leader s

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි.


මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි.

හදවත නතර වී විනාඩි 3 – 4ක් ඇතුළත මොළයට ඔක්සිජන් ලැබීම නතර වන බැවින් මොළයේ සෛල මියයාම ආරම්භ වේ. ඉන්පසුව මරණය සිදුවීමට ගතවන්නේ විනාඩි 8 – 10කටත් අඩු කාලයකි. හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වන්නේ හදවතට කිරීටක ධමනිය ඔස්සේ රුධිරය සැපයීම නතර වීම නිසාය. එසැනින් ඕනෑම අයකු සිහිසුන් වේ. නමුත් එය ඇතැමුන් හඳුන්වන පරිදි “එතැනම මැරී වැටීමක්” නොවේ. කෙසේ වෙතත් හෘද අකරණියක් විනාඩි කිහිපයකින් මාරාන්තික විය හැකිය.

ඒ අනුව ඉහත සඳහන් පැනයට මා දෙන සරල පිළිතුර නම්; හෘදය ඇණහිටීමකදී සිදුවන මරණය, විදුලිය විසන්ධි වූ සැනින් විදුලි බුබුළක් නිවී යාමට වඩා, විදුලි පංකාවක් ක්‍රමයෙන් නතර වීමට සමාන බවයි. එම නිසා අවට සිටින අය උපකාර ඉල්ලා වහාම හෘද්-පුප්ඵුසීය පුනර්ජීවනය හෙවත් CPR (Cardiopulmonary Resuscitation) ආරම්භ කළ යුතුය. වහාම උපකාර ලබා දුන් විට පුද්ගලයකුගේ දිවි ගලවා ගැනීමේ අවස්ථාව බෙහෙවින් වැඩි වේ.


CPR ලබා දෙන නිවැරදි ක්‍රමය

CPR යනු හදිසියේ හෘද ස්පන්දනය නතර වූ අවස්ථාවකදී පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට සිදු කරන ඉතාමත් වැදගත් ප්‍රථමාධාරයකි. මෙය යම් අවබෝධයකින් කළ යුතු කාර්යයකි. රෝගියා පත්ව සිටින්නේ සාමාන්‍ය සිහිසුන් තත්ත්වයකටද නැතහොත් හෘදය ඇණහිටීමකටද යන්න නිවැරදිව වටහා ගැනීම අතිශයින් වැදගත් වේ. එවන් රෝගියකු සඳහා දිය යුතු ප්‍රථමාධාරවල මූලික පියවර පහත පරිදි වේ:

ස්ථානයේ ආරක්ෂාව:  

ප්‍රථමාධාර ඇරඹීමට පෙර ඔබ සහ රෝගියා සිටින ස්ථානය ආරක්ෂිත දැයි බැලීම වැදගත් වේ.

ප්‍රතිචාර පරීක්ෂා කිරීම (Check Response):

රෝගියාගේ උරහිස් දෙකෙන් අල්ලා මඳක් සොලවන අතරේ “ඔබට ඇහෙනවාද? ඔබ හොඳින්ද?” යැයි ශබ්ද නඟා ඇසිය යුතුය. රෝගියාගෙන් ප්‍රතිචාරයක් නොමැති නම් වහාම අවට සිටින අයගෙන් උදව් ඉල්ලා සිටින්න.

හදිසි සේවා ඇමතීම:
 


සුවසැරිය (1990) වැනි ගිලන් රථ සේවාවකට වහාම දැනුම් දිය යුතුය.

හෘද සම්බාහනය:

රෝගියා තද, සමතලා පොළොවක් මත උඩුබැලි අතට සතපවා පපුවේ හරි මැද පිහිටි අස්ථිය මත ඔබේ එක් අල්ලක් තබා, අනෙක් අත ඒ මත තබා ඇඟිලි පටලවා ගන්න. ඔබේ වැලමිට නොනමා කෙළින් තබාගෙන, සිරුරේ බර යොදා පපුව තෙරපීම (Chest Compressions) ආරම්භ කරන්න. මෙය මිනිත්තුවකට වාර 100 – 120ත් අතර වේගයකින් කළ යුතුය.


තෙරපීමේ ප්‍රමාණය:

පපුව අඟල් 2ක් පමණ (සෙ.මී. 5ක්) තද වන සේ තෙරපිය යුතු අතර, සෑම තෙරපීමකටම පසු පපුව නැවත යථා තත්ත්වයට පත්වීමට ඉඩ දිය යුතුය.

කෘතිම ස්වසනය:

artifical
ඔබ පුහුණුවක් ලබා ඇත්නම් හෘද සම්බාහන වාර 30කට මුඛ ස්වසන වාර දෙකක් (30:2 අනුපාතයට) ලබා දිය හැකිය. ඔබට මුඛ ස්වසනය ලබා දීමට නොහැකි නම්, වෘත්තීය වෛද්‍ය සහාය ලැබෙන තෙක් හෝ රෝගියා හුස්ම ගැනීමට පටන් ගන්නා තෙක් හෘද සම්බාහනය පමණක් හෝ (Chest Compression only CPR) සිදු කරන්න.
විශේෂ සටහන: රෝගියා සාමාන්‍ය පරිදි හුස්ම ගන්නේ නම් හෝ රෝගියාට සිහිය තිබේ නම් CPR සිදු නොකිරීමට වගබලා ගත යුතුය.

පූර්ව අනතුරු සංඥා: ඇන්ජයිනා (Angina)

හෘදය ඇණහිටීමක් පිළිබඳ පූර්ව අනතුරු සංඥාව වනුයේ ඇන්ජයිනාවයි. හෘද පේශිවලට අවශ්‍ය රුධිරය සහ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් පරිදි නොලැබෙන විට පපුවේ වේදනාව හෝ අපහසුතාවක් ඇති වේ. මෙය හදවතට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය හෝ කොලෙස්ටරෝල් තැන්පත් වී ඒවා පටු වීම නිසා සිදු වේ.

ප්‍රධාන රෝග ලක්ෂණ:
 
Angina share
*පපුව තද කර මිරිකන්නාක් වැනි හෝ බරක් තබා ඇති බවක් දැනීම.

*වේදනාව බෙල්ල, හකු, පිටුපස, උරහිස් හෝ දෑත් (විශේෂයෙන් වම් අත) දෙසට විහිදී යාම.

*හුස්ම ගැනීමේ අපහසුව සහ අධික තෙහෙට්ටුව.

*ක්ලාන්තය හෝ අධික ලෙස දහඩිය දැමීම.


යමෙකුට මෙවැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් හෘදය ඇණහිටීමේ අවදානම වළක්වා ගත හැකි ය.

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk
 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්