leader s

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් පවසයි.


අද (26) කොළඹදී පැවති මානසික සංවර්ධනය තුළින් ජීවිත පරිවර්ථනය නම් වැඩසටහන සමඟ එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ අවුරුදු 60 හෝ 65ට වැඩි වැඩිහිටියන් මේ අතර සිටින බවය.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනය වන බවත්, ඒ අනුව වැඩිහිටියන් මුහුණදෙන මෙම මානසික ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය අවම වීම හේතුවෙන් ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් වැඩිදුරටත් සඳහන් කළාය.


ඇතැම් විට වයස්ගත වීමේ දී ඇති වන යම් යම් මානසික රෝග ලක්ෂණ පිළිබඳ මිත්‍යා මත පදනම්ව තීරණ ගැනීමට සමාජය පෙළඹී ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස හොවා දක්වමින් සිටින බවද පැවසු විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස්, අමතක වීම හා විෂාදය වැනි රෝග ලක්ෂණ නොසලකා හැරීමට වැඩිහිටියන් පෙළඹී ඇතැයි ද පැවසුවාය.


මෙලෙස මානසික ගැටලු වැඩිහිටි ජනතාව අතර වැඩි වශයෙන් පැවතීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ තුළින් ශාරීරික සංකූලතාවයන් ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මානසික රෝහලේ 1999 දී වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, මේ වනවිට එහි පිරිමි සහ කාන්තා නේවාසික වාට්ටු දෙකක් ඇති බවත් මෑතකදී දීඝායු නමින් දිවා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මනෝචිකිත්සක හා චර්යා ක්‍රම තුළින් වෛද්‍ය උපදෙස් ලබාදීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

තනිකම සහ හුදකලාව

අද වනවිට මුළු මහත් ලෝකයම මුහුණදෙන බියකරු රෝගී ත්ත්වයක් බවට තනිකම සහ හුදකලාව පත්ව ඇති අතර, එය සෞඛ්‍ය ගැටලුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇතැයි ද වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් පිටරටවලට බහුලව සංක්‍රමණය වීම හේතුවෙන් අප රටේ ජීවත් වන වැඩිහිටි ප්‍රජාවද මෙම රෝග ලක්ෂණයන්ට ගොදුරු වෙමින් පවතින බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස්, පිටරටවල ජීවත් වන දරුවන් හැකි තරම් සිය දෙමාපියන් සමඟ වීඩියෝ මඟින් හෝ දුරකථන සංවාදයන් ඇති කර ගත යුතු බවත් පැවසීය.


එමෙන්ම එලෙස තනිකම සහ හුදකලාව හේතුවෙන් මානසික ගැටලුන්ට පත්වන වැඩිහිටියන් හැකි සෑම විටම මිතුරන්, නැදෑයෝ සහ ස්වෙච්ඡා කටයුතුවල නිරතවෙමින් සිය ජීවිතය ගත කිරීමට පෙළඹිය යුතු බවත් වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.


ලංකාව තුළ වැඩිහිටි මානසික සත්කාර සේවයේ දී මුහුණපාන ප්‍රධාන ගැටලු

ලංකාව තුළ මෙලෙස මානසික ගැටලු විශාල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබුණද ඒ සඳහා නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැති වීම ගැටලුවක් බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් සඳහන් කළාය.

තනිවම ජීවත්වීමේ දී වැඩිහිටියන් නිරන්තයෙන් ආර්ථික හා සමාජීය ගැටලුවලට මුහුණදෙන බවත්, එයට ප්‍රමාණවත් සහායක් රජයෙන් හෝ සමාජයෙන් නොලැබෙන බැවින් මානසික ගැටලු විසඳන්න නිසි ක්‍රමවේදයක් සකස් කිරීම රජය සතු වගකීමක් බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

 

| adaderana

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්