leader s

යක්ෂ, ප්‍රේත, පිසාචාදීන් මිනිස් ශරීර තුළට පිවිසිය හැකි බවට පවත්නා ජන විශ්වාසවල කිනම් හෝ සත්‍යතාවක් තිබේදැයි එක් වෛද්‍ය ශිෂ්‍යාවක් දේශනයක දී මගෙන් අසා සිටියා ය.

එහෙත්, දාර්ශනික හා සංස්කෘතික වශයෙන් මිස නවීන විද්‍යාත්මක වශයෙන් එවැනි දේ පිළිනොගැනෙන බවක් මම කීවෙමි. එවිට ඒ සමඟම තවත් ශිෂ්‍යයකු මගෙන් අසා සිටියේ සමාජයේ යක්ෂ විශ්වාස පිළිනොගන්නා වෛද්‍ය විද්‍යාව ඒවා ප්‍රතික්ෂේප කිරීම හැරුණු කොට ඒ වෙනුවට සමාජ ගත කොට ඇති විකල්ප අදහස් මොනවාද? යන්න ය.

සැබැවින්ම එය ඉතා වැදගත් පැනයකි. ඒ අනුව මම නවීන විද්‍යාව මඟින් හඳුන්වා දී ඇති මිනිස් සිරුර තුළට පිවිසිය හැකි “නිහඬ මාරයන්” තිදෙනකු සම්බන්ධයෙන් හා ඔවුන් ගෙන් දිවි ගලවා ගත හැකි පහසු උපාය මාර්ග පිළිබඳව එම සිසුනට සිහි කැඳවීමක් කළෙමි.

 

GettyImages 491297966 9dc48810c3a549dfa240daf6687dc257

මිනිසාට ඇති වන දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අධි කොලෙස්ටෙරෝල් යන රෝග තත්වයන් තුනම නවීන විද්‍යාවට අනුව බොහෝ විට හඳුන්වන්නේ “නිහඬ මාරයන්” (Silent Killers) ලෙසිනි. ඊට හේතුව මේවා දරුණු මට්ටමට පත්වන තුරුම පිටතට පෙනෙන විශේෂ ලක්ෂණ නොපෙන්වන බැවිනි. එමෙන්ම මිනිස් සිරුරට පිවිසිය හැකි ජන සම්මත යක්ෂ උවදුරු බලි, තොවිල් ශාන්ති කර්ම මඟින් සුවපත් කළ හැකි සේ ඉහත රෝග තත්වයන් සම්බන්ධ “විද්‍යාත්මක ශාන්ති කර්ම” ද ඇති බව මම ඔවුන් හමුවේ අවධාරණය කළෙමි. ඒ මේවා කල්තියා හඳුනා ගැනීමට ඇති එකම සහ හොඳම ක්‍රමය වන්නේ නිවැරදි වෛද්‍ය පරීක්ෂණ (Screening Tests) වලට යොමු වීමයි.

 

ඉන් පළමු වන නිහඬ මාරයා දියවැඩියාව (Diabetes) ය. නමුත් අධික පිපාසය, නිතර මුත්‍රා යාම ආදී රෝග ලක්ෂණ පහළ වීමට පෙරම එය හඳුනාගත හැකි ය. ඒ නිරාහාර රුධිර සීනි පරීක්ෂාව (FBS) හෝ HbA1c පරීක්ෂාව මඟිනි. අවුරුදු 35 ඉක්ම වූ පසු හෝ පවුලේ දියවැඩියා ඉතිහාසයක් ඇත්නම් අවුරුදු 25-30 සිට වසරකට වරක් පරීක්ෂා කිරීම සුදුසු වේ. නමුත් අප සමාජයේ බොහොමයක් තමන්ට දියවැඩියාව නොමැති බවක් පවසනුයේ කිසි දිනයක ඉහත පරීක්ෂණයකට මුහුණ දී නොමැති පසුබිමක ය. ඒ අනුව තමන්ට දියවැඩියාව තිබේද යන්න “දන්නෙ නෑ” කිව යුතු ව තිබිය දී “දියවැඩියාව නෑ” යැයි සෘජුවම පැවසීම අනාගතයේ පළමු නිහඬ මරුවා තමන් වෙත කැඳවා ගනිමින් දරුණු ප්‍රතිවිපාක හිමි කරවන බොරුවක් වීමේ පහසු අවකාශයක් තිබේ.

සාමාන්‍ය ජන වහරට අනුව ප්‍රෙෂර් එක නමින් හඳුන්වන අධික රුධිර පීඩනය (Hypertension) යනු වත්මන් සමාජය තුළ ශීඝ්‍ර ව්‍යාප්තියක් පළ කරන තවත් නිහඬ මරුවකු බඳු රෝග තත්වයකි. රුධිර පීඩනය මැන බලන තුරු රුධිර පීඩනය වැඩි බව දැනගත නොහැක. නමුත් දිගුකාලීනව පීඩනය වැඩිවී තිබීමෙන් හෘදයාබාධ සහ ආඝාතය (Stroke) ඇති විය හැක. සෙසු වෛද්‍ය පරීක්ෂණ වලට අමතරව රුධිර පීඩනය මැනීම (Blood Pressure Reading) ඉතා සරල හා පහසු කටයුත්තකි. සාමාන්‍ය අගය 120/80 mmHg ට වඩා අඩුවෙන් පැවතීම එහි සාමාන්‍ය අගය වන අතර ඕනෑම වයසක දී වෛද්‍යවරයෙකු හමු වූ විට මෙය මැන ගත හැක. එමෙන්ම පූර්ව පීඩන තත්ත්වයක් (Pre-hypertension) ඇත්නම් මුල සිටම ලුණු පාලනයෙන් මෙය නිට්ටාවට සුව කළ හැක. ඒ අනුව මෙම දෙවන නිහඬ මාරයා ද පහසුවෙන් දමනය කිරීමට අපට පුළුවන. මෙම අධික රුධිර පීඩන තත්වය නිරන්තරව පැවතීම මත නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරතුරු ඖෂධ ලබා ගැනීම හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙම නිහඬ මාරයා පරදවන නොවරදින විද්‍යාත්මක ශාන්ති කර්මයකි.

ha sd
අධි කොලෙස්ටෙරෝල් (High Cholesterol) තත්වය ද වේදනාවක් වැනි කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව මිනිස් සිරුර තුළ රිංගා ගත හැකි නිහඬ මාරයෙකි. රුධිර නාල තුළ මේදය තැන්පත් වීම වේදනාවක් ගෙන නොදෙන බැවින්, හෘදයාබාධයක් ඇතිවන තුරුම රෝග ලක්ෂණ මතු නොවීම ඉතා අනතුරුදායක තත්වයකි. LDL (නරක කොලෙස්ටෙරෝල්) සහ HDL (හොඳ කොලෙස්ටෙරෝල්) මට්ටම් පරීක්ෂා කෙරෙන ලිපිඩ පරීක්ෂාව (Lipid Profile) මඟින් මෙම නිහඬ මාරයා හඳුනා ගැනීම පහසුවෙන් පලවා හැරිය හැක. වයස අවුරුදු 20 සිට අවම වශයෙන් වසර 5කට වරක්වත්, අවුරුදු 40න් පසු වසරකට වරක්වත් ලිපිඩ පරීක්ෂාවක් කර ගැනීම වැදගත් වේ.

ඒ අනුව දියවැඩියාව කලින් හඳුනා ගැනීමෙන් හෘදයාබාධ, වකුගඩු නරක් වීම, ඇස් පෙනීම දුර්වල වීම වළකා ගැනීමට පුළුවන. එමෙන්ම රුධිර පීඩනය සාමාන්‍ය තත්වයක පවත්වා ගැනීමෙන් හෘදයාබාධ, ආඝාතය වළකා ගත හැකි අතර කොලෙස්ටෙරෝල් පාලනය හෘදයේ රුධිර නාල අවහිර වීම මත පදනම් වන හෘදයාබාධ, ආඝාත සමනය කර ලීමට සමත් වේ. ඉහත සඳහන් සියලු රෝග තත්වයන් සඳහා විධිමත් ප්‍රතිකාර පද්ධතියක් රාජ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණය තුළ සේම පෞද්ගලික වෛද්‍ය සේවාවන් ද අයත් ජාතික සෞඛ්‍ය යාන්ත්‍රණය තුළ මැනැවින් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් රාජ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණය බිඳ වැටී හෝ වැටෙමින් පවතින බවට එදා මෙදා තුර පැන නඟින දේශපාලනික හා වෘත්තීය සමිති මතවාද වල යම් සත්‍යයක් තිබිය හැකි නමුදු එය රාජ්‍ය සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සම්බන්ධ යම් යම් ගැටළු උද්ගත වීමක් විනා එහි පදනමේ බිඳ වැටීමක් නොවන බව අතිශයින් පැහැදිලිය.

 

අප එසේ පවසනුයේ මේ වන විට ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව (Life Expectancy) වයස අවුරුදු 77 ද ඉක්මවා ඇති බැවිනි. එය ආසියාතික මට්ටමින් ඉහළ අගයක් ගන්නා අතර ආයු අපේක්ෂාව පිළිබඳ ගෝලීය අගය වන වයස අවුරුදු 73.8 ද ඉක්මවා යාමකි. නමුත් එනිසාම ඉහත සඳහන් මිනිස් සිරුරට පිවිසිය හැකි නිහඬ මරුවන් සම්බන්ධයෙන් කල් ඇතිව දැනුවත් ව ඒ සඳහා රාජ්‍ය සෞඛ්‍ය යාන්ත්‍රණය කෙරෙහි විශ්වාසය තබා ඊට ප්‍රමුඛත්වය ලබා දී නවීන විද්‍යාත්මක ශාන්ති කර්ම සිදු කර ගෙන ඔබ ගේත් පවුලේ සාමාජිකයන් ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම ඔබ සතු පරම යුතුකමක් හා වගකීමක් බව සිහිපත් කරමි.

Namal Wijesinghe Prof(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්