leader s

"උණක්වත් නොතිබුණ ළමයට තමයි මෙහෙම වුනේ" ගම්පහට නුදුරින් දිවි ගෙවන වාසනා තම දියණිය පිළිකා රෝගයට ගොදුරු වූ ආකාරය බීබීසී සිංහල වෙත එලෙස විස්තර කළාය.


වසරකට වැඩි කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව දියණිය මේ වන විට පිළිකා රෝගයෙන් සුවය ලබා තිබේ.

පෙබරවාරි 15 වැනිදා ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී ඇති අතර ලොව පුරා දරුවන් ලක්ෂ හතරක් පමණ පිළිකා රෝගීන් ලෙස වාර්ෂිකව හඳුනාගනු ලබන බව වාර්තාවල සඳහන් වේ.

"උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු" යන්න මෙවර ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේ ⁣තේමාවයි.

'ඩොක්ටර් කිව්වා බබාට තියෙන්නේ ඇට මිදුලුවල ලියුකේමියාව කියලා'

වාසනා පවසන පරිදි 2021 කොරෝනා වසංගතය පැවති සමයේ දී මුල්වරට රුධිර පට්ටිකා අඩුවීම සිදුව ඇති අතර ප්‍රතිකාර කළ පසුත් විටින් විට රුධිර පට්ටිකා අඩුවීම සිදුව තිබේ.

"කවුන්ට් එක වැඩි වෙන්නේ නැති නිසා රිජ්වේ එකට ට්‍රාන්සර් දාලා තියෙන්නේ එයාව දැන් අපි යවනවා කියලා ඩොක්ටර් කිව්වා."

CHILD CANCER

"රිජ්වේ එකේ දවස් 14 හිටියා හැම පරීක්ෂණයක්ම කළත් මුකුත් ති⁣බුනේ නැහැ. ඊට පස්සේ බෝර්න්මැරෝ කියලා ටෙස්ට් එකක් කළා. එකේ රිපෝර්ට් එක දවස් පහකින් ආවේ ඒකත් පැහැදිලි නැහැ කියලා තව ටෙස්ට් එකක් කරන්න ඕනේ කියලා."


ඉන් පසුව වාසනාගේ දියණිය මහරගම අපේක්ෂා රෝහල වෙත යොමු කර ඇත්තේ ඇට මිදුලු සම්බන්ධව කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ය.

"මහේන්ද්‍ර සෝමතිලක ඩොක්ටර් ගේ වෝඩ් එකට අපිව වැටුණේ. ඒ ඩොක්ටර් කිව්වා බබාට තියෙන්නේ ඇට මිදුලුවල ලියුකේමියාව කියලා, ඒකෙත් භායනකම තත්ත්වේ. දරුවෝ 10 දෙනෙකුගේ 6 දෙනෙක් ජීවත් වුණොත් ඒකටවත් මගේ දරුවා නෑ කියලා තමයි ඩොක්ටර් දරුවා භාර ගත්තේ." යැයි අතීත අඳුරු මත සිහිපත් කරමින් ඇය පැවසුවාය.

'මැරි කරලත් අවුරුදු තුනකට පස්සේ අපිට පැටියා හම්බ වුණේ'

තම එකම දරුවා මුහුණ දී සිටින ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වය දැනගත් මොහොතේ දැනුණ හැඟීම ඇය විස්තර කළාය.

 

child

"ඉන්නෙත් එක්කෙනයි. මැරි කරලත් අවුරුදු තුනකට පස්සේ අපිට පැටියා හම්බ වුණේ. ඉතින් එච්චර සම්පතක් අපි රැකගෙන ඔච්චර කල් ජීවත් කරවගෙන ඔහොම දෙයක් කිව්වට පස්සේ අපේ මුළු ලෝකෙම ඉවරයිනේ."


වසරකට ආසන්න කාලයක් තිස්සේ ඇය ගේ දියණිය මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වී ඇත.

සම්පුර්ණයෙන්ම සුව වූ පිළිකාව

රෝගය සුව වීමට කළ යුතු අදියර හතරක් යටතේ ප්‍රතිකාර කළ යුතු වුවද තුන්වන අදියර අවසන් වූ පසුව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී දියණිය අවදානමින් මිදී ඉතා හොඳ මට්ටමකින් සුවය ලබා ඇති බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත.

np file 201558

"ඒක ඉතින් රටක් රාජ්‍යයක් හම්බ වුණා වගේ. ඒ කියන්නේ නින්දක් නෑ, ගෙදර අයට සැනසීමක් නෑ, ඔක්කෝම පැටියා වෙනුවෙන් බාරහාර, මම නින්දක් නැතුව එයාට ප්‍රතිකාර කළේ. එයාව එක දවසක්වත් රෝද පුටුවේ ගෙනිච්චේ නැහැ, මම වඩාගෙනමයි ඔය හොස්පිටල් එක වටේ ඇවිද්දේ, මම වොෂ් රූම් එකට ගියත් මම ඒක වෙනම සුද්ද කරලා දරුවාව අරන් ගියේ. එහෙම කරලා අර වගේ උත්තරයක් මට ලැබුණාම ඊට වැඩිය සතුටක් නෑනේ මට."

දෝරේ ගලා යන මව් සෙනෙහසින් සිතට සහනක්, ගතට විවේකයක් නැතිව දිවා රෑ නොලබා කරන ලද කැප කිරීම්වල ප්‍රතිඵල වාසනා අද වන විට භුක්ති විඳිමින් සිටින්නීය.

ඇයගේ දියණිය පිළිකාව පරදා සම්පුර්ණයෙන්ම සුවය ලබා ඇත. එහෙත් ඇය ගේ දියණිය වෛද්‍ය නිර්දේශ අනුව තවමත් සායනවලට සහභාගී වෙමින් සිටියි.

වසරකට හඳුනා ගන්නා ළමා පිළිකා රෝගීන්

 

cancer 25.02.01

ජාතික පිළිකා ලේඛනයට අනුව වසරකට මෙරටින් දරුවන් 1,000- 1,200 අතර පිරිසක් පිළිකා රෝගීහූ ලෙස හඳුනාගනු ලබති.

2021 අවසර අවසන් වාර්තාවට අනුව මෙරටින් ළමා පිළිකා රෝගීන් 1,032ක් වාර්තා වී ඇත.

වාර්ෂික ළමා පිළිකා මරණ සංඛ්‍යාව 200-250 අතර අගයක් ගන්නා අතර රෙජිස්ටර් ජනරාල් දෙපාර්තුමේන්තුවේ 2019 වසරේ අවසන් කර ඇති වාර්තාවට අනුව මරණ 220ක් සිදුව තිබේ.


ළමා පිළිකා විශේෂ වන්නේ ඇයි ?

ළමා පිළිකා රෝග සම්බන්ධව වැඩිදුර විස්තර විමසීමට ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

25 67b00c9e30132

"ස්වාභාවිකම කැන්සර් එකේ ක්‍රියාකාරිත්වය ලොකු අයගේ කැන්සර් එකේ ක්‍රියාකාරීත්වයට වැඩිය වෙනස්. ඒ වගේම පුංචි ළමයිට හැදෙන කැන්සර් ජාති ලොකු අයට හැදෙන ඒවට වැඩිය වෙනස්."

ලේ, මොළය සහ අස්ථි ආශ්‍රිතව වැඩි වශයෙන් දරුවන්ට පිළිකා ඇති වන බව පැවසු විශේෂඥ වෛද්‍යවරයා කුඩා දරුවන් සුව කිරීමේ හැකියාව ද වැඩි බව සඳහන් කළේය.

ළමා පිළිකාවලට හේතු මොනවාද?

"⁣දැනට ලෝකයේම තියෙන දත්තවලට අනුව ළමයින්ට පිළිකා හැදෙන්න පාරසරික හෝ ආහාරවල සෘජු බලපෑමක් තියෙන බවට කිසිම විද්‍යාත්මක සත්‍ය තොරතුරු නැහැ. ඒ කියන්නේ ඒවායේ බලපෑමක් නැහැ කියන එක නෙමෙයි."

පිළිකා කාරක සහිත ආහාර ලබා ගත්ත ද ඉන් පිළිකා ඇතිවීමට යම් කාලයක් ගත වන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

cute little girl eating spaghetti with sauce sitting kitchen home 167689 2189

"⁣වස කාලා ඒක එළියට එන්න අවුරුදු විස්සක් විතර ගතවෙන හින්දා එතකොට ළමා කාලය පැනලා තියෙන්නේ."

ඉතා කුඩා සම්භාවිතාවකින් පරම්පරාවෙන් ළමුන්ට පිළිකාවක් ඇතිවිය හැකි වුවත් ළමුන්ට පිළිකා ඇති වන්නේ අහඹු ලෙස යැයි ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

'ස්ථිර ලෙස මෙන්න පිළිකාවක් කියන්න ලක්ෂණ නැහැ'

නිතර පවතින උණ, හෙම්බිරිස්සාව, විෂ බීජ හේතුවෙන් ඇතිවන ආසාදන, සමේ තුවාල, ඉබේ සිදුවන ලේ ගැලිම්, වර්ධනය අඩු වීම බොහෝ විට පිළිකා රෝග ලක්ෂ විය හැකි බව වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක සඳහන් කළේය.

කෙසේවෙතත් පිළිකා අනුව රෝග ලක්ෂණ වෙනස් විය හැකි බවත් ස්ථිර ලෙස පිළිකා ලක්ෂණ යැයි කිව හැකි ලක්ෂණ නොමැති බව මෙන්ම බොහෝවිට පිළිකා රෝග ලක්ෂණ හඳුනාගත හැක්කේ පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව බව ද හෙතෙම පැවසීය.

"ස්ථිර ලෙස මෙන්න පිළිකාවක් කියන්න ලක්ෂණ නැහැ. හරිම පොදු ලක්ෂණ, අඳුරු ලක්ෂණ තමා තියෙන්නේ. සියුම් ලක්ෂණ නැහැ පිළිකාවක් කියලා කියන්න."

 
ප්‍රතිකාරවලින් දරුවන්ට බලපෑමක් වෙනවා ද?
 
 
Blog Childhood Cancer L


ළමුන් ගේ පිළිකා සඳහා කරනු ලබන ප්‍රතිකාරවලින් ඔවුන්ට දිර්ඝ කාලීන බලපෑම් ඇතිවේ දැයි වි⁣ශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලකගෙන් බීබීසී සිංහල විමසීය.
"පුංචි ළමයි දිර්ඝ කාලයක් ජීවත් වෙන නිසා මේ ප්‍රතිකාරවලින් අතුරු ආබාධ ඇති වුණත් ඒවා පාලනය කිරීමකට ලක් කරලා එයාගේ සමාන්‍ය ජීවිතය ගෙනියන්න පුළුවන් විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ."
කෙසේවෙතත් රෝගීයා අනුව මෙන්ම පිළිකාව අනුව අතුරු ආබාධ හා සංකූලතා වෙනස් විය හැකි වුවද බොහෝදුරට ඒවා පාලනය කිරීමේ හැකියාව පවතින බව වෛද්‍යවරයාගේ මතය වී තිබේ.

'ඇත්තටම එයාලා දෙවිවරු වගේ'

අප වාසනා නමින් හැඳින්වූ කතා නායිකාවගේ දියණිය මේ වන විට අවුරුදු 13ක පාසල් සිසුවියකි.

පිළිකාව සමග සටන් කර ජයගත් ඇය දැන් සමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටි.

විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක ඇතුළු තම දියණියට ප්‍රතිකාර කළ පිරිස් ගැන ද බීබීසී සිංහල සමග පැවති සංවාදය නිම කරමින් වාසනා සිහිපත් කළාය.

"ඇත්තටම එයාලා දෙවිවරු වගේ. වචනයකින් පවා කරපු උදව්වලට නම් සදාකාලිකව ණය යි."

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්