leader s

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.


මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි.

දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් ද සිදු කරනු ලැබේ.

එහෙත් ඒ බොහොමයක් අපගේ ඉදිරි දිවි පැවැත්මට එතරම් අන්තරායකාරී ඒවා නොවේ. එහෙත්, ඒ සකල විධ වේදනා කැක්කුම් අතුරින් තත්පර හෝ විනාඩි කිහිපයක් තුළ යමකුට සිදුවිය හැකි ලොකුම හානිය සිදු විය හැකි තීව්‍ර වේදනා කොටසක් ද තිබේ. එනම් පපුවේ කැක්කුම හෙවත් පපුවේ වේදනාව ය.

‘ඔයා ඉතින් කොහේ හරි රිදෙනවා කියන එකමනේ හැම තිස්සෙම කරන්නේ?’ අපගේ පවුල්වල සාමාජිකයන් අතරේ එවැනි කතා බහ ඇති වීම ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත්, ඒ සියලු වේදනා කැක්කුම් අතරේ යමකු ‘මගේ පපුව රිදෙනවා’ කී සැනින් එය අසන සියලුම දෙනා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වීම සාමාන්‍ය තත්වයකි. මෙය තමන් ගේ පවුල් පරිසරය තුළ මෙන්ම නාඳුනනා පිරිසක් හිඳින පොදු ස්ථානයකදී වුව එලෙසින්ම සිදුවිය හැක්කකි.

 “ඒ මනුස්සයා එක පාරටම මගේ පපුව රිදෙනවා කියලා පපුව අල්ලා ගත්තා. ඒ එක්කම තත්පර කීපෙකින් එතනම දඩස් ගාලා වැටුණා වැටුණම තමයි’ අප දන්නා බොහෝ දෙනකු මිනිසුන්ට වැළඳෙන පපුවේ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් එලෙස පවසනු ඔබ ද අසා තිබෙන්නට පුළුවන.

 

image dabb311b9a
අපට වැළඳෙන සෑම පපුවේ කැක්කුමක්ම හෘදයාබාධ අනතුරු සංඥාවක් නොවන බව ඇත්තකි. එහෙත්, එය හෘදයාබාධයක සංඥාවක් නොවන බව පවසා සිත සනසා ගැනීමේ ද යම් අනතුරුදායක බවක් තිබේ. තමන් එසේ වූ පමණින් යාන්තම් පපුව ටිකක් රිදුණු පමණින් වෛද්‍යවරයකු සොයා යාම ද ප්‍රයෝගිකව කළ නොහැක්කක් බව ද අප පිළිගත යුතු ය.නමුත් එය පහසුවෙන් අමතක කළ යුත්තක් ද නොවන බව විශේෂයෙන් කිව යුතු ය.

ශරීරයේ ඇති වන සෑම වේදනා කැක්කුමක් සේම පපුව ආශ්‍රිතව ඇති වන වේදනා කැක්කුම්වල ද යම් යම් විශේෂතා පවතී. ඒ අනුව එය හෘදයාබාධ අවදානමක් සහිත එකක් ද යන්න පිළිබඳව තරමක් දුරට අනුමාන කිරීමට අපට හැකිවේ.

heart attack

පපුව, විශේෂයෙන් පපුවේ වම් පස කොටස තදවන බවක් දැනීම, එමෙන්ම පපුවට දැනෙන වේදනාව උරහිසක්, අතක්, බෙල්ල පිට කොන්ද, හකු, දත්මුල් සේම උදරයේ ඉහළ කොටස් දක්වා පැතිර යනු දැනීම ඇතැම් විට හෘදයාබාධයක් පිළිබඳ මූලික අනතුරු සංඥාවක් විය හැක. එමෙන්ම ඉහත සඳහන් පපුව හා සම්බන්ධ නොමැති ශරීරයේ සෙසු කොටස් වලින් මුලින් මතු වන වේදනාව පසුව කෙමෙන් පපු ප්‍රදේශය වෙත පැමිණෙන අයුරක් ද මෙහි දී දක්නට පුළුවන.

එමෙන්ම මෙම වේදනාව පවතින අතරේ ස්වසන අපහසුවක්, විඩාබර ගතියක්, ඔක්කාරයක්, ශරීරයේ ශීතල ගතියක් තරමක හිසරදයක් සේම අජීර්ණ ස්වභාවයක් දැනීමේදී පහසු ඉඩක් පවතී. එහෙත් ඉහත සඳහන් ලක්ෂණ වලින් දෙක තුනක් හෝ කිහිපයක් මිස තමුන්ට හෘදයාබාධයක් දැයි දැන ගැනීම පිණිස ඉහත සඳහන් ලක්ෂණ සියල්ල සම්පූර්ණ වන තුරු බලා හිදීම යමකු තම ජීවිත කාලය තුළ ගන්නා අවසන් අඥාන තීරණය වීමට ද ඉඩ තිබේ.

 

Cough Hero
ඒ අතරේ එසේ දැනෙන පපුවේ වේදනාව සමඟ මුවට ඇඹුල් ගතියක් දැනීම, ඔබ අවසන් වරට ගත් ආහාර “ගුඩු ගුඩු” ගා ඉහළට එන බවක් දැනීම, ගිලීමේ අපහසුව, ශරීරයේ ඉරියව් වෙනස් කිරීමත් සමඟ වේදනාව ද අඩු වැඩි වීම ගැඹුරින් හුස්ම ගැනීමේ දී කැස්සකදී වේදනාව ද ක්ෂණිකව ඉහළ යාම සේම එම වේදනාව පැය හෝ ඇතැම් විට දින ගණනක් එක දිගට පැවතීම එය හෘදයාබාධයක් නොවීමට ඇති ඉඩකඩ සම්බන්ධ යම් සංඥාවක් අපට ලබා දෙන්නකි.

gerd diet.jpg

එහෙත් කිසියම් වේදනාවක් සම්බන්ධයෙන් එලෙස ඒකීය හා පැහැදිලි නිගමන වලට එළැඹීමේ නොහැකියාව මත එය හෘදයාබාධයක ලක්ෂණයක් නොවේම යැයි සිතීම ද අනතුරු දායකය. මේ අතර අප බඩ පපුවේ දැවිල්ල ලෙස හඳුන්වන තත්වයක් ද තිබේ.මෙය ඉංග්‍රීසියෙන් හඳින්වෙනුයේ Heartburn යනුවෙනි. 

 

බොහෝ විට ආහාර මාර්ගය හා සම්බන්ධ සංකූලතාවයක් ලෙස දැක්විය හැක සාමාන්‍යයෙන් ආමාශයේ අම්ලය ගලනාලය වෙත නැවත ගලා යාම නිසා ඇති විය හැක. මෙය අම්ල පරාවර්තනය ලෙස හැඳින්වෙන අතර, එය නිතර සිදුවුවහොත් එය ආමාශික ගලනාලීය ප්‍රතීක රෝගයේ (GERD) ලක්ෂණයක් ද විය හැකි ය.

සාමාන්‍යයෙන් පපුවේ අස්ථිය පිටුපස කොටසේ පපුවේ දැවෙන හැඟීමක් ඇතිවීම වැතිර සිටින විට හෝ ඉදිරියට නැමෙන විට තවත් උග්‍ර විය හැකි වේදනාව මුඛයේ තිත්ත හෝ ඇඹුල් රසයක් ආහාර පපුවේ හෝ උගුරේ සිරවී ඇති බවක් දැනීම මෙහි සුලබ ලක්ෂණ අතරට අයත් ය.කෝපි, මධ්‍යසාර, චොකලට් සහ කුළුබඩු සහිත හෝ මේද ආහාර වැනි ඇතැම් ආහාර සහ පාන වර්ග සේම ඇතැම් ඖෂධ භාවිතය ද මීට හේතු විය හැකි ය.

 

Plus size greedy woman enjoying eating a doughnut and drinking cola in her kitchen. Unhealthy eating concept
වැඩිපුර ආහාර ගැනීම, ආහාර ගැනීමෙන් පසු ඉක්මනින් වැතිරීම සහ පමණ ඉක්මවන දේහ ස්කන්ධය ද මීට හේතු විය හැකිය.නමුත් මෙවන් තත්වයක් යටතේ ඇන්ජයිනා (Angina ) තත්වයක් ද පැන නැඟිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කළ යුතු ය.

නූතන සමාජයේ වැඩි දෙනකු දන්නා ඇන්ජයිනාව බොහෝ විට හෘදයාබාධයක අනතුරු සංඥාවක් සේ පැන නඟින්නකි. ඇන්ජයිකාව යනු හදවතට සැපයෙන රුධිර පරිමාවේ අඩුවීමක් නිසා හටගන්නා වේදනාකාරී තත්වයක් වන අතර ඒ සමඟම හදවතට සැපයෙන අම්ලකර ප්‍රමාණය ද අඩුවීම මත එය තීව්‍ර වේදනාකාරී තත්වයක් බවට පත්වේ.

හදවත තදින් තෙරපවන බවක්දැනීම, ස්වසන අපහසුවක් සේම ශරීරය යම් තෙහෙට්ටුවකට ක්ලාන්ත බවකට පත්වීම ද මෙම ඇන්ජයිකාවක සාමාන්‍ය ලක්ෂණ අතර දක්නට ලැබේ.

එහෙත් මෙය බොහෝ විට විනාඩි කිහිපයක් තුළ ඉබේම පහව යන තත්ත්වයක් වන බැවින් “එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි” යනුවෙන් සිනාමුසුව යළි තම සුපුරුදු කටයුතු වල යෙදෙන්නෝ ද වෙති. එහෙත් මෙවන් තත්ත්වයන් එසේ සරල සිල්ලර ස්වභාවයෙන් සුළු කොට තැකිය යුතු නොවේ.

 

z eco
මේ අතර ඉහත සඳහන් පපුව හා සම්බන්ධ වේදනාකාරී තත්ත්වයන්ට පත්වන්නවුන් ගෙන් බොහෝ දෙනෙක් මූලික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන අතර ඒ ඔස්සේ ඊසීජී පරීක්ෂණයකට ද යොමු වෙති. එහෙත් එහි දී එම වෛද්‍යවරයා “ඊසීජී එක නම් නෝමල්” කී සැනින් සමහරකු අතිශය සතුටට පත් වනුයේ එය “සසර වසන තුරු” තමන්ට හෘදයාබාධයක් නොවැළඳෙන බවට පත් වගකීම් සහතිකයක් සේ සළකමිනි.

එහෙත්, ඊසීජී පරීක්ෂාව යනු හදවතේ එසැණ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ලක් ප්‍රස්තාරගත දර්ශකයක් පමණි. ඒ බරපතල හෘද රෝග සහිත වූවන් ගේ ද මුලින් ලබා ගන්නා ඊසීජී “නෝමල් වී” තිබීමේ පහසු හැකියාවක් පවතින බැවිනි.

 

Primary Care Medical Offices of Manhattan
ඒ අනුව යමකු හෘදයාබාධයක් සම්බන්ධ පවතී ද යන්න වඩාත් නිවරදි ලෙස වටහා ගැනීම පිණිස ව්‍යායාම ඊසීජී එකෝ සවුන්ඩර් පරීක්ෂණ ආදී පරීක්ෂණ දාමයකට යොමු විය යුතුය. මේ අතර මෙවන් පපුව ආශ්‍රිත වේදනාවට ලක්වන ඇතැමෙකු ඒ සඳහා ප්‍රතිකාර ගැනීම පිණිස තම ප්‍රියතම වෛද්‍යවරයා මුණ ගැසීම පිණිස කල් ගැනීම ද තවත් බරපතල වරදකි. ඒ ඇතැම් දුරට එවන් කල් මැරීමකදී ඔහුට තම ජීවිත කාලය තුළ ඒ අවස්ථාව නොලැබී යා හැකි බවකි.

මා එසේ පවසනුයේ වරින් වර එවන් පපුවේ කැක්කුම් වලට බඳුන් වන දුරබැහැර වෙසෙන අපගේ හිතවතුන් ඒ සඳහා මුණ ගැසීමට දින,සති,මාස ආදී වශයෙන් දිගු කාලයක් ඉල්ලා සිටින බැවිනි.නමුත් එහි දී විශේෂයෙන් කිව යුත්තේ ඔවුන්ගේ එම කාරිය “පමාව පසුතැවිල්ලට හේතු වේ” යන පිරුළ නැවත නැවතත් සත්‍ය කරවන්නක් බවකි. එමෙන්ම එලෙස බොහෝ විට එලෙස පසුතැවීමට සිදු වනුයේ ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු සමීපතමයනට මිස ඔහුට නොවේ.ඊට හේතුව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

 94894513 151223111547 heart attack 624x351 thinkstock.jpg

ඒ අනුව ඉහත සඳහන් ආකාරයේ අනේක විධ පපුවේ කැක්කුම් වේදනා ආදියට ලක් වන්නවුන් සඳහා දිය හැකි හොඳම උපදෙසක් තිබේ. එනම් තමන් එවැනි තත්වයකට මුහුණ දුන් සැනින් තමන් හිදින ස්ථානයට අඩුම දුරකින් හා වැඩිම පහසුකම් වලින් යුතු රජයේ රෝහල වෙත යොමු විය යුතු බව ය. එහිදී ඒ සඳහා ගත වන කාලය පිළිබඳව විශේෂයෙන් සිතා බැලිය යුතු ය. ඒ සම්බන්ධයෙන් තමන් අත්විඳින වෙහෙස තම සමීපතමයන්ට බාර දී නිසොල්මන්ව ඒ අවස්ථාවට මුහුණ දීම ද ඉතා වැදගත් ය.

එසේ නොකොට “එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”යනුවෙන් සිත සනසා ගැනීම යමකු තම ජීවිත කාලය තුළ සිදු කර ගන්නා ලොකුම සේම අවසන් අඥානකම හා ආත්ම වංචාව ද විය හැක.


Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්