leader s

“ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?”
තාරේ සමීන් පාර් චිත්‍රපටයේ (2007) රාම් ශන්ක නිඛුම්භ් නම් ගුරුවරයා (ආමීර් කාන්)

තාරේ සමීන් පාර් චිත්‍රපටයේ රාම් ශන්ක නිඛුම්භ් ගුරුවරයා, ඒ බරපතල ප්‍රකාශය කෙරුවේ පංතියේ ළමුන්ට නොවේ. ඒ බරපතල ප්‍රකාශය සමග වන තනි රූප රාමුව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෙස ආමීර් කාන් ප්‍රබල ප්‍රක්ෂේපණයක් ලෙස තිරයට ගෙනෙන්නේ සිනමා තිරය ඉදිරියේ අසුන් ගන්නා වැඩිහිටි පිරිසට ය. ඔවුන් කර පින්නාගෙන ඉන්නා ආකල්ප ස්වයං ප්‍රශ්න කිරීමකට හසුකර තැබීමට ය.

ඉකුත් මාර්තු 02 වන ඉරිදා රාත්‍රී 11 ට ආසන්නව ද ලීඩර්’ වෙබ් අඩවියෙහි“තාරේ සමීන් පාර්” චිත්‍රපටයේ රූප රාමුවකට අදාල ඉහත විස්තරකරණය පළකර තිබූයේ මගේ ඉතාම කෙටි සටහන වූ “ඉතිරිය, හැකිවුනොත් තව දින කිහිපයකින්” යන්නද සමග ය.

“හැකිවුනොත් තව දින කිහිපයකින්” යැයි කියූ “ඉතිරිය” ඊට ලැබුණු ප්‍රතිචාර විසින් ඉක්මන් කළ යුතු වූවත් එසේ නොවුනි. මේ කාලයේ හැම තැන නිදැල්ලේ හමා යන වයිරසයක් හෝ බැක්ටීරියාවක් විසින් සති 04 ට ආසන්න කාලයක් මා නිශ්ක්‍රීය කර තැබූවෙන් “මහ පොළොවේ තරු” සම්බන්ධ “ඉතිරිය” සම්පූර්ණ කරන්නට මා නැවත අත ගැසුවේ ඊයේ සවස් කාලයේ ය.

කතාව මුල සිට.....


ye565

තරග දිනන්න නම් හැදිය යුත්තේ අශ්වයින් මිස ළමුන් නොවේ යැයි වන “තාරේ සමීන් පාර්” චිත්‍රපටයෙන් ගත් උපුටනය ආමීර් කාන් ඔහුගේ චිත්‍රපටයෙහි දිග හරින කතාවට එක එල්ලේ සම්බන්ධ නොවුනත් අධ්‍යාපනය සම්බන්ධ කතාවක එය මග හැරිය නොහැක්කකි. කුඩා කල සිට දෙමාපියන් ළමුන්ව තල්ලු කරන “තරගකාරිත්වය” සමාජ ආකල්පයක් වශයෙන් දරුවන්ගේ ස්වාධීන පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යයට අතිශය අහිතකර ලෙස බලපාන හෙයිනි. ආමීර් කාන් ගේ කතා සන්දර්භයත් චරිතත් ඉන්දියාවේ වූවත් එය ලංකාව ඇතුළුව ආසියානු කලාපයේ හැම රටකටම වාගේ පොදු කතාවකි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පිරිමි දරුවා ඔහුගේ දෙමාපියන් විසින්, විශේෂයෙන් පියා විසින් බලහත්කාරී ලෙස අධ්‍යාපන තරගයට තල්ලු කිරීමත් ඊට මුහුණ දීමට දරුවාට ඇති නොහැකියාවත් අතර පවතින ගැටුම, කතාවේ එන දරුවාගේ මානසික අව-වර්ධනය ගැන දෙමාපියන්ගේ ඇති නොදැනුවත්කම ඉස්මතු කෙරෙන්නකි. දෙමාපියන් සහ ගුරුවර ගුරුවරියන් ළමුන්ගේ අව-වර්ධන හරියාකාරව හඳුනා නොගැනීම නිසා එවන් දරුවන් අති බහුතරයක් පාසලේදී හා නිවසේදී “කම්මැලියා, තක්කඩියා, හිතුවක්කාරයා” වැනි ලේබල් ඇලවුනු, ජීවිතයේ අතරමං වූවන් ය.

 



ප්‍රධාන වශයෙන් එවැනි මානසික අව-වර්ධන දෙකෙක් ඇත. ඉන් බහුතරයකට අංකවල, අක්ෂරවල හැඩ රුව හඳුනා ගැනීමට නොහැකිය. අක්ෂර සතු ආවේනික උච්චාරණ ශබ්ද මතකයේ තබා ගැනීමටද නොහැකි ය. එනිසා ඔවුන්ට ලියන්නට ඉගෙන ගත නොහැක. තවත් කෙනෙකු කියන්නේ මොනවාදැයි තේරුම් ගැනීමත් අපහසුය. ඒ සියල්ල නිවසේදී සහ පාසලේදී ලඝු කෙරෙන්නේ, ඉගෙන ගැනීමට දරුවාගේ ඇති අකමැත්ත, ඔහුගේ තක්කඩිකම, හිතුවක්කාරකම ලෙසිනි. දෙමාපියන් ඊට ප්‍රතිචාර දක්වන්නේ වඩ වඩාත් බරපතල ලෙස දඩුවම් කිරීමෙනි. පංතියේදී සිදු වන්නේ ගුරුවර ගුරුවරියන් විසින් දරුවා අතහැර දැමීම ය. දරුවන්ගේ මෙම අව-වර්ධනය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ “දුර්අක්ෂරතාව” (Dyslexia) යනුවෙනි.

darsheel safary taare zameen part 1720430521289 1720430521593

දෙවැන්න සඳහන් වන්නේ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” (Autism Spectrum Disorder) යනුවෙනි. එවැනි දරුවකුට අනෙකුන් සමග තිබිය යුතු ගනුදෙනුව තේරුම් ගත නොහැකි ය. සන්නිවේදනයේ ඇති අවුල වගේම එකම කාරණාවක් ගැන දක්වන නිමක් නැති අත් නොහරින උනන්දුව සහ ක්ෂණිකව කේන්ති ගැනීමේ ලක්ෂණද වන්නේ ය. ළමුන්ගේ එවැනි හැසිරීම් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් මුල් අවදියේම තේරුම් නොගැනීම හා එවැනි ළමුන් දඩුවම්කර විනයගත කළ හැකි යැයි වන විශ්වාසය නිසා දරුවාගේ වර්ධනය තව දුරටත් අඩාල වන්නේය. කිසිවකුගේ කාරුණික අවධානයක් නොලබා පාසල් අධ්‍යාපනය පමණක් නොව, සිය අනාගතයම අහිමි වුනු එවන් දරුවන් ඇත. තවත් එවන් දරුවන්ට පාලනය කරගත නොහැකි කෝපය, දැඩි වෛරයක් බවට පත්ව දෙමාපියන්ට ශාරීරිකව බරපතල හිංසා කළ අවස්ථාද එමට ය.


නොදන්නාකමටත් ඉඩක් ඇත
 

මේ ළමුන් හරියාකාරව හඳුනා නොගැනීම ගැන මම දෙමාපියන්ට හෝ ගුරුවර ගුරුවරියන්ට දොස් නොකියමි. අති බහුතරයක් දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් ළමුන් අතර එවැනි අව-වර්ධන රෝගී තත්ත්වයන් ඇතැයි දන්නේ නැත. එය සමාජයෙහි ඇති නොදැනුවත්කමකි. “දුර්අක්ෂරතාව” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැන පාසල් ඉලක්ක කෙරෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් කෙරෙන කිසිදු වැදගත් වැඩසටහනක් ගැන අසන්නට නැත. එවන් නොදැනුවත් සමාජයක දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් හැම ළමයෙකුම අනෙක් ළමයින් හා සමානව සැළකීම ඔවුන්ගේ වරදක් නොවේ.

දැනට ජාත්‍යන්තර “දුර්අක්ෂරතා” සංවිධානය සතුව ඇති දත්ත අනුව ගෝලීය වශයෙන් සියයට 15 ත් 20 ත් අතර දරුවන් කිසියම් ආකාරයක “දුර්අක්ෂරතා” ළමුන් ය. මෙය පිරිමි ළමුන්ට විශේෂ යැයි කියනු ලැබේ. එවගේම ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2022 වසර අවසනායේ, සෑම ළමුන් 100 කින් 01 දරුවෙකු “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවෙකු ය. මේ තත්ත්වය දැන් ගෝලීය වශයෙන් නරක අතට වර්ධනය වන්නේ යැයි මෑත අධ්‍යයනයකින් පෙන්වන්නේ ය. පසුගිය වසර වන විට ළමුන් 44 කින් 01 ළමයෙකු ඉන් පෙළුණි.

image 1513327513 ecb5a04ad7


මේ දත්ත අනුව අපගේ පාසල් ළමුන් අතර අවම ලක්ෂ 06 ට ආසන්න ළමුන් සංඛ්‍යාවක් “දුර්අක්ෂරතා” ළමුන් ය. තවත් ළමුන් ලක්ෂයකට (01) ආසන්න සංඛ්‍යාවක් “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ඇති දරුවන් ය. සෑම වසරකම ලක්ෂ 03 ට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පළමු වසරට ඇතුළුකර ගනු ලබන බවද අමතක නොකළ යුත්තකි. පාසලකට ළමුන් ඇතුළු කරගනු ලැබීමේදී දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් රජයේ පාසල් තබා පෞද්ගලික පාසල් සඳහාවත් ඉල්ලන්නේ නැත. අපේ රටේ වෛද්‍ය වාර්තා ඉල්ලා සිටින අවස්ථා වලදී පවා “දුර්අක්ෂරතා” හා “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ කිසි තොරතුරක් සඳහන් කෙරෙන්නේද නැත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ දත්ත, තොරතුරු හා විස්තර සියල්ල දැන සිටිය යුතුය.

අවුල් ලිහන්න ආණ්ඩු නැති විට

our Jouney ayati 08

ආණ්ඩුව අතහැර ඇති මේ වගකීමට කැළණිය විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ මානව දුබලතා අධ්‍යයන දෙපාර්තමේන්තුව (Department of Disability Studies) සමග මහ පරිමාන සමාගම් කිහිපයක් උර දී ඇත. ඊට පෙර 2016 සැප්තැම්බරයේදී ඔවුන් “අයාති” (සංස්කෘත බසින් ‘අපේක්ෂා’) ජාතික කේන්ද්‍රය පිහිටුවනු ලැබ තිබිණ. මානව දුබලතා සහිත ළමුන්ට නොමිලේ සේවා සැපයීමට හා සමාජය දැනුවත් කිරීමට යැයි එවැනි තවත් රාජ්‍ය නොවන සත්කාරක ආයතන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන්නාහ.  

ඒ සියල්ලට ආවේනික මහා ඛේදවාචකය වන්නේ, ඉහළ මැදපංතික සමාජය ප්‍රධාන වන කොළඹ-ගම්පහ දිස්ත්‍රික්ක දෙකට පිටතින් දුබලතා පිරි ලෝකයක් ඇති බව, මේ ඉහළ මැදපංතික සමාජ ක්‍රියාකාරීන් නොදැන සිටීම ය. එබැවින් විශාල මුදල් වැය කෙරෙන ඔවුන්ගේ වැඩසටහන් නිර්මාණය වන්නේ ඉහළ මැදපංතික ඉංග්‍රීසි සමාජයට ය. ඔවුන්ගේ අනුග්‍රාහකයින් හා සේවාලාභීන් අති බහුතරය ඉහළ මැදපංතික සමාජයට සීමා වීම එනිසා අරුමයක් නොවන්නේ ය.

කවදත් කවුරුත් අතහරින “ගමේ තරු” සඳහා....

our Jouney ayati 02
“දුබලතා සහිත දරුවන්ට ඔවුන්ගේ හැකියාවන් සුවිශේෂි ලෙස වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහාය” සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇත්තේ බහුතර දුප්පත් ග්‍රාමීය සමාජයට ය. දිළිඳු බව හා නොදැනුවත්කම හේතුවෙන් නෙක දුබලතා සහිත දරුවන්ගේ අනාගතය විනාශ වන්නේ ග්‍රාමීය සමාජයෙහි ය.

ජනතා යහපත වෙනුවෙන් සියල්ල වෙනස් කරන්නට පොරොන්දුවී ආණ්ඩු බලයට පැමිණි ජා.ජ. බලවේගයට, තවමත් කෙරෙන අතීත කතා නතර කර, අනාගතය වෙනුවෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා මැදිහත් වන්නේ නම්, එය කිව නොහැකි තරමේ පුණ්‍යකර්මයක් වනු ඇත.

මේ වසරේ “දුර්අක්ෂරතා” සතිය නම්කර ඇත්තේ ඔක්තෝම්බර මස 06 වන දා සිට 13 දක්වා සතිය ලෙස ය. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒකාබද්ධව “දුර්අක්ෂරතාව” සමග “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධව දෙමාපියන්, කලාපීය අධ්‍යාපන බලධාරීන් හා ගුරු- විදුහල්පති සේවා දැනුවත් කිරීමේ 06 මසක ප්‍රාරම්භක වැඩපිළිවෙලක් දියත් කිරීම සඳහා ආණ්ඩුවට වහා ඇමති මණ්ඩල තීන්දුවක් ගත හැකිය. ඔක්තෝම්බර මස 13 වන දිනයෙන් පසු, “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ පාසල් ආශ්‍රිත අඛණ්ඩ ජාතික වැඩ සටහනක් ප්‍රකාශයට පත් කිරීමද අතිශය වැදගත් ය.


මේ සමස්ථ වැඩපිළිවෙලෙහි අනිවාර්යෙන් තිබිය යුතු මූලික අරමුණු හා කොන්දේසි කිහිපයකි ඃ

* ළමුන් පාසලට ඇතුළත්කර ගැනීමේදී “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” ගැනද සඳහනක් ඇතුළත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම

* ගුරුවරයෙකුට හසුරුවා ගත හැකි ප්‍රමාණයේ කුඩා පංති හැදීම

* එවැනි කුඩා පංතියක සෑම දරුවෙකු සම්බන්ධයෙන්ම ගුරුවරිය/ගුරුවරයා නිරන්තර නිරීක්ෂණයක යෙදීම

* සෑම අධ්‍යාපන කලාපයකම, විශේෂයෙන් “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සඳහා විද්‍යාත්මක දැනුමක් හා පුහුණුවක් ලැබූ ගුරු මණ්ඩලයක් සහිත විශේෂ ඒකකයක් ආබාධිත ළමුන් සඳහාවන විශේෂ පාසලක ස්ථාපිත කිරීම

* “දුර්අක්ෂරතා” සහ “අත්රක්තර් ප්‍රේක්ෂාවලි අවුල” සම්බන්ධ දරුවෙකු ගැන යම් අවිනිශ්චිතයක් ගුරුවරියකට/ගුරුවරයෙකුට ඇති වුවහොත් වහා දෙමාපියන් දැනුවත්කර වෛද්‍ය උපදේශන සඳහා දරුවා යොමු කරවීම

* ළමුන්ට ශාරීරිකව හා මානසිකව දඬුවම් කිරීම සහමුලින් නතර කර, ළමයා කළ වරද සම්බන්ධව ඔහුව දැනුවත් කිරීමේ පෞද්ගලික පිළිවෙතක් සකසා ගැනීම


sarangi parenting boy helth 768x512
ඒ සමග නැවත මතක් කළ යුත්තේ “ඔබට අවශ්‍ය තරග දිනන්න නම්, ජව සම්පන්න අශ්වයින් හදන්න.... මොන බම්බුවටද...... දරුවන් හදන්නේ?” යැයි තාරේ සමීන් පාර් චිත්‍රපටයේ ගුරු රාම් ශන්ක නිඛුම්භ් ඇසූ ප්‍රශ්න යයි. ඔහු හෙලා දුටු “තරගකාරිත්වය” පිළිබඳ සමාජ ආකල්පය වෙනස් නොකර සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් දියුණු දරුවකු සමාජයට ලබා දිය නොහැකි හෙයින් ය.

kusal perera2
(සටහන | කුසල් පෙරේරා)

ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025 මාර්තු 27 වන දින


සබැඳි ලිපි :

මහ පොළොවේ තරු | කුසල් පෙරේරා

නව යොවුන් වියේ පාසල් සිසුන් දිවි නසාගැනීමට පෙළඹීම් ඉහළට !

'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්