leader s

හෘදයාබාධ යනු ලෝකයේ වසරකට සිදු වන මරණ මිලියන ගණනකට හේතු වන ප්‍රධාන නිමිත්තකි.

එක් යම්කිසි නිශ්චිත ජන වර්ගයකට, වයස් සීමාවකට, ස්ත්‍රී පුරුෂ භාවයකට වැනි සාධක වලට පමණක් සීමා නොවූ දෙයක් වන හෘදයාබාධ ඕනෑම අයෙකු ඕනෑම මොහොතක ගොදුරු විය හැකි තත්වයක් සේ සැලකේ. වෙනස ඇත්තේ එලෙස හෘදයාබාධයක් වැළඳිය හැකි සම්භාවිතාවේ ය.

අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැගීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, ව්‍යායාම කිසිවක් නොමැති ජීවන රටා, දුම්පානය සහ ජානමය හේතූන් හෘදයාබාධ සම්බන්ධ අවදානම් සාධක සේ සලකනු ලැබේ. මේ තත්ත්වයෙහි ඇති බරපතළ භාවය සැලකිල්ලට ගනිමින්, මේ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා නවෝත්පාදන ක්‍රම තිබේදැයි ලොව වටා බොහෝ පර්යේෂකයෝ විවිධ ක්‍රම අත්හදා බලමින් සිටිති. ඒ අතුරින් හෘද රෝග වැළැක්වීම සහ සමස්ත හෘද නිරෝගීතාව වෙනුවෙන් ඉස්මතු වෙමින් පවතින එක් කැපී පෙනෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ‘සොබා චිකිත්සාව’ (Nature Therapy) පිළිබඳ කතා බහ කළ හැකිය.

et1

 

මෙය ඉංග්‍රීසි බසින් Eco-therapy සහ Naturopathy ලෙසින් ද හඳුන්වන ලබන අතර ශාරීරික, මානසික සහ භාවාත්මක නිරෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා යම් පුද්ගලයකු ස්වාභාවික පරිසරය සමග ඒකාබද්ධ වීම මෙයින් අදහස් කෙරේ. මේ සම්බන්ධ විශේෂඥයින් පවසන පරිදි ‘වනාන්තර ස්නානය’ (Forest bathing), ගෙඋයන් සම්බන්ධ වැඩකටයුතු, උද්‍යානවල කල් ගත කිරීම හෝ සතුන් සමග කටයුතු කිරීම වැනි කටයුතු සොබා චිකිත්සාවට ඇතුළත් වේ. සොබා දහම සමග එකමුතුව කටයුතු කිරීම සහ ඒ සම්බන්ධ ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම මගින් සෞඛ්‍යය වර්ධනය වන බව සහ ලෙඩ රෝග වැළැක්වෙන බව එයින් අවධාරණය කෙරේ.

වනාන්තර ස්නානය යනු ජපානයේ ක්‍රියාත්මක වන ක්‍රියාකාරකමකි .Shinrin-yoku නමින් හඳුන්වනු ලබන මෙහිදී සැබවින්ම සිදුවන්නේ වනාන්තර ප්‍රදේශයක් තුළ ස්නානය කිරීමක් නොවේ. සොබා සෞන්දර්යය නරඹමින්, එය අත්විඳිමින් වනාන්තරයක් තුළ ඇවිදීම, කාලය ගත කිරීම, ස්වසන ව්‍යායාම කිරීම ආදී කාර්යයන් කිරීම ය.

 

banner ecotherapy small

ස්වාභාවික පරිසරයට නිරාවරණය වීම සහ හෘද සෞඛ්‍යය අතර සම්බන්ධය විද්‍යාත්මක අධ්‍යයනවලින් පවා තහවුරු වී තිබේ. සොබා දහම සමග එක්ව වැඩකටයුතු කිරීම මගින් ආතති මට්ටම, රුධිර පීඩනය සහ හෘද ස්පන්දන විචල්‍යතාව වර්ධනය වී නිරෝගී හෘදයකට මග පෑදීමෙන් ශාරීරික සහ මානසික ප්‍රතිලාභ ලැබෙන බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත.

සෑම ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අධි රුධිර පීඩනය !

 

හෘදයේ සෞඛ්‍ය සම්පන්න බව ඇති කිරීම සඳහා සොබා දහමෙන් ආධාර ලැබෙන එක් ක්‍රමයක් වන්නේ ආතතිය අඩුකිරීම ය. නිදන්ගතව පවතින ආතති තත්ත්වය හේතුවෙන් කෝර්ටිසෝල් සහ ඇඩ්‍රීනලින් නම් හෝමෝන නිකුත් වීම සිදු වෙයි. රුධිර පීඩනය සහ හෘදයේ ආතති තත්ත්වයක් ඇති කරන්නට මේ හෝමෝන හේතු වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට මායෝ ක්ලිනික් ආයතනය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයකට අනුව හෙළි වී ඇත්තේ හරිත පැහැ වටපිටාවක ඇවිදීම මගින් පවා ආතති මට්ටම් අඩු වී භාවාත්මක නිරෝගීතාව ඇති වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ හෘදයට ඇති අවදානම් තත්ත්වයන් අවම කරන බවත්ය.

SARS-CoV-2 වෛරසය මිනිසුන්ට මරණය ගෙන එන හැටි මෙන්න !

අධ්‍යාතතිය (Hypertension) සහ අධික කොලෙස්ටරෝල් තත්ත්වය හෘද රෝගවලට හේතුවන ප්‍රධාන පෙළේ අවදානම් සාධක දෙකකි. ස්වාභාවික පරිසරය සමග ඇසුර මගින් මේ පරාමිතීන් ක්‍රමවත් වේ. ඇමරිකානු හෘදවේද ආයතනය (American College of Cardiologists) මගින් ප්‍රකාශයට පත් කොට ඇති එක් ප්‍රකාශනයක අඩංගුව තිබුණේ වනාන්තර ස්නානය වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් ආංකුච පීඩනය (Systolic ) සහ විස්තාරක රුධිර පීඩනය (Diasolic) අවම වන බව ය.

මිනිස් ජාවාරම” විද්‍යාත්මක කියවීම - අපායේ කතාව 9 වැනි පරිච්ඡේදය

 

ඊට අමතරව කඳු නැගීම සහ ගෙඋයන් කටයුතුවල යෙදීම නිසා ලිපිඩ තත්ත්වය වඩාත් ක්‍රමවත් වනවා පමණක් නොව සමස්ත හෘද සෞඛ්‍යයම වර්ධනය වන බව ද අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

සොබා චිකිත්සාව තුළින් ශාරීරික ක්‍රියාකාරකම් ස්වාභාවිකවම ප්‍රවර්ධනය වන අතර එය හෘද රෝග වැළැක්වීම සඳහා ප්‍රධාන සාධකයක් වේ. ස්වාභාවික පරිසරයක් කුළ ඇවිදීම, බයිසිකල් පැදීම සහ පිහිනීම මගින් සතුටක් පමණක් නොව හෘද සුවතාව වර්ධනය වීම කෙරෙහි ඵලදායී ලෙස බලපෑම් ඇති කරයි. යුරෝපීය හෘදවේදී සංගමය (European Society of Cardiology ) අවධාරණය කරන්නේ ස්වාභාවික පරිසරයක් තුළ සිදු වන මධ්‍යස්ථ ප්‍රමාණයේ ශාරීරික ක්‍රියාකාරීත්වයකින් පවා හෘද ක්‍රියාකාරීත්වයෙහි සැලකිය යුතු තරම් වර්ධනයක් සිදු වන බව සහ හෘද රෝග අවදානම අඩු වන බව ය.

ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට මායෝ ක්ලිනික් ආයතනය සිය සියලු සෞඛ්‍ය වැඩසටහන් සඳහා සොබා චිකිත්සාව සම්බන්ධ කර ගනියි. හෘදයාබාධවලින් සුව වෙමින් සිටින හෝ නිධන්ගත හෘද රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින්නවුන් යන සියල්ලටම උපදෙස් ලබා දෙන්නේ සිය පුනරුත්ථාපන ( Cardiac rehabilitation) වැඩසටහනෙහි කොටසක් ලෙස ස්වාභාවික වටපිටාවක කාලය ගත කරන ලෙසය. මේ හේතුවෙන් ප්‍රතිකාර කිරීමේ වැඩකටයුතු වඩාත් යහපත් ලෙස කර ගෙන යාමට සහ ශාරීරික සුවපත් වීම වඩාත් ඉක්මන් වන බව ලැබී ඇති ප්‍රතිඵලවලින් පෙන්නුම් කොට තිබේ.

 

wadda

යුරෝපීය හෘදවේද සංගමය ද සොබා චිකිත්සාවෙහි වටිනාකම හඳුනා ගෙන තිබේ. යුරෝපීය රටවල් කිහිපයක් තුළ සිදු කරනු ලැබූ විස්තීර්ණ අධ්‍යයනයක් මගින් හෙළි වූයේ ස්වාභාවික පරිසරයකට ප්‍රවේශ නොමැති අයට වඩා එවැන්නකට ප්‍රවේශයක් ඇති අයගේ හෘද රෝග ඇති වීමේ තත්ත්වයන් සාපේක්ෂව අවම බවය. මෙම කරුණ මීට පෙර ලොව ආදි වාසී ජන කොටස් සම්බන්ධ අධ්‍යයනයන්ගෙන් ද තහවුරු වී තිබේ. මේ අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ නගර සැලසුම් කිරීමේ දී පවා එය තුළ ස්වාභාවික පරිසර පද්ධති ඇතුළත් කිරීම තුළින් මහජන සෞඛ්‍යය නඟා සිටුවීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බවය.

scenichudson 91769522 Medium 1400x894

 

ඇමරිකානු හෘදවේද විද්‍යායතනය (American College of Cardiologists) උපදෙස් ලබා දෙන්නේ හෘද රෝග වැළැක්වීමේ උපක්‍රම තුළට වෛද්‍ය ප්‍රතිකාර සේම ජීවන ශෛලියේ නවීකරණයන් ද සිදු කළ යුතු බවය. සොබා චිකිත්සාව යනු හෘද රෝග වැළැක්වීම සඳහා පමණක් නොව සමස්ත සෞඛ්‍යයම වර්ධනය කිරීම සඳහා ඇති අඩු වියදම්කාරී සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි උපක්‍රමයක් බවත් එයින් පෙන්වා දී තිබේ. ඔවුන්ගේ අධ්‍යයන මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රජා උද්‍යාන (Community garden) සහ නාගරික පරිසරය තුළ ඇති හරිත අවකාශයන් මගින් ජීවන ශෛලිය වර්ධනය වන බවය.

සොබා චිකිත්සාව දෛනික ජීවිතය තුළට ඇතුළත් කර ගැනීම යනු ජීවන ශෛලියේ දැවැන්ත වෙනසක් සිදු කර ගත යුතු දෙයක් වන්නේ නැත. උද්‍යානයක් තුළ හෝ ගහකොලවලින් පිරි වටපිටාවක, වනාන්තර ප්‍රදේශයක හෝ වැවක් වැනි දිය පිරුණු ස්ථානයක් ආශ්‍රිතව මිනිත්තු 30 ක පමණ කාලයක් ඇවිදීම මගින් ආතති මට්ටම සැලකිය යුතු තත්ත්වයකින් අඩු වන අතර හෘද නිරෝගීතාව වර්ධනය වෙයි. එමෙන්ම ගෙඋයනක වැඩකටයුතු කිරීම මගින් ශාරීරික ව්‍යායාමයක් ලැබෙන අතර මහ පොළොව සමග සම්බන්ධ වීමේ ප්‍රතිකාරමය බලපෑම ද ලැබෙයි.

Life - Results from #18

 

මුලින් සඳහන් කළ ආකාරයේ වනාන්තර ස්නානය මගින් හෘද සෞඛ්‍යය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වන බව තහවුරු වී තිබේ. ව්‍යායාම ශාලාවක (gim) ශාරීරික ව්‍යායාම සිදු කරනු වෙනුවට එළිමහනේ ස්වාභාවික පරිසරයක් තුළ හැල්මේ ඇවිදීම (jogging), යෝග ව්‍යායාම කිරීම හෝ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකමක් ලෙස හඳුනාගෙන ඇති චීන සාම්ප්‍රදායික සටන් ශිල්පයක් වනිතායි චි’ (tai chi) අනුගමනය කිරීම තවත් එක් ක්‍රමයකි. ස්වාභාවික පරිසරය ඇති ප්‍රදේශයක නිවාඩුවක් ගත කරන්නට යොදාගැනීම මගින් ද හෘද සෞඛ්‍යය වර්ධනය වේ.

සොබා චිකිත්සාව මගින් හෘද නිරෝගීතාව පමණක් නොව මානසික සෞඛ්‍යය වර්ධනය වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම, ජීවන ශෛලිය වර්ධනය වීම ද සිදු වේ.

සොබා චිකිත්සාව බලවත් මෙවලමක් වුවද, එය හෘද සෞඛ්‍යය සඳහා පුළුල් ජීවන රටා ප්‍රවේශයක කොටසක් විය යුතුය. පලතුරු, එළවළු සහ ධාන්‍යවලින් පොහොසත් සමබර ආහාර වේලක් පවත්වා ගැනීම, දුම්පානයෙන් වැළකීම, ආතතිය කළමනාකරණය කිරීම සහ නිතිපතා වෛද්‍ය පරීක්ෂණ මෙයට ඇතුළත් වේ.

 

forest therapy

හෘද රෝග යනු පුළුල් අභියෝගයකි. නමුත් සොබා චිකිත්සාව වැනි හෘද රෝග වැළැක්වීමේ උපාය මාර්ග මගින් රෝගීන් තුළ ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරන අතර ප්‍රායෝගික විසඳුම් ද ලබා දෙයි. දෛනික ජීවිතයේ කොටසක් ලෙස සොබා දහම වැළඳ ගැනීමෙන් හෘද සෞඛ්‍යය, මානසික යහපැවැත්ම සහ සමස්ත ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකිය.

සොබාදහමට අනුකූලව ජීවත් වීමේ ගැඹුරු ප්‍රතිලාභ සම්බන්ධව සිදු කෙරෙන පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල අඛණ්ඩව අනාවරණය වන බැවින්, සොබා දහම මගින් ලෙඩ රෝග සුව කිරීමේ බලය හෘද රෝගවලට එරෙහි සටනේ දී මිල කළ නොහැකි සම්පතක් බව පැහැදිලිය. නවීන සෞඛ්‍ය සේවා සහ පෞද්ගලික ජීවන රටාවන්ට සොබා චිකිත්සාව ඒකාබද්ධ කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න, හදවතට හිතකර අනාගතයක් සඳහා මඟ පෑදිය හැකිය.

Namal Wijesinghe Prof(සටහන | හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්