leader s

සංස්කෘතික උරුමයක් සහිත වූ මිනිසුන් ජීවත් වන සමාජයක අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නාවූ විවිධ කාර්යයන් තෘප්ත කර ගැනීම උදෙසා එම කාර්යන්හි නියැලීමට ගොඩ නැගී ඇති සමාජ සංවිධාන ව්‍යුහය ‘සමාජ සංස්ථාවක්’ නම් වේ.


එමඟින් සමාජ අවශතා සපුරාලන අතර මානව උන්නතිය සඳහා කෘත්‍යාත්මක මෙහෙවරක් ඉටු කරයි. පුද්ගලයන් සමාජය තුළ ජීවත් වීමේදී විවිධාකාර වූ සමාජ සබඳතා පවත්වන අතර එකී සමාජ සබඳතා හැඩ ගස්වනුයේ සමාජ සංස්ථා මඟිනි. සමාජ සංස්ථා ඒකාබද්ධ වීමෙන් සමාජ ව්‍යුහයන් හා ඒ තුළින් සමාජ සංවිධානය නිර්මාණය වී ඇති අතර සමාජ සංවිධානයේ කේන්ද්රය ලෙස ‘පවුල’ හඳුනා ගත හැක.

මෙවැනි පසුබිමක නිර්මාණය වන පවුලක නීතිමය බන්ධනය තහවුරු කරන්නේ විවාහයෙනි. පවුල මෙන්ම විවාහයද විශ්වීය සමාජ සංස්ථාවකි. මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කිරීමටත්, එය විධිමත්ව සකස් කරගැනීමටත් මානව සමාජය තුළ විවාහය නම් සංස්ථාව ගොඩ නැගී ඇත. සමාජයේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය කරන සාමාජිකයන් දායාද කිරීමේ විධිමත් මාධ්‍ය වන්නේද විවාහයයි.

 

image 7e963d5434

විවාහය මඟින් ඇති වන වෛවාහක බැඳීම ඛණ්ඩනය කිරීම ‘දික්කසාදය’ නම් වේ. සමාජයේ පවතින කිසියම් හේතු සාධක තත්වයන් මත සමාජයේ සිටින ඇතැම් දෙනෙකුට විවාහය තුළින් බලාපොරොත්තු වන යහපැවැත්ම ” සුබසිද්ධිය”ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වී ඇති අතර එය සමාජීය ලෙස ප්‍රශ්නගත තත්වයක් දක්වා වර්තමානයේදී වර්ධනය වී ඇත.

මෙම සමාජ ගැටලුව නිරන්තරයෙන්ම සමාජයට ප්‍රතිචාර දක්වමින් ගොඩ නැගෙමින් පවතින අතර සමස්ත සමාජ සංස්ථා ජාලයේම සබඳතා ඛණ්ඩනය කිරීමට ඍජු බලපෑමක් ඇති කරන තත්වයකට පත් වෙමින් පවතී. ඒ අනුව වර්තමානයේදී ‘දික්කසාදය’ සමාජ ගැටලුවක් ලෙස සමාජය තුළ ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය.

මෙවැනි කාලීන සමාජ ගැටලුවක් පිළිබඳව විවිධ දිශානතීන් ඔස්සේ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් විමසුමට ලක් කිරීම වැදගත් වේ.

දික්කසාදය යනු වර්තමාන සමස්ත සමාජය තුළ ඉතා හුරුපුරුදු වූවක් බවට පත් වී ඇත.

This one thing is the biggest predictor of Divorce HI

දික්කසාදය යනු විවාහ බැඳීම බිඳ දැමීමයි. නීත්‍යානුකූලව ගත් කළ” දික්කසාදය යනු විවාහ ගිවිසුම විසුරුවා හැරීම වන අතර ඒ අනුව දෙපාර්ශවයම ස්වාධීනව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ඔවුන්ගේ වගකීම් සාකච්ඡා කර ගනියි.

ඒ අනුව වර්තමාන සමාජය බොහෝ සේ ඉහළ යන දික්කසාද තත්ත්වයන් අවම කර ගැනීම කෙරෙහි සියලු දෙනාගේම පූර්ණ අවධානය යොමුවිය යුතුය.

විවාහ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ ජීවිත කාලය පුරා එකට සිටීමට ගිවිසුම් දෙන දෙදෙනෙක්ගේ වෛවාහක දිවියේ අවසානය උසාවියක් ඉදිරියේ තීන්දු වේ නම් එය සැබැවින්ම ශෝකාන්තයකි.


bertrand russellබර්ට්‍රන්ඩ් රසල්
බර්ට්‍රන්ඩ් රසල් දක්වන පරිදි මානව සම්බන්ධතා පැවැත්වීමේදී එක් පාර්ශවයකට පමණක් සතුට සැලසෙන අයුරින් එම සම්බන්ධතා පැවැත්වීම පහසුය. එහෙත් දෙපාර්ශවයටම සතුට සැලසෙන අයුරින් එම සම්බන්ධතා පැවැත්වීම එතරම් පහසු නැත.

ඒ අනුව විවාහය දික්කසාදයකින් කෙළවර කිරීමට වඩා එය රැක ගැනීම කෙතරම් අපහසු ද යන්න මනාව විෂද කෙරේ. විවාහ ජීවිතය ආරම්භයත් සමඟ නව්‍ය වූ ලිංගික ජීවිතයකට අඹු සැමි දෙපළ අවතීර්ණ වීම ඔවුන්ගේ ජීවිතයන්ට මෙන්ම මනුෂ්‍ය සංහතියටම බලපාන සන්ධිස්ථානයක් ලෙස දැකිවිය හැක.

ඒ මන්දයත් ලිංගික ජීවිතය තුළ තම අයිතිවාසිකම් තහවුරු වීමත් සමඟ ඔවුන් දෙදෙනා ඊට අනුරූපීව තම දෛනික කටයුතු, ලිංගික අවශ්‍යතාවයන් හා ඔවුනොවුන් ඒ තුළින්ම පමණක් තෘප්ත කර ගත හැකි හා එලෙස තෘප්ත කර ගැනීමට සමාජයෙන් සම්මතයැයි අවසර හිමි ආශාවන් සහිත බලාපොරොත්තු රැසක් ගොඩනඟා ගන්නා නිසාවෙනි. ඒ සඳහා අඹු සැමියන්ට ආවේණික වූ ලිංගික ආචාරධර්ම පද්ධතියක් ඔවුන්ගේ ආගම සංස්කෘතිය හා සමාජ සන්දර්භයට අනුකූලව ඔවුනොවුන් විසින්ම නිර්මාණය කර ගනී.

marriage divorce d6904734 6647 11e6 b372 5e31f535a023
ඒසා විශාල වටිනාකම් සහිත වූ විවාහයෙහි සාර්ථකත්වයට බලපානා බොහෝ සාධකම දික්කසාදයන්හි තීරණාත්මක විනිසුරුවන් බවට පත් ව ඇති බවට සැකයක් නැත. එවැනි යම් යම් හේතු සාධකයන්හි සෘජු හෝ වක්‍ර බලපෑම ඔවුනොවුන් අතර දුරස්ථභාවයක් නිර්මාණය කිරීමටත් අවසානයෙහි බොහෝ විවාහයන් දික්කසාදයෙන් කෙළවර වීමටත් හේතු වී ඇත.

 විවාහ බැඳීම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම අසීරු අවස්ථාවන්හිදී දික්කසාද නඩුවක් ගොනු කිරීම වර්තමානය වන විට සුලබ කරුණකි. නමුත් එහිදී තමාගේ සිතැඟි අනුව කටයුතු කිරීම අපහසුය. ඒ සඳහා පොදු නීතියක් ක්‍රියාත්මක අතර එය ‘දික්කසාද නීතිය’ ලෙස හැඳින්වේ.

වර්තමානය වන විට දෛනික දික්කසාද ප්‍රවණතාව 350-400 වේ. මෙය ඇතැමුන් වරදවා වටහා ගෙන ඇත්තේ දෛනක දික්කසාද වීම් මෙම ගණනින් යුක්ත බවයි. නමුත් එය නිවැරදි විය යුත්තේ ශ්‍රී ලංකාවේ දිනකට දික්කසාද ගොනු කිරීම් 300-400ක් පමණ සිදු වන අතර දිනකට දික්කසාද 9 ක් පමණ ලබා දෙන ලෙසටය.

මෙම විෂමතාවයට හේතු වී ඇත්තේ රටේ වැරදි මත පදනම් වූ දික්කසාද නීති සහ දික්කසාදයක් ලබා ගැනීම දුෂ්කර දිගු අධිකරණ ක්‍රියාවලියක් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ සමස්ත දික්කසාද අනුපාතය ජනගහනයෙන් 1.5% ක් හෝ පුද්ගලයන් 1000 කට දික්කසාද 0.15 ක් ලෙසද වාර්තා වේ. දික්කසාදයෙන් අවසන් වන විවාහ ප්‍රතිශතය ආසන්න වශයෙන් 1.5% දැක්වේ.

 

divorce title image1 tcm7 213340
එසේ නම් සාම්ප්‍රදායික සමාජ ක්‍රම වලට වඩා නූතන සමාජයන්හි පවුල් බිඳ වැටීම හා දික්කසාද වීම් බහුලව සිදු වන බව පෙනේ. සමාජය තුළ සිදු වන නාගරීකරණය, ගෝලීයකරණය, කාර්මීකරණය ආදියේ අනිසි ප්‍රතිඵලයන්ට ඍජුව හෝ වක්‍රව මුහුණ දෙන මිනිසා ඒවාට අනුරූපව තම චර්යාවන් ගොඩ නගා ගනී. මේ නිසා පුද්ගල චර්යාවන්, සිතිවිලි, හැඟීම් ආදියද විපර්යාසයන්ට ලක් වේ. කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් තුළ නූතන සමාජය තුළ දික්කසාද වීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව පැහැදිලිය.

දික්කසාද ක්‍රියාවලිය තරමක් දුරට දීර්ඝ වන අතර ඒ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර විත්තිකාර පාර්ශවයේ වරද ඔප්පු කළ යුතු වේ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර නෛතික සම්බන්ධතාවයක් ඇති කරන බැඳීමක් ලෙස හැඳින්වෙන විවාහය තුළදී එම දෙපාර්ශ්වයට තවදුරටත් පොදු ගෘහය තුළ එක්ව ජීවත් විය නොහැකි බව හැඟී යන්නේ නම් එහිදී ගනු ලබන වෛවාහක සහනය ප්‍රධාන වශයෙන් කොටස් 3 කින් හඳුනාගත හැකිය.

*  අධිකරණමය වෙන්වීම

* දික්කසාදය

* විවාහ ශුන්‍යතාවය


Tripple Talaq
බහුවිධ නීති පද්ධතියක් ක්‍රියාත්මක ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය නීතිය, උඩරට නීතිය හා මුස්ලිම් නීතිය මඟින් දික්කසාද ලබා දෙන පදනම් එකිනෙකට වෙනස්ය. සාමාන්‍ය නීතිය යටතේ දික්කසාදය සම්බන්ධ නෛතික ප්‍රතිපාදන 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ හා සිවිල් නඩු ආඥා පනතේ 19 (2) වගන්ති ප්‍රකාරව මෙම දික්කසාදය ලබාගත හැකි පදනම් තුනකි.

■ විවාහයට පසුව සිදුකරන අනාචාරය
■ ද්වේශ සහගත හැරයාම
■ විවාහ වන අවස්ථාවේ පැවති සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව


උඩරට නීතියේ දික්කසාදය සම්බන්ධ නෛතික තත්ත්වය 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත තුළ දැක්වේ. මෙහි 32 වගන්තිය යටතේ දික්කසාදය ලබාදීමට පදනම් හයක් දක්වයි.

 විවාහයෙන් පසු කාන්තාවන් ගේ අනාචාරය

 විවාහයෙන් පසු පුරුෂයාගේ ව්‍යාභිචාරය හෝ කෲරත්වය මුසූ අනාචාරය

 වසර දෙකක් පුරාවට භාර්යාවගේ සම්පූර්ණ හෝ අඛණ්ඩ හැර යාම

 වසර දෙකක් පුරාවට පුරුෂයාගේ සම්පූර්ණ හා අඛණ්ඩ හැරයාම

 වසරක් පුරාවට වාසයෙන් හා සංවාසයෙන් වාසය නොකළ බවත් ඔවුන්ට සතුටින් ජීවත් විය නොහැකි බවත් ඔප්පු කිරීම

 අන්‍යෝන්‍ය කැමැත්ත


Judge gavel deciding on marriage divorce.
මෙම පනතේ 33 වන වගන්ති ප්‍රකාරව උඩරට නීතිය යටතේ දික්කසාදය ලබාදීමට නෛතික බලය පවතින්නේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට ය.

මුස්ලිම් නීතිය යටතේ දික්කසාදය සිදු කරනු ලබන්නේත් 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මඟිනි. ව්‍යවස්ථාපිත නීතියක් පැවතුණද පනතේ 98 (2) වගන්තියෙන් දක්වනුයේ මුස්ලිම් විවාහ හා දික්කසාද වලට අදාළ පාර්ශවයන්ගේ අන්‍යෝන්‍ය අයිතිවාසිකම් හා වගකීම සම්බන්ධ තත්ත්වය අදාළ පාර්ශවයන් යටත් වන මුස්ලිම් නීතියේ නීති ප්‍රකාරව තීන්දු කළ යුතු බව ය. මුස්ලිම් නීතිය යටතේ පාර්ශවයන්ට ආකාර කිහිපයකින් දික්කසාදය ලබාගත හැකිය.

 මුබාරත්
 තලාක්
 කුලා
 ෆසා


උඩරට නීතිය තුළ අන්‍යෝන්‍ය කැමැත්ත මත දික්කසාදය ලබා ගැනීමට අවකාශය ලබාදී ඇති අතර මුස්ලිම් නීතිය තුළ කාලාත්‍රයන් දෙදෙනාගේම කැමැත්ත මත දික්කසාදය ලබා ගැනීමට මුබාරත් ක්‍රමය තුළ අවකාශය ලබා දෙයි. එසේ නමුත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට පවතින සමානාත්මතාවය අනෙකුත් විශේෂ නීති තුළද ඒ ආකාරයෙන්ම පවතී ද යන්න ගැටළු සහගතය.

උඩරට නීතිය 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනත 32 වන වගන්ති ප්‍රකාරව විවාහයෙන් පසු කාන්තාවන්ගේ අනාචාරය පමණක් පදනම් කරගනිමින් දික්කසාදය ලබා දුන්නද පුරුෂයාගේ අනාචාරය සඳහා දික්කසාදය ලබා දෙනුයේ කෘරත්වය සමඟ මුසුව අනාචාරය වන්නේ නම් පමණි. මුස්ලිම් නීතිය සළකා බැලීමේදී තලා ක්‍රමය තුළින් ස්වාමිපුරුෂයාට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකර තම බිරිඳ දික්කසාද කළ හැකි අතර කාන්තාවන්ටද සැමියාගේ වරදක් නොපෙන්වා කුලා ක්‍රමය තුළ දික්කසාදය ලබා ගැනීමට හැකි වුවද සැමියාගේ කැමැත්තෙන් තොරව දික්කසාදය ලබා ගැනීමට නොහැක.

fighting in marriage shutterstock 1646347387

දෙදෙනා අතර අවබෝධයක් නොමැතිකම, නිතර දෝෂාරෝපණ, රණ්ඩු අඬ දබර වීම්, අන්‍යෝන්‍ය ගරුත්වයක් නොමැතිවීම, වගකීම් විරහිත බව ආදී විවිධ හේතු පදනම් කරගනිමින් දෙදෙනාගේම කැමැත්තෙන් දික්කසාද වීමට අවශ්‍ය වුවද සාමාන්‍ය නීති පද්ධතිය යටතේ කලින් සදහන් කරන ලද අවස්ථවන් ත්‍රිත්වය හැරුණුකොට දික්කසාදය ලබා ගැනීමට නොහැකිය. එවැනි අවස්ථාවක සාවද්‍ය ලෙස තොරතුරු සපයා පෙර සඳහන් කරන ලද ද්වේශ සහගත හැරයාම, අනියම් සබඳතා හා ලිංගික බෙලහීනතාවය යන හේතු තුනෙන් එකක් නිසාවෙන් පමණක් දික්කසාද තීන්දුව තීරණය කිරීමට සිදුවේ.

කෙසේ වෙතත් වර්තමාන සමාජය දෙස අවධානයේදී පෙනී යන්නේ තරුණ පරපුර අතර මෙම දික්කසාදය විලාසිතාවක් බවට පත් වී ඇති බවයි. තමාට එක්ව විවාහ දිවිය ගත කිරීමට නොහැකි වූ අවස්ථාවන්හිදී දික්කසාද වීම කළ යුත්තකි. මන්ද අපට ලැබී ඇති ජීවිතය දුක්ඛිතව ගත කිරීම අවශ්‍ය නොවන බැවිනි. නමුත් ප්‍රශ්නයක් ඇති වූ විගස හේතු නොවිමසා ඒ පිළිබඳව අවධානය යොමු නොකර එක්වරම දික්කසාද නඩු ගොනු කිරීම හාස්‍යයට කරුණකි.

විවාහය පිළිබඳව පවත්නා අවම වූ දැනුම” ජීවිතය කළමනාකරණය කර ගත නොහැකි වීම” ලිංගිකත්වය පිළිබඳව වන දැනුම අඩුබව” ඉවසිලිවන්ත නොවීම” අනවශ්‍ය සැකය වැනි කරුණු බොහෝ විට මෙම දික්කසාදයන්ට හේතු පාදක වේ.

Unhappy couple at therapy session in therapists office

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා දික්කසාදයන්ට ලබා දෙන අනවශ්‍ය වූ ප්‍රසිද්ධත්වය නිසා බොහෝ පිරිස් දික්කසාදයට එළඹෙන්නේ ඔවුන්ගේ මංගල ඡායාරූප හෝ ලබා ගැනීමටත් පෙරාතුවය. මේ නිසා විවාහයට පෙර සියලු දෙනාම ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පූර්ව විවාහ උපදේශනයකට යොමු වීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත.


(සටහන | එච්.එම්.එන්. දේශානි හේරත්)
සහකාර කතිකාචාර්ය
දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම - lankadailymail

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්