ගේ රැවුල සහ උඩු රැවුල වැවීම ආරම්භ වී ඇති බව ත් අතීතයේ එය සිදුවූයේ වසර හතරක් දක්වා වූ කාලය තුළ බව ඇය පවසයි.

archana3ගැහැනු දරුවන් වයස අවුරුදු 8ත් 13ත් අතර සහ පිරිමි දරුවන් වයස අවුරුදු 9ත් 14 ත් අතර වැඩිවිය පැමිණිය හැක

 

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ (ICMR) ළමා සෞඛ්‍ය පර්යේෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සුචිත්‍රා සර්වේ සිය අධ්‍යයනයේදී සොයා ගත්තේ, නියමිත වයසට පෙර වැඩිවිය පැමිණීමේ අවස්ථා ඉහළ ගොස් ඇති බව ය.

ප්‍රජනක හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජාතික පර්යේෂණ ආයතනය (ICMR-NIRRCH) විසින් ගැහැනු දරුවන් 2,000ක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, වැඩිවිය පැමිණීමේ ලක්ෂණ බොහෝ විට මව්වරුන් තේරුම් නොගන්නා බව ය.

වයස අවුරුදු නවයට අඩු ගැහැනු දරුවන් පූර්ව වැඩිවිය පැමිණීම හා සම්බන්ධ හේතු සහ එහි ඇති අවදානම පිළිබඳව මෙම සංවිධානය විසින් අධ්‍යයනය කරනු ලැබ ඇත.

 

2020දී, මුම්බායිහි බායි ජර්බායි වාඩියා රෝහල සහ ICMR එක්ව වයස අවුරුදු හයේ සිට නවය දක්වා ගැහැනු ළමයින් සඳහා පූර්ව වැඩිවිය පැමිණීමේ කඳවුරක් සංවිධානය කළේ ය.

 

"ගැහැනු දරුවන් 60ක්, අවුරුදු 6ත් 9ත් අතර ඉන්න, ඒ අය මේ පූර්ව වැඩිවිය පැමිණීම අත්විඳලා තිබුණා. එතනින් සමහර දරුවන් ඕනෑ ම වෙලාවක ඔසප් වෙන්න පුළුවන්," රෝහලේ ළමා රෝග අංශයේ සේවය කරන වෛද්‍ය සුධා රාවු පවසයි.


අඩු වයසින් වැඩිවිය පැමිණීමට හේතුව කුමක් ද?

 

archana4වෛද්‍යවරු පවසන්නේ පූර්ව වැඩිවිය පැමිණීමට එක් හේතුවක් නොව හේතු බොහොමයක් ඇති බව ය

 

වෛද්‍යවරු පවසන්නේ, පූර්ව වැඩිවිය පැමිණීමට බොහෝ හේතු ඇති අතර අධ්‍යයනයන් සිදුවෙමින් පවතින බැවින් තනි හේතුවක් වෙන් කර දැක්විය නොහැකි බව ය.

 

පළිබෝධනාශක, ආහාර සඳහා භාවිත කරන කල් තබා ගන්නා ද්‍රව්‍ය, පරිසර දූෂණය සහ තරබාරුකම ඊට හේතු විය හැකි බවට ඔවුහු විශ්වාස කරති.

මුම්බායිහි ගැහැනු අතර ඇති මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය ප්‍රශාන්ත් පටිල් පවසන්නේ, තරබාරුකම පූර්ව වැඩිවිය පැමිණීම සඳහා ඇති ප්‍රබල ම අවදානම් සාධකයක් වන අතර කොවිඩ් -19 වසංගතය තුළ ළමුන් අතර තරබාරුකම ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය ඉහළ ගොස් ඇති බව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ස්ථූලභාවයෙන් ජීවත් වූ මිලියන 160ක ද ඇතුළුව, 2022දී වයස අවුරුදු 5 සිට 19 දක්වා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගෙන් මිලියන 390කට අධික පිරිසක් අධික බරින් යුක්ත වූහ.

 

ස්ථූලභාවය යනු, සෞඛ්‍යයට හානි කළ හැකි අධික ලෙස මේදය තැන්පත් වීම මගින් ඇතිවන දීර්ඝකාලීනව පවතින සංකීර්ණ රෝගයකි.

 

එය මනිනු ලබන්නේ දරුවෙකුගේ හෝ නව යොවුන් වියේ පසුවන දරුවෙකුගේ උපතේදී ලිංගිකත්වය, වයස, බර සහ උස ඇතුළත් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) දෙස බැලීමෙනි.

ජංගම දුරකතන, රූපවාහිනිය හෝ වෙනත් තිර (screens) ඉදිරියේ අධික ලෙස කාලය ගත කිරීම සහ ව්‍යායාම නොකිරීම ද එම අවදානම ඇති කරන සාධක විය හැකි බව පැවසේ.

වෛද්‍ය වෛශාඛී පවසන්නේ පසුගිය වසර දෙක තුනක කාලය තුළ තම බාහිර රෝගී අංශයේ දිනකට ගැහැනු දරුවන් ඔසප් වුණු අවස්ථා පහක් හෝ හයක් වාර්තා වූ බව ය.

 

දුරකතන ළමයින්ගෙන් ඈත් කරන්න – UN

 

" අප්‍රේල් මාසයේදී තමන්ගේ දුවගේ වෙනස්කම් දැකලා, ජූනි-ජූලි වෙද්දී ඔසප් වීම ආරම්භ වුණා කියලා කියන අම්මලාත් මගේ ගාවට ඇවිල්ලා තියෙනවා. දැන් පිරිමි දරුවන්ටත් එහෙම වෙච්ච සිද්ධි එනවා," ඇය පවසයි.

 

ඇය පවසන්නේ තිර කාලය (screen time) ද නියමිත වයසට පෙර වැඩිවිය පැමිණීමට වක්‍රව බලපාන බව ය.

අර්චනාගේ සහ රාශිගේ දියණියන් දෙදෙනා ම අවුරුදු 10ක් 11ක් වනතුරු හෝ ඔසප් වීම ප්‍රමාද කිරීමට ප්‍රතිකාර ලබති.

වෛද්‍යවරුන් පවසන්නේ එලෙස අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් ඔසප් කාලය තුළ තමන් ගැන සැලකිලිමත් වීමට සහ තමන් පිරිසිදුව තබා ගැනීමට තරම් පරිණත නොවන බව ය.

පූර්ව වැඩිවිය පැමිණීම අත්විඳින ගැහැණු දරුවන් බොහෝ විට මනෝ සමාජීය ගැටලුවලට ගොදුරු වන බව වෛද්‍යවරුන් දෙදෙනා ම පවසති.

අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ, මෙම ගැහැනු දරුවන්ට ජීවිත කාලය පුරා ම තම රූපය සම්බන්ධ ගැටලු ඇති විය හැකි අතර වයසට පෙර ඔවුන්ගේ ශරීරයේ වෙනස්කම් හේතුවෙන් සම වයසේ මිතුරු මිතුරියන්ගේ හිරිහැරවලට ලක්විය හැකි බව ය.

අතිරේක වාර්තාකරණය - සැන්ඩ්රින් ලුංගුඹු, බීබීසී ලෝක සේවය

(සටහන - දීපාලි ජග්තප්, සුෂිලා සිං)
බීබීසී පුවත් මරාති / බීබීසී පුවත් හින්දි වාර්තාකරුවන්

* උපුටා ගැනීම - BBC සිංහල සේවය 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්