leader s

”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම සිහිපත් කරන විට එසේ පවසනු අප අසා ඇත.


නමුත් මෙම ‘ළය පැලී මියයාම’ පිළිබඳව මා මුල්වරට අසා දැනගත්තේ ඉන් බොහෝ කලෙකට ඉහත, ඉතා ළාබාල අවදියේදී ය. ඒ, මහභිනික්මන් කළ සිදුහත් කුමරුන් කන්ථක අසුපිට නැඟී අනෝමා නදිය තරණය කිරීමෙන් පසු, තම ස්වාමියා සදහටම තමන්ගෙන් වෙන්වන බව වටහාගත් කන්ථක අසු එම ගංතීරයේදීම ළය පැලී මියයාමේ සිදුවීමෙනි. කෙසේ හෝ ඉන් පසු කන්ථක අසු එනමින්ම දිව්‍ය අත්භවයක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වීම එවක අපට තරමක සැනසීමක් විය. එවන් සිදුවීම් මුල් කරගනිමින් ජන මනසට පිවිසි ‘ළය පැලී මියයාම’ යන්න, අපේ ජන සංස්කෘතියේ සහ ඉතිහාසයේ දැඩි ශෝකය, කම්පනය හෝ වේදනාව දරාගත නොහැකි වූ විට සිදුවන මරණ හැඳින්වීමට භාවිත කරන ඉතා සංවේදී යෙදුමකි.

මෙම ළය පැලී මියයාම ජනවහරට සේම ජනකවි සහ සාහිත්‍යය තුළට ද එක්වීමෙන් එහි සංවේදී බව මනාව ප්‍රකට වේ. සිංහල සාහිත්‍යයේ සහ ජනකවියේ මෙයින් අදහස් කළේ හදවතේ ඇති වන දරාගත නොහැකි පීඩනයයි. “දුක වැඩිවෙලා පපුව පැලුණා” වැනි යෙදුම් මඟින් මානසික කම්පනය ශාරීරික මරණයකට මඟ පාදන ආකාරය විස්තර කෙරේ.

heart disease in women

අතීතයේ “ළය පැලී මියයාම” ලෙස හැඳින්වූ දෙය නවීන වෛද්‍ය විද්‍යාවේදී විස්තර වන බව බොහෝ දෙනෙක් නොදනිති. එය හැඳින්වෙන්නේ “බිඳුණු හදවත් සහලක්ෂණය” (Broken Heart Syndrome) හෙවත් ටාකෝසූබෝ කාඩියෝමයෝපති (Takotsubo Cardiomyopathy) ලෙසිනි. සාමාන්‍යයෙන් කාඩියෝමයෝපති යනු හෘද පේශිවල ඇති වන රෝගී තත්ත්වයකි. මෙහිදී හෘදයේ බිත්තිවල ඇති පේශි ඝන වීම, ඇදීමට ලක්වීම හෝ දුර්වල වීම සිදු වේ. මේ නිසා ශරීරයේ සෙසු කොටස් වෙත රුධිරය පොම්ප කිරීමේ හැකියාව හෘදයට අහිමි වේ. එනිසා මෙය ආතති කාඩියෝමයෝපති (Stress Cardiomyopathy) ලෙස ද ප්‍රකට ය.

ඒ අනුව ටාකෝසූබෝ කාඩියෝමයෝපති තත්ත්වය පිළිබඳව ද විමසුමක් කර බැලීමට ඔබ යොමු කළ යුතු යැයි මට සිතෙයි. යමකු තුළ දැඩි මානසික කම්පනයක්, කෝපයක් හෝ ශෝකයක් ඇති වූ විට, සිරුරේ ඇඩ්‍රිනලින් (Adrenaline) වැනි හෝමෝන අධික ලෙස ශ්‍රාවය වීම ස්වාභාවික තත්ත්වයකි. මෙය ඒ තැනැත්තා තුළ ඇති වන කායික වෙනස්කම් ඔස්සේ බාහිරට ද දර්ශනය වන්නකි. ටාකෝසූබෝ කාඩියෝමයෝපති තත්ත්වයේදී මෙහි ප්‍රතිඵලයක් ලෙස හදවතේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අඩපණ විය හැකි අතර, එය බාහිර වශයෙන් හෘදයාබාධයක ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම අවස්ථාවේදී “පපුව පැලෙන්නාක්” වැනි දැඩි වේදනාවක් හදවතේ ඇති වන නිසා එයට ඒ නම ලැබී ඇත. මෙය මරණයට පවා හේතු විය හැකි සැබෑ ශාරීරික ප්‍රතිචාරයකි.

ටාකෝසූබෝ (Takotsubo) යනු ජපන් වචනයකි. ජපන් බසින් එය බූවල්ලන් ඇල්ලීමට ගන්නා, පටු කටක් සහිත මැටි බඳුනකි. මෙම රෝගී තත්ත්වයේදී හදවතේ වම් කෝෂිකාව (Left Ventricle) ඉදිමී එම බඳුනේ හැඩය ගන්නා බැවින් මෙයට එම නම ලැබී ඇත. හදිසියේ ඇති වන දැඩි චිත්තවේගීය ප්‍රකම්පනයක් හෝ ශාරීරික සිදුවීමක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති විය හැකිය. සමීපතමයකුගේ මරණය හෝ වෙන්වීම, දරාගත නොහැකි දැඩි කෝපය, බිය හෝ කම්පනය වැනි අවස්ථාවන්හිදී මෙන්ම, විශාල මුදලක් සහිත ලොතරැයි ජයග්‍රහණයක් වැනි අතිශය ප්‍රීතිමත් අවස්ථාවලදී සහ දැඩි ශාරීරික රෝගී තත්ත්වයන් හෝ බරපතළ ශල්‍යකර්ම මුල් කොට ද මෙය ඉස්මතු විය හැකිය.

anger

හදිසියේ ඇති වන තද පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හෝ සිහි නැති වීම ආදී සාමාන්‍ය හෘදයාබාධයකට ඉතා සමාන රෝග ලක්ෂණ පළ කරන මෙම ටාකෝසූබෝ කාඩියෝමයෝපති තත්ත්වය, සාමාන්‍ය හෘදයාබාධයකට වඩා බෙහෙවින් වෙනස් ය. සාමාන්‍ය හෘදයාබාධයක් ඇති වන්නේ හදවතට රුධිරය සපයන නාල අවහිර වීමෙන් වන අතර, ටාකෝසූබෝ තත්ත්වයේදී රුධිර නාල අවහිර වීමක් සිදු නොවේ. ඒ වෙනුවට ආතති හෝමෝන නිසා හෘද පේශි තාවකාලිකව දුර්වල වීම ඊට හේතුවයි.

මේ වන විට සිදු කොට ඇති පරීක්ෂණ අනුව, මෙම රෝගී තත්ත්වයට පත් වන්නවුන්ගෙන් 90%ක් පමණ කාන්තාවන් බව අනාවරණය වී තිබේ. ඔවුන් අතරිනුදු වයස අවුරුදු 50ට වැඩි හෝ ආර්තවහරණය (Menopause) වූ කාන්තාවන් අතර මෙය බහුල බවත්, මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටලු එනම් කාංසාව (Anxiety) හෝ විෂාදය (Depression) ඇති අයට මෙහි අවදානම වැඩි බවත් අනාවරණය වී ඇත. එමෙන්ම ආඝාතය (Stroke) හෝ අපස්මාරය (Epilepsy) ඇති තැනැත්තවුන් කෙරෙහි ද ටාකෝසූබෝ කාඩියෝමයෝපති වැළඳීමේ වැඩි නැඹුරුවක් පවතින බව සොයාගෙන තිබේ. නමුත් ඉහත සඳහන් අවදානම් සාධක නොමැති පිරිස්වලට හා පුරුෂ පක්ෂයට ද මෙම රෝගය වැළඳිය හැකි බව සිහි තබා ගැනීම සැමගේ වගකීමකි.

ටාකෝසූබෝ කාඩියෝමයෝපති රෝගී තත්ත්වය මුල් කොට හදිසි මරණ සිදුවීමේ සුළු සම්භාවිතාවක් පෙන්නුම් කෙරුණ ද, බොහෝ අවස්ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාර මඟින් සති කිහිපයක් හෝ මාසයක් ඇතුළත රෝගියා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකිය. එහිදී ඖෂධීය ප්‍රතිකාරවලට අමතරව මානසික ආතතිය පාලනය කිරීම (Stress Management) සඳහා වන උපදේශනය (Counseling) යොදා ගැනෙයි. ඒ අතරතුර, ටාකෝසූබෝ හැඩය ගත් හදවත යථා තත්ත්වයට පත් වේදැයි පරීක්ෂා කෙරේ.

hraaart

මෙය සාමාන්‍ය හෘදයාබාධයක් මෙන් හෘද පටකවලට ස්ථිර හානියක් (Permanent Damage) සිදු නොකරන බැවින් සුවය ලැබීම වේගවත් ය. කෙසේ වෙතත්, පපුවේ වේදනාවක් දැනුණු සැනින් එය නිවසේ සිට තීරණය නොකර, වහාම රෝහල්ගත වී ECG හෝ ඇන්ජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණ මඟින් නිවැරදි රෝග විනිශ්චය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම වැදගත් (Prevention is better than cure) බව ලෝක සම්මතයයි. ඒ අනුව ටාකෝසූබෝ කාඩියෝමයෝපති ඇතුළු රෝග තත්ත්වයන්ගෙන් වැළකී හදවතේ නිරෝගීභාවය රැක ගැනීමට ගත හැකි පියවර කිහිපයක් ගැන ඔබගේ අවධානය යොමු විය යුතුය:

මානසික පීඩනය කළමනාකරණය (Stress Management): මෙම රෝගය සඳහා ප්‍රධානතම හේතුව අධික මානසික කම්පනය හෝ ආතතිය බැවින් එය පාලනය කිරීම වැදගත් වේ.

 

Meditation Strength Training for the Mind 1080x675
භාවනා සහ ශ්වසන අභ්‍යාස: නිතිපතා භාවනා කිරීම හෝ යෝග අභ්‍යාස මඟින් මානසික සන්සුන්භාවය පවත්වා ගත හැකිය. ක්ෂණික කෝපයක් හෝ කම්පනයක් වැනි ප්‍රබල චිත්තවේග ඇති වූ විට ගැඹුරින් හුස්ම ගැනීම (Deep Breathing) මඟින් සිරුරේ ඇඩ්‍රිනලින් මට්ටම පාලනය කළ හැකිය.


සමාජ සබඳතා: හිතවතුන් සහ පවුලේ අය සමඟ සුහදව, විවෘතව කතා කොට සැප දුක බෙදා හදා ගැනීම මඟින් සිතේ බර සැහැල්ලු කරගත හැකිය. එහෙත් වර්තමාන සමාජ සංකීර්ණත්වය හමුවේ ඒ සඳහා සුදුස්සන් තේරීම ද අවධානයෙන් කළ යුතු වේ.

සෞඛ්‍ය සම්න්න ජීවන රටාව: දිනකට විනාඩි 20-30ක් පමණ ඇවිදීම හෝ සරල ව්‍යායාමවල නිරත වීම, තෙල්, ලුණු සහ සීනි අධික ආහාර පාලනය කර එළවළු සහ පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම මෙන්ම, දිනකට පැය 7-8ක සුවදායක නින්දක් ලබා ගැනීම ශරීරයේ ආතති හෝමෝන අඩු කිරීමට උපකාරී වේ.ඒ අනුව මෙම ළය පැලී මිය යන කතාවේ සාහිත්‍යමය සංස්කෘතික සේම දාර්ශනික පසුබිම සේම ඒ සම්බන්ධ මෙම විද්‍යාත්මක යථාර්ථය ද වටහා ගෙන තිබීම ඔබට අතිශයින් ප්‍රයෝජනවත් විය හැක.


Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්