රතු ලේබලයේ සීමාව මිලිලීටර් 100ට ග්‍රෑම් 8 දක්වා පහත දමමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් නව ගැසට්ටුවක්
බදු සහ ලේබල් ක්‍රමයෙන් බේරීමට බීම නිෂ්පාදකයන් විශාල වශයෙන් රසායනික පැණිරසකාරක භාවිත කරන බවට IPS පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි
කෘත්‍රිම පැණිරසකාරක භාවිතය නිසා දියවැඩියාව සහ හෘද රෝග අවදානම ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග (NCDs) පාලනය කිරීමේ අරමුණින් පැණිරස බීම වර්ග සඳහා දැනට ක්‍රියාත්මක 'ට්‍රැෆික් ලයිට්' (Traffic Light Labelling) වර්ණ සංකේත ක්‍රමය වඩාත් දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයකට අනුව, මීට පෙර පැණිබීම මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 11කට වඩා වැඩි වූ විට පැනවුණු 'රතු' අනතුරු ඇඟවීමේ ලේබලයේ සීමාව, දැන් සීනි ග්‍රෑම් 8 දක්වා පහත දමා ඇත. ඒ අනුව සීනි ග්‍රෑම් 2.5 සිට 8 දක්වා අගයන් 'කහ' ලේබලයටත්, ග්‍රෑම් 2.5ට අඩු අගයන් 'කොළ' ලේබලයටත් යටත් වේ.
නව නීතියේ හිඩැස් සහ කෘතිම පැණිරසකාරක උගුල

පැණිබීම නිෂ්පාදකයන් විසින් සීනි මත පනවා ඇති රුපියල් 30ක බද්දෙන් සහ රතු ලේබලයෙන් බේරීම සඳහා, සීනි වෙනුවට කෘත්‍රිම පැණිරසකාරක (Non-Sugar Sweeteners) විශාල වශයෙන් නිෂ්පාදනවලට එකතු කිරීමේ නව ප්‍රවණතාවක් නිර්මාණය කර ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (IPS) පර්යේෂණ දත්ත පෙන්වා දෙයි.
කොළ ලේබලයේ ඇත්ත තත්ත්වය:
වත්මන් වර්ණ ලේබල් ක්‍රමය මඟින් මනිනු ලබන්නේ ස්වභාවික සීනි ප්‍රමාණය පමණක් නිසා, අධික ලෙස රසායනික පැණිරසකාරක අඩංගු බීම වර්ගවලට ද 'කොළ' හෝ 'කහ' ලේබල් ඉතා පහසුවෙන් හිමිවේ. පර්යේෂණවලට අනුව වර්තමානයේ කොළ ලේබලය සහිත පැණිබීම වර්ගවලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක සහ කහ ලේබල් බීමවලින් අඩකම කෘත්‍රිම පැණිරසකාරක අඩංගු වේ.
සෞඛ්‍යමය අවදානම:
මෙලෙස සීනි නොවන කෘතිම පැණිරසකාරක දිගුකාලීනව භාවිත කිරීම නිසා හෘද වාහිනී රෝග, දියවැඩියාව සහ ආයු කාලය කෙටි වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිල වශයෙන් අනතුරු අඟවා තිබේ.
ප්‍රතිපත්තිමය දුර්වලතා සහ යෝජනා

මීට අමතරව, වසර ගණනාවක් තිස්සේ මූල්‍ය සමාගම් විසින් සිදුකළ බලපෑම් හේතුවෙන් සීනි ග්‍රෑමයකට පනවා තිබූ බදු අනුපාතය ද සියයට 40කින් පමණ අඩු කර ගැනීමට ඔවුන් සමත් වී ඇත. මේ නිසා වෙළඳපොළේ පවතින විවිධ දීමනා සහ වට්ටම් හේතුවෙන් සීනි භාවිතය අධෛර්යමත් කිරීමේ බදු ප්‍රතිපත්තියේ සැබෑ අරමුණ ගිලිහී ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
පවතින තත්ත්වය හමුවේ, දැනට ක්‍රියාත්මක සීනි සඳහා පමණක් පදනම් වූ බදු ක්‍රමය වෙනුවට, සීනි සහ කෘත්‍රිම පැණිරසකාරක යන දෙකම ආවරණය වන පරිදි සමස්ත දියර ප්‍රමාණය මත පදනම් වූ බද්දක් හඳුන්වා දිය යුතු බව බදු විශේෂඥයෝ යෝජනා කරති. එසේ නොමැති වුවහොත්, ශ්‍රී ලංකාව සීනි පරිභෝජනය අඩු කරගන්නා අතරතුර, ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව ඇති රසායනික පැණිරසකාරකවලට ජනතාව ඇබ්බැහි කරවීමේ තවත් සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Sri Lanka’s New Sugar Labels Leave Dangerous Sweetener Loopholes Open








