leader s

දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී.


නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා අධිපාරිභෝගිකත්වය (Over Consumption) හමුවේ, සෙසු බොහෝ අගනා සමාජමය හරයන් සේම ඉහත විෂය සම්බන්ධ සත්‍යය ද යටපත්ව ඇත. එක් බෙහෙත් පන්තියකින් දුස්සාධ්‍ය රෝග පවා සුව කළ හැකි බව පවසන ව්‍යාජ ආයුර්වේද ප්‍රතිරූපකයන් ජන මාධ්‍ය තුළින් ඉස්මතු වී තිබීම නූතන සමාජ ඛේදවාචකයකි. ඊට සාපේක්ෂව ආයුර්වේදයේ සිද්ධාන්තමය හරයන් යටපත් වීමක් ද නිරීක්ෂණය වේ. ඒ අනුව ඒ සම්බන්ධ යම් දැනුවත් කිරීමකට මෙය නිසි කාලය යැයි සිතමි.

 

ayurveda banner

රසායන තන්ත්‍රය යනු සෞඛ්‍ය සම්පන්න දීර්ඝ ජීවිතයක් ගත කිරීම සඳහාත්, රෝග වැලැක්වීම සඳහාත්, ජෛවමය පද්ධතියේ පුනර්ජීවනය හෙවත් කාටත් වැටහෙන ලෙසින් කිවහොත් “තිරිහන් බව” සඳහාත් භාවිතා කළ හැකි විෂය පථයකි. විවිධ වූ ඖෂධ ද්‍රව්‍ය, ආහාර අතිරේක ලෙස භාවිත කළ හැකි ද්‍රව්‍ය සංස්කරණය හා භාවිතය පිළිබඳ කරුණු ඇතුලත් විෂය පථයක් මූලික ආයුර්වේදීය සිද්ධාන්ත අතරේ තිබේ. එය අෂ්ඨාංග ආයුර්වේදීයට අයත් සයවැන්න වන රසායන තන්ත්‍රය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල ජෛවමය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම මඟින් රෝග වලක්වා ගැනීම සේම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීම පිළිබඳව මෙම විෂය මඟින් ගැඹුරින් අධ්‍යනය කර ඇත.

දීර්ඝායුෂ සහ තරුණ බව පවත්වා ගැනීම පිණිස වන ශරීරයේ සෛල හා පටක පුනර්ජනනය කිරීම, එමඟින් ජීව ශක්තිය වැඩි කිරීම මඟින් ශරීරයේ සහ මනසේ සමබරතාවය පවත්වා ගැනීම, මානසික පැහැදිලිකම වැඩි දියුණු කිරීම, ආතතිය අඩු කිරීම සහ මනස සන්සුන් කිරීම හා සබැඳි සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩි දියුණු කිරීම පදනම් කොට ගත් මෙම පුනර්ජීවන චිකිත්සාව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දක්වන සැලකිල්ල ලොව අන් වෛද්‍ය ක්‍රමවලින් දක්වා තිබේ ද යන්න විමසුම් කටයුතු ය. එමෙන්ම ඒ සඳහා පුද්ගල ආහාර රටාව අතිශයින් වැදගත් වේ. ශරීර ස්වභාවයට, ප්‍රකෘතියට සහ ආහාර ජීර්ණ ශක්තියට ගැලපෙන නැවුම්, ස්වාභාවික සහ සෘතුමය ආහාර ගැනීම, ජීර්ණයට සහ රෝගවලට ප්‍රතිකාර කිරීමට උපකාරී වන ඖෂධ පැළෑටි සහ කුළුබඩු භාවිත කිරීම ආදිය සම්බන්ධයෙන් ආයුර්වේදයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

 

Ayurvedic Diet for Weightloss
ඊට අමතරව අශ්වගන්ධ, ආමලකී, ශතාවරී වැනි ශරීරය ශක්තිමත් කර පුනර්ජීවනය කරන විශේෂිත ඖෂධ පැළෑටි භාවිතය හා ඖෂධීය ප්‍රතිකාර (Herbal Therapy) ද ඉතා වැදගත් බව ආයුර්වේදය දක්වා තිබේ. ඒ අතරේ මිනිස් ශරීරය තුළ විවිධාකාර වලින් විෂ තැන්පත් වීමේ හැකියාව ද මනාසේ විස්තර කරන ආයුර්වේදය ශරීරයේ ගැඹුරින් තැන්පත් වී ඇති විෂ ඉවත් කිරීම සඳහා සිදුකරන විරේචන, වමන, වස්ති ඇතුළු පංචකර්ම ප්‍රතිකාර කෙරෙහි ද අවධානය යොමු කොට තිබේ. රසායන ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර මෙම පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඊටත් අමතරව ඖෂධීය තෙල් වර්ග යොදාගෙන සම්බාහනය කිරීම හෙවත් අභ්‍යංග, නළල මතට උණුසුම් තෙල් වත් කිරීම හෙවත් ශිරෝධාරා, ශාකසාර වාෂ්ප ස්නානය හෙවත් ස්වේද සේම යෝග සහ භාවනා පුහුණුව සම්බන්ධයෙන් ද නිසි ඉරියව්, නිවැරදි නින්ද සහ දෛනික චර්යාවන් කළමනාකරණය ද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක මූලික අඩිතාලම බව ආයුර්වේදයේ සඳහන් වේ.

ඉහත සඳහන් සමෝධානික ප්‍රවේශය තුළින් ශරීරය, මනස සහ ආත්මය යන සියල්ලේම සමබරතාවය ඇති කරමින්, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ලබා ගැනීම ආයුර්වේදීය රසායන චිකිත්සාවේ මූලික අරමුණයි. මේවා අදටත් අප රටේ ආයුර්වේද ආයතන ලෙස පිළිගත් ස්ථානයන්හි ඉතා සීමිතව කෙරෙන අතර, මේ වන විට රට පුරා විසිරී ඇති ඊනියා “මසාජ් ක්ලිනික්” හා මේවා අතර කිසිදු සබැඳියාවක් නොමැති බව විශේෂයෙන් කිව යුතු ය. එමෙන්ම එම ආයුර්වේද අවභාවිතාවන්ට එරෙහිව වගකිව යුත්තන් ගත යුතු කාලය ද නිමා වී දැන් බොහෝ කලෙකි.

Nelli Vera Korb

 

මේ අතර ඉහත සඳහන් පුනර්ජීවන චිකිත්සාව (Rejuvenation Tberapy) සඳහා කැප වූ විශේෂිත ආයුර්වේද ඖෂධ තිබේ ද යන්න ද බොහෝ දෙනෙක් විමසති.

ච්‍යවනප්‍රාශ යනු පැණි රස, ඇඹුල් සහ තරමක් සැර රසැති ජෑම් වැනි ආයුර්වේද ඖෂධීය ලේහයකි. ඊට ඒ නම ලැබී ඇත්තේ එය මුලින්ම සකස් කළේ යැයි සැලකෙන ච්‍යවන සෘෂිවරයා මුල් කර ගනිමිනි. මෙම සූත්‍රයේ ප්‍රධානතම අංගය වන්නේ ආමලකී නොහොත් නෙල්ලි ය. නෙල්ලි ස්වභාවිකව විටමින් C වලින් ඉතා පොහොසත් වන අතර, එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි (Antioxidant). ආයුර්වේදයේ එය දිව්‍යමය ඖෂධය හෙවත් අමෘතය ලෙස සලකනු ලබයි. මීට අමතරව ච්‍යවනප්‍රාශ සඳහා අශ්වගන්ධ, පිප්පලි, ශතාවරී ඇතුළු ඖෂධ පැළෑටි සහ කුළුබඩු වර්ග හතලිහකට අධික ප්‍රමාණයක් මෙයට එක් කොට තිබේ.

ච්‍යවනප්‍රාශ ඖෂධයේ නිර්මාණයට පාදක වූ ච්‍යවන මුණිවරයා සම්බන්ධ මෙම රසවත් පුරාවෘත්තය ප්‍රධාන වශයෙන් හින්දු පුරාණ කතාවල, විශේෂයෙන් මහාභාරතයේ සඳහන් වේ.

srudsh

එම පුරාවෘත්තවල සඳහන් අන්දමට ච්‍යවන සෘෂිවරයා යනු භෘගු මුණිවරයාගේ පුත්‍රයා ය. ඔහු වසර ගණනාවක් පුරා අතිශය දුෂ්කර තාපස වෘතයක් පුරමින් සිටියේ ය. මෙම තපස කෙතරම් දීර්ඝ කාලයක් පැවතියේ දැයි කිවහොත්, ඔහු අවට වේයන් තුඹස් බැඳ, ඔහුගේ මුළු ශරීරයම ඒවායින් සහ වැල්වලින් වැසී ගොස් තිබුණි. අවසානයේ ඔහුගේ ශරීරයේ ඉතිරිව තිබුණේ දීප්තිමත් නෙත් යුගල පමණි. මෙය බොහෝ හින්දු පුරාණ කතාවන්හි සෘෂිවරුන්ගේ අධි මානසික ශක්තිය නිරූපණය කරන්නකි.

දිනක් ශර්යාති රජු තම දියණිය වූ සුකන්‍යා කුමරිය සමඟ එම වනයට පැමිණියේ ය. සුකන්‍යා එම ස්ථානයේ තිබූ දීප්තිමත් ආලෝකයක් සහිත තුඹස දැක, එය කුමක්දැයි කුතුහලයෙන් යුතුව කටුවකින් ඇන බැලුවා ය. ඇය එසේ නොදැනුවත්වම ඇන්නේ ච්‍යවන සෘෂිවරයාගේ නෙත් යුවලට ය. ඇගේ එම අත්වැරැද්ද නිසා සෘෂිවරයා අන්ධ වී දරුණු වේදනාවෙන් කෝපයට පත් විය. මෙවන් බලවත් සෘෂිවරයකුගේ කෝපය යනු නියත ලෙසම මහා විපතකට මුල් වන්නකි.

Rejuvenation Therapy
ඒ තම දියණිය කළ වරදට සමාව ලබා ගැනීම සඳහා ඊට වන්දියක් වශයෙන් ශර්යාති රජු, අන්ධව සිටි මහලු ච්‍යවන සෘෂිවරයාට සුකන්‍යා කුමරියව විවාහ කර දීමට තීරණය කළේ ඉන් තම රාජ්‍යයට අත් විය හැකි මහා විනාශය වලකා ලනු පිණිස ය.

සුකන්‍යා කුමරිය ද තම ස්වාමිපුරුෂයාගේ මහලු බව සහ අන්ධ බව කිසිසේත් නොතකා, ඔහුට ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව සේවය කළා ය. දිනක්, දිව්‍ය ලෝකයේ වෛද්‍යවරුන් වන අශ්විනී කුමාරවරු සුකන්‍යාව දැක, ඇගේ සුන්දරත්වය සහ ස්වාමි භක්තිය අගය කළහ. මහලු සහ අන්ධ ස්වාමිපුරුෂයෙකුට සේවය කිරීමේ ඇගේ කැපවීම දුටු ඔවුහු ඇයට වරයක් දීමට තීරණය කළහ. ඒ අනුව ච්‍යවන සෘෂිවරයාට සුවය ලබා දී ඔහුට නැවත භද්‍ර යෞවනයක් ලබා දීමට අදහස් කළ අශ්විනී කුමාරවරු ඒ සඳහා ඔවුන් විශේෂිත ඖෂධයක් සකස් කළහ. මෙම ඖෂධීය මිශ්‍රණය පානය කිරීමෙන් පසු ච්‍යවන සෘෂිවරයාට යළිත් තරුණ බව, නිරෝගී ඇස් පෙනීම සහ පුනර්ජීවනය ලැබුණි. අශ්විනී කුමාරවරුන් විසින් ච්‍යවන සෘෂිවරයා වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කරන ලද මෙම සූත්‍රය, එතුමාගේ නමින් ච්‍යවනප්‍රාශ ලෙස ප්‍රචලිත විය.

ඉහත සඳහන් රසවත් පුරාණෝක්තිය තුළ පවත්නා සත්‍යතාව කෙසේ වෙතත් එහි දාර්ශනික හරය අපට කෙසේවත් බැහැර කළ නොහැක. එමෙන්ම මේ වන විට එනමින් යුතු වෙළඳ ද්‍රව්‍ය ඕනෑ තරම් දක්නට ඇතත් එහි මුල් යෝගය හෙවත් සූත්‍රය කුමක් ද යන්න මේ වන විට නිවැරදි නිශ්චයකට පැමිණීමකට නොහැකි වීම ඒ සම්බන්ධ බරපතල ගැටළුවක් වී තිබේ. එමෙන්ම වත්මන් අධිපරිභෝජනවාදී සමාජය අපේක්ෂා කරන ක්ෂණික හා පහසුවෙන් ලබා ගෙන, භාවිතා කළ මොහොතේම ප්‍රතිඵල ලබා ගත හැකි ඉන්ද්‍රජාලික ක්‍රම අතිශය ගැඹුරු ජීවන ශාස්ත්‍රයක් වන ආයුර්වේදයෙන් පැතීම ද වරදකි.

z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්