සීනි සහිත බීම වර්ග හා සමානවම (සමහරවිට ඊටත් වැඩියෙන්) සීනි අඩු කළ, නැත්නම් "ඩයට්" කියල හැඳින්වෙන බීම වර්ග පානය කිරීම මගිනුත් අක්මා රෝග වැළඳිය හැකි බව අලුත්ම අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා.
MASLD විදියට හැඳින්වෙන අක්මාව සම්බන්ධ රෝගයට සීනි වගේම කෘත්‍රිම රසපානයන් සහිත බීම කියන දෙවර්ගයම බලපෑ හැකි බව අධ්‍යයන වාර්තාව සාධක සහිතව පෙන්නලා දීල තියන බවත් SciTechDaily වෙබ් අඩවිය වාර්තා කරනවා.
මීට ඉහතදී අක්මාව සම්බන්ධ කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරපු බ්‍රිතාන්‍ය වාසීන් 123,788ක් යොදාගෙන කරපු පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කිරීම මගින්, සීනි බීම පානය කරන්නන්ගේ MASLD අවදානම 50%කිනුත්, “ඩයට්” බීම පානය කරන්නන්ගේ අවදානම 60%කින් වැඩිවන බවත් හෙළි වී තියෙනව.
ඒ නිසා සීනි සහ කෘත්‍රිම රසපානයන් යන දෙකම සීමා කිරීම සෞඛ්‍යය රැක ගැනීමට වැදගත් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. සීනි බීම අඩු කිරීමෙන් MASLD අවදානම 12.8% කිනුත්, “ඩයට්” බීම අඩු කිරීමෙන් 15.2% කින් පහළ යයි. විද්‍යාඥයින් කියන්නේ, ඔබට මේ අවදානම අඩුකර ගැනීමට අවශ්‍ය නම් diet බීම වර්ග පානය කරනවා වෙනුවට ජලය පානය කරන්න කියල.
ප්‍රධාන පර්යේෂිකා Lihe Liu කියන විදියට සීනි සහිත බීම වර්ග - sugar-sweetened beverages (SSBs) - ගැන කාලාන්තරයක් මුළුල්ලේ අවධානය පළ වෙලා තිබුණත් සාමාන්‍යයෙන් "ඩයට්" බීම වර්ග සැලකුණේ වඩා සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් හැටියට. "කොහොම වුණත්, මේ දෙවර්ගයම බහුලව භාවිතයට ගැනුන වගේම ඒ මගින් අක්මාවට කෙරෙන බලපෑම එතරම් පැහැදිලිව හඳුනාගෙන තිබුණෙ නැහැ."
අඩු සීනි හෝ diet කියල හැඳින්වෙන බීම වර්ග - low- or non-sugar-sweetened beverages (LNSSBs) - දවසකට එක කෑන් වගේ සුළු ප්‍රමාණයක් භාවිත කළත් සීනි සහිත බීම වර්ග පානය කරනවාටත් වඩා එහි බලපෑම වැඩි බව අධ්‍යයනයෙන් හෙළි වූ බවත් විද්‍යාඥවරිය පෙන්වා දෙනවා. "ඒ නිසා අපේ සොයා ගැනීම මගින්, ඩයට් බීම වර්ගවලින් සෞඛ්‍යයට හානියක් නැහැ කියන සම්මතයට අභියෝග කරනව."
(SciTechDaily වෙබ් අඩවියේ වාර්තාවක් ඇසුරෙනි)
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)








