මුවින් මුව සිපගැනීමේ චර්යාව වසර මිලියන 21කට වඩා පැරණි බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව, මිනිසුන්ගේ සහ අනෙකුත් මහා වානරයන්ගේ (great apes) පොදු මුතුන් මිත්තා මෙම ක්‍රියාවේ නිරත වන්නට ඇති බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇත.
"Evolution and Human Behaviour" නම් විද්‍යාත්මක සඟරාවේ පළ කර ඇති මෙම පර්යේෂණය මගින් තවදුරටත් නිගමනය කරන්නේ, නියැන්ඩතාල්වරුන් (Neanderthals) ද සිපගැනීමේ නිරත වූ බවත්, නූතන මිනිසුන් සහ නියැන්ඩතාල්වරුන් අතර සිපගැනීම් සිදුවන්නට ඇති බවටත් හැකියාවක් පවතින බවයි.
පැවැත්මට හෝ ප්‍රජනනයට සෘජු වාසියක් නොපෙන්වන මෙම චර්යාව, මිනිස් සහ සත්ව ලෝකය පුරා ව්‍යාප්ත වී තිබීම විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වීමට හේතු විය. වෙනත් සත්ව විශේෂයන්හි මෙම චර්යාව නිරීක්ෂණය කිරීම හරහා, සිපගැනීම පරිණාමය වූ කාල වකවානුව නිර්ණය කිරීමට 'පරිණාමීය පවුල් ගසක්' (evolutionary family tree) ගොඩනැගීමට පර්යේෂකයින් සමත් විය.
මේ අධ්‍යයනය සඳහා 'සිපගැනීම' යන්නට විද්‍යාත්මක අර්ථකථනයක් ලබා දී ඇති අතර, එය 'ආහාර හුවමාරුවකින් තොරව, දෙතොල් හෝ මුඛයේ කොටස්වල යම් චලනයක් සහිතව සිදුවන, ආක්‍රමණශීලී නොවන, මුවින්-මුව සිදුවන සෘජු ස්පර්ශයක්' ලෙස දක්වා තිබේ.
ප්‍රධාන පර්යේෂිකා, ආචාර්ය මැටිල්ඩා බ්‍රින්ඩ්ල් ප්‍රකාශ කළේ, "මිනිසුන්, චිම්පන්සීන් (chimps) සහ බොනොබෝවන් (bonobos) යන සියලු දෙනාම සිපගැනීමේ නිරත වේ. එමගින් ඔවුන්ගේ ආසන්නතම පොදු මුතුන් මිත්තා ද මෙම චර්යාව පෙන්වන්නට ඇති බවට නිගමනය කළ හැකිය," යනුවෙනි.
"සිපගැනීම වසර මිලියන 21.5කට පමණ පෙර මහා වානරයින් අතර පරිණාමය වූ බවට අපි විශ්වාස කරමු," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම විද්‍යාත්මක අර්ථ දැක්වීමට ගැලපෙන චර්යාවන් වෘකයන්, 'ප්‍රේරී ඩෝග්ස්' (prairie dogs), හිම වලසුන් සහ ඇල්බට්‍රොස් පක්ෂීන් තුළ ද නිරීක්ෂණය වී ඇත.
නියැන්ඩතාල්වරුන් සම්බන්ධ නිගමනය තහවුරු කරමින්, මීට පෙර සිදුකළ DNA පර්යේෂණයකින් නූතන මිනිසුන් සහ නියැන්ඩතාල්වරුන් පොදු මුඛ ක්ෂුද්‍ර ජීවියෙකු (oral microbe) බෙදාගත් බවට සාක්ෂි ලැබී තිබිණි. "මෙය, විශේෂ දෙක වෙන්වීමෙන් අනතුරුව වසර ලක්ෂ ගණනක් පුරා ඔවුන් අතර කෙළ හුවමාරු වී ඇති බවට සාක්ෂියකි," යනුවෙන් ආචාර්ය බ්‍රින්ඩ්ල් පැහැදිලි කළාය.
මෙම අධ්‍යයනය මගින් සිපගැනීම පරිණාමය වූ කාලය හඳුනාගත්ත ද, එයට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. එය වානර මුතුන්මිත්තන්ගේ එකිනෙකා පිරිසිදු කරගැනීමේ (grooming) චර්යාවෙන් වර්ධනය වූවක් හෝ සහකරුවෙකුගේ සෞඛ්‍යය සහ ගැළපීම තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් විය හැකි බවට න්‍යායන් පවතී.
ආචාර්ය බ්‍රින්ඩ්ල් අවසාන වශයෙන් අවධාරණය කළේ, "මෙය මිනිසුන් සහ මිනිස් නොවන ඥාතීන් අතර පොදු චර්යාවක් බව වටහා ගැනීම වැදගත්. මිනිසුන් අතර පවතින ආදර හැඟීම් මත පදනම්ව එය නොසලකා හැරීම වෙනුවට, මෙම චර්යාව විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතුයි."








