leader s

සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන්ගේ සුවිශේෂී හැසිරීම්, සිතුවිලි හෝ කථන විලාසයන් නිරීක්ෂණය වන විට, ඔවුන්ට “පිස්සු” හෝ “ඔල්මාදකාරයන්” ලෙස ලේබල් ඇලවීමට බහුතරයක් දෙනා පෙළඹෙති.


මෙය මානසික රෝග සම්බන්ධ විද්‍යාත්මක විවරණයන් ප්‍රකාශ වීමට පෙර අතීතයේ පැවැති ජන සම්මතයකි. ඉංග්‍රීසි භාෂාවෙන් “උමතු”, “ඔල්මාද” හෝ “පිස්සු” යන අර්ථය දෙන වචනයකි, ‘ලූනටික්’ (Lunatic) යන්න. අතීතයේ මානසික රෝගීන් රඳවා තබන ස්ථාන උන්මත්තකාගාර හෙවත් පිස්සන් කොටු ලෙස හඳුන්වන ලදී. මෙම ‘ලූනටික්’ යන වචනය බිඳී එන්නේ “ලූනා” (Luna) යන ලතින් වචනයෙනි. එහි අර්ථය “සඳ” (Moon) යන්නයි.

මධ්‍යකාලීන අතීතයේ පවා මිනිසුන් විශ්වාස කළේ සඳෙහි විවිධ අවධීන්, විශේෂයෙන්ම පුර පසළොස්වක පෝය දිනවල චන්ද්‍රයාගේ බලපෑම නිසා මිනිසුන්ගේ මනස විකෘති වන බවයි. අහඹු සිදුවීමක් වන පුර හඳ දිනවලට සමහර පුද්ගලයන් කලහකාරී ලෙස හෝ අසාමාන්‍ය ලෙස හැසිරීම නිසා, එම තත්ත්වය “සඳෙහි බලපෑමෙන් ඇති වූ උමතුවක්” ලෙස සලකා ඔවුන්ව “ලූනටික්” ලෙස හඳුන්වනු ලැබීය. කිසිදු පැහැදිලි හේතුඵල සබඳතාවක් නොමැතිව, සිදුවීම් දෙකක් හෝ කිහිපයක් එකම අවස්ථාවක අහඹු ලෙස සිදු වීම සරලවම පැවසුවහොත්, කිසිදු සැලසුමකින් තොරව සිදුවන සසම්භාවී සිදුවීමක් හෝ අහඹු සිදුවීමක් (Coincidence) ලෙස හැඳින්විය හැකිය.

 


“හඳ මෝරන කාලෙට පිස්සු තද වෙනවා” යන ජන වහරට අනුව ඉතා පැහැදිලිවම පෙනී යනුයේ මෙම ජන විශ්වාසය අප රටේ ද දැකගත හැකි වූ බවකි. වර්තමාන වෛද්‍ය විද්‍යාවේදී හෝ මනෝ විද්‍යාවේදී මානසික රෝගීන් හැඳින්වීම සඳහා මෙම වචනය කිසිසේත්ම භාවිතා නොකෙරේ. එය යල්පැනගිය, අපහාසාත්මක හෝ රළු වචනයක් (Offensive term) ලෙස සැලකෙන බැවින් භාවිතයෙන් සේම නිල ලේඛනවලින් පවා ඉවත් කර ඇත. ඒ අනුව වර්තමානයේ එදිනෙදා කතාබහේදී කිසියම් පුද්ගලයෙකු කරන අදූරදර්ශී, අඥාන හෝ අතිශය අවදානම් සහගත ක්‍රියාවක් හැඳින්වීමට පමණක් “ඒ මිනිහා ඔල්මාදකාරයෙක්”, “ඒක පිස්සු වැඩක්” ලෙස මෙම වචනය උපහාසාත්මකව භාවිතා වේ.

ඒ අනුව විද්‍යාත්මක ප්‍රවේශයකින් බැලූ කල, සමාජ සම්මතයන්ගෙන් බැහැර වන සෑම හැසිරීමක්ම මානසික රෝගයක් නොවේ. සමාජයීය වශයෙන් අපගමනය වූ හැසිරීම් සහ සැබෑ මානසික රෝග (Mental Disorders) අතර පවතින්නේ විශාල පරතරයකි. ඒ අනුව යමකු පෙළෙන්නේ මානසික රෝගයකින්දැයි නිරවද්‍යව විනිශ්චය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් වර්ගීකරණයන් මෙන්ම පැහැදිලි නිර්ණායකයන්ද පවතී. වර්තමාන වෛද්‍ය විද්‍යාවේදී මානසික රෝග විනිශ්චය කරනු ලබන්නේ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රමවේද ද්විත්වයක් පදනම් කරගනිමිනි. ඉන් පළමුවැන්න ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය (APA) මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන DSM-5-TR වර්ගීකරණය වන අතර, දෙවැන්න ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන ICD-11 වර්ගීකරණයයි. ලොව පුරා වෙසෙන මනෝ වෛද්‍යවරුන් රෝග විනිශ්චය සඳහා පාදක කරගන්නේ ඉහත සඳහන් එකී විද්‍යාත්මක පදනම මිස ඉහත සඳහන් ජන සම්මතය නොවේ.

මනෝ විද්‍යාවට අනුව, පුද්ගලයකු කෙරෙන් දිස්වන සාමාන්‍ය… චර්යාත්මක වෙනස්වීමක් සැබෑ මානසික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන නිර්ණායක 4ක් භාවිත කෙරෙන අතර, ලොව ඇතැම් රටවල සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය “The 4 Ds” සූත්‍රය ලෙස හඳුන්වයි. ඒ එම නිර්ණායක හතර ඉංග්‍රීසි ‘D’ අකුර මුල් කොට ගොනු කොට ඇති නිසාය.

defence

එහි පළමු නිර්ණායකය වන්නේ අසාමාන්‍යතාවයි (Deviance). එනම්, පුද්ගලයාගේ සිතුවිලි සහ හැසිරීම් රටාවන් ඔහු ජීවත් වන සමාජයට හෝ සංස්කෘතික රාමුවට කිසිසේත්ම නොගැළපෙන මට්ටමට වෙනස් වීමයි. උදාහරණයක් ලෙස, සමීපතමයකුගේ වියෝවක් වැනි සාමාන්‍ය සමාජයීය ස්වභාවයට වඩා බාහිර හේතුවකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ අධික ලෙස වැලපීම හෝ අන් අය තමන්ව වනසා දැමීමට තැත් කරන්නේ යැයි අස්වාභාවික ලෙස සැක කිරීම (Persecutory delusion) වැනි, අවට සිටින්නන්ට පහසුවෙන් ගෝචර වන චර්යාත්මක වෙනස්කම් මෙයට පෙන්වා දිය හැකිය.

දෙවැනි නිර්ණායකය වන දැඩි පීඩාව (Distress) යටතේ, තම මානසික තත්ත්වය හේතුවෙන් අදාළ පුද්ගලයා අභ්‍යන්තරිකව දැඩි ලෙස පීඩා විඳිය යුතුය. අධික භීතිය, නින්ද නොයාම හෝ නිරන්තරයෙන් මනසට වද දෙන බිහිසුණු සිතුවිලි මෙයට නිදසුන් වන අතර, ඇතැම් මානසික රෝගී තත්ත්වයන්හිදී රෝගියාට තමා විඳින පීඩාව ස්වයංක්‍රීයව අවබෝධ නොගැණුනද, ඔහුගේ හැසිරීම් හේතුවෙන් පවුලේ සාමාජිකයන්ට හෝ සමාජයට දැඩි පීඩාවක් සිදුවන්නේ නම් එයද මෙම නිර්ණායකයට අයත් වේ.

self harm

මෙම සූත්‍රයේ තෙවැනි නිර්ණායකය වන්නේ අක්‍රියතාවයි (Dysfunction). මෙම තත්ත්වය හේතුවෙන් රෝගියාගේ වෘත්තීය ජීවිතය, අධ්‍යාපනය, පවුල් සබඳතා මෙන්ම සමාජයීය සබඳතා බිඳ වැටී ඔහුගේ දෛනික ජීවන රටාව සම්පූර්ණයෙන්ම අඩාල වේ. උදාහරණයක් ලෙස, දැඩි විශාදයෙන් (Depression) පෙළෙන අයකු උදෑසන අවදි වීමට දැඩි අකමැත්තක් දැක්වීම, රැකියාවට නොගොස් මඟහැරීම හෝ සමාජයෙන් වෙන්වී හුදෙකලා වීමට උත්සාහ කිරීම දැක්විය හැකිය. සිවුවැනි සහ අතිශය බරපතළ නිර්ණායකය වන්නේ අනතුරුදායක බවයි (Danger). මෙහිදී රෝගියාගේ හැසිරීම් රටාව තමාට හෝ සමාජයට අනතුරක් ළඟා කරවිය හැකි මට්ටමට පත් වන අතර, සියදිවි නසාගැනීමට සිතීම හෝ ඒ සඳහා තැත් කිරීම, තමාගේ සිරුරට හානි කරගැනීම (Self-harm) මෙන්ම අන් අයට ප්‍රචණ්ඩ ලෙස පහර දීමට පෙළඹීම මීට ඇතුළත් වේ.

කෙසේ වුවද, ඉහත සඳහන් කරුණු කියවූ පමණින් කිසිවිටෙකත් තමන් විසින්ම තමාට රෝග විනිශ්චය කරගැනීමට (Self-diagnosis) නොපෙළඹිය යුතුය. යම් හැසිරීමක් සැබෑ මානසික රෝගයක් ලෙස නිර්ණය කරනු ලබන්නේ, එම රෝග ලක්ෂණ පවතින කාල සීමාව (Duration) සහ එහි බරපතළකම (Severity) කෙතරම්ද යන්න වෘත්තීය මට්ටමෙන් විග්‍රහ කිරීමෙන් අනතුරුවය. එබැවින්, මෙවැනි සායනික ලක්ෂණ නිරීක්ෂණය වන අවස්ථාවකදී නිවැරදි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගත යුත්තේ ළඟම ඇති රෝහලෙන් හෝ සුදුසුකම් ලත් විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගෙන් (Psychiatrist) පමණි.

Rumi Ruban
| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්