වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන හෝ ඉන්ධන පිරවුම්හලකින් සේවාව ලබාගෙන පිටතට එන සෑම අවස්ථාවකදීම අප අතට කුඩා බිල් කැබැල්ලක් ලැබෙයි.
ඒ අප විසින් ගෙවන ලද මුදලට ලැබෙන රිසිට්පතයි. බැංකු ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ලබාගත් විට හෝ තැන්පත් කළ විට ද එවැනිම රිසිට්පතක් අපට ලැබෙයි. අප අතට පත් වන, කළු පැහැයෙන් අකුරු පැහැදිලිව මුද්‍රණය කර ඇති මෙම රිසිට්පත් දෙස අප බලන්නේ ඉතා සාමාන්‍ය ලියවිල්ලක් ලෙසය.
බොහෝ දෙනෙක් එය නොසලකා හැර පසුම්බියට දමා ගනිති. නැතහොත් නිවසට ගිය වහාම කුඩා දරුවන්ගේ අතට හසුවන තැන්වල පවා දමති. නමුත් මේ සුදු පැහැති කඩදාසිය පිටුපස මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර, සෙමින් ක්‍රියාත්මක වන රසායනික බෝම්බයක් සැඟවී ඇති බව ඔබ දන්නවාද? නවතම වෛද්‍ය පර්යේෂණ සහ ගෝලීය සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම සාමාන්‍ය රිසිට්පත් අතින් ඇල්ලීම පවා දීර්ඝකාලීනව පිළිකා ඇතුළු බරපතළ රෝගාබාධ රැසකට මුලපිරීමක් විය හැකි බවයි.

සාමාන්‍ය කඩදාසිවල මුද්‍රණය කිරීමට නම් තීන්ත (Ink) හෝ කාට්රිජ් වර්ග අවශ්‍ය වුවද, අපට දිනපතා ලැබෙන මෙම රිසිට්පත් මුද්‍රණය කිරීමට කිසිදු තීන්ත වර්ගයක් භාවිත කරන්නේ නැත. ඒ සඳහා යොදාගන්නේ තාප සංවේදී කඩදාසි (Thermal Papers) විශේෂයකි. මෙම කඩදාසි මතුපිට විශේෂිත රසායනික ස්ථරයක් ආලේප කර ඇති අතර, මුද්‍රණ යන්ත්‍රයේ ඇති කුඩා තාප හිස (Thermal Head) මඟින් කඩදාසිය මතට නිශ්චිත උෂ්ණත්වයක් ලබා දෙන විට, තාපයට සංවේදී රසායනිකයන් ක්‍රියාත්මක වී කළු පැහැයට හැරෙමින් අකුරු සහ ඉලක්කම් මතු කරවයි. ඉතා වේගයෙන්, කිසිදු ශබ්දයකින් තොරව සහ තීන්ත පිරිවැයක් නොමැතිව මුද්‍රණය කළ හැකි නිසා ලෝකය පුරාම මෙන්ම ශ්‍රී ලංකාව තුළද ව්‍යාපාරිකයන් බහුලවම භාවිත කරන්නේ මෙම තාප රිසිට්පත්ය. කෙසේ වෙතත්, මෙම තාක්ෂණයේ ඇති පහසුව පිටුපස ඇති බිහිසුණුම සාධකය වන්නේ එම කඩදාසිවල අඩංගු “බිස්ෆීනෝල් ඒ” (Bisphenol A හෙවත් BPA) හෝ “බිස්ෆීනෝල් එස්” (Bisphenol S හෙවත් BPS) නමැති කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන්ය.
BPA යනු ප්ලාස්ටික් බෝතල්, කෑන් වර්ග සහ විවිධ ඇසුරුම් දෘඩ කිරීම සඳහා කාර්මිකව බහුලවම යොදාගන්නා රසායනිකයකි. ප්ලාස්ටික් බෝතලයක ඇති BPA ශරීරගත වන්නේ කලාතුරකිනි. මන්ද ඒවා ප්ලාස්ටික් ව්‍යුහය සමඟ තදින් බැඳී පවතින බැවිනි. නමුත් තාප රිසිට්පත්වල ඇති තත්ත්වය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. රිසිට්පත් මුද්‍රණය කිරීම සඳහා මෙම රසායනිකය කඩදාසිය මතුපිට තවරා ඇත්තේ කුඩු ස්වරූපයෙනි. මේ නිසා අප අපගේ දෑතින් මෙම රිසිට්පතක් ස්පර්ශ කරන සෑම අවස්ථාවකදීම, එහි ඇති රසායනිකයන් ඉතා පහසුවෙන් අපගේ ඇඟිලි තුඩුවල තැවරෙන අතර සුළු වෙලාවකින් සම හරහා රුධිර සංසරණ පද්ධතියට ඍජුවම අවශෝෂණය වේ. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප්ලාස්ටික් බෝතලයක් ඇල්ලීමට වඩා සිය ගුණයක වේගයකින් සහ ප්‍රමාණයකින් රිසිට්පතක් ඇල්ලීමෙන් BPA මිනිස් සිරුරට ඇතුළු විය හැකි බවයි.
මිනිස් ශරීරයට ඇතුළු වන මෙම බිස්ෆීනෝල් රසායනිකය සිරුර තුළ හැසිරෙන්නේ හෝමෝන “වංචාකරුවෙකු” ලෙසය. වෛද්‍ය විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ ‘ඇන්ඩොක්‍රින් ඩිස්රප්ටර්’ (Endocrine Disruptor) හෙවත් ශරීරයේ හෝමෝන පද්ධතිය අවුල් කරන රසායනිකයක් ලෙසයි. මිනිස් සිරුරේ ස්වාභාවිකව නිපදවෙන ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනයේ ව්‍යුහය අනුකරණය කිරීමට මෙම රසායනිකයට පුදුමාකාර හැකියාවක් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ සෛල මඟින් මෙම රසායනිකය සැබෑ හෝමෝනයක් ලෙස වරදවා වටහා ගන්නා අතර, එමඟින් ශරීරයේ ස්වාභාවික හෝමෝන සමතුලිතතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටේ. දීර්ඝකාලීනව මෙලෙස හෝමෝන පද්ධතිය අවුල් වීම නිසා මිනිස් සිරුර තුළ පිළිකා සෛල වර්ධනය වීමේ ප්‍රවණතාව ඉහළ යයි.

විශේෂයෙන්ම හෝමෝනවල ක්‍රියාකාරීත්වය මත පදනම් වන පියයුරු පිළිකා (Breast Cancer) සහ පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා (Prostate Cancer) ඇතිවීම කෙරෙහි මෙම BPA රසායනිකය ඍජුවම බලපාන බව ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය පර්යේෂණ රැසකින්ම සනාථ කර ඇත. පිළිකාවලට අමතරව දියවැඩියාව, හෘද රෝග, තරබාරුකම, ලිංගික බෙලහීනතාව සහ කාන්තාවන්ගේ වඳභාවය කෙරෙහිද මෙම රසායනිකයේ බලපෑම පවතී.
නමුත් ආසියානු කලාපයේ තත්ත්වය දෙස බලන විට අපට දැකගත හැක්කේ මිශ්‍ර ස්වභාවයකි. ජපානය වැනි සෞඛ්‍යාරක්ෂාව අතින් ඉතා දියුණු රටවල් 2001 වසරේ සිටම මෙම රසායනිකය සහිත කඩදාසි භාවිතයෙන් ඉවත් වී රසායනික ද්‍රව්‍යවලින් තොර (BPA-Free / Phenol-Free) ආරක්ෂිත කඩදාසිවලට මාරු වී ඇත. දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල්ද දැඩි නීතිමය සීමාවන් පනවා ඇතත්, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය රාමුවක් හෝ රාජ්‍ය මට්ටමේ පාලනයක් ක්‍රියාත්මක නොවේ.

මෙම සමස්ත ක්‍රියාවලියේදී වඩාත්ම අවදානමට ලක්වන්නේ කලාතුරකින් රිසිට්පතක් අල්ලන සාමාන්‍ය පාරිභෝගිකයෙකු නොවේ. සුපිරි වෙළඳසැල්, බැංකු, ඉන්ධන පිරවුම්හල් සහ විවිධ ආයතනවල දිනකට පැය අටක් හෝ දහයක් පුරා අඛණ්ඩව සේවය කරමින්, දිනකට රිසිට්පත් සිය දහස් ගණනක් අතින් අල්ලන මුදල් අයකැමියන් සහ වෙළඳසැල් සේවකයන්ය. ඔවුන්ගේ දෑත්වල නිරන්තරයෙන්ම මෙම රසායනික කුඩු තැවරෙන අතර ඔවුන් නොදැනුවත්වම ඒවා ශරීරගත වේ. වෛද්‍ය පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මුදල් අයකැමියකුගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කළ විට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා සිරුරේ අඩංගු BPA ප්‍රමාණය සිය ගුණයකින් පමණ ඉහළ මට්ටමක පවතින බවයි.
ශ්‍රී ලංකාව වැනි රටක නීතිමය තහනමක් එනතුරු බලා සිටීම ප්‍රඥාවන්ත නොවන නිසා, මහජනතාව ලෙස අප විසින්ම ස්වයංව ආරක්ෂා වීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අප දෛනිකව අනුගමනය කළ යුතු සරල නමුත් අතිශය වැදගත් සෞඛ්‍යාරක්ෂිත පියවර කිහිපයක් තිබේ. ප්‍රධානම කරුණ වන්නේ රිසිට්පතක් අතට ගත් විට එහි අකුරු මුද්‍රණය කර ඇති ඉදිරිපස පැත්ත ඇල්ලීමෙන් හැකිතාක් වැළකී, එහි පිටුපස පැත්තෙන් හෝ දාරවලින් පමණක් ඇල්ලීමට හුරු වීමයි. මන්ද රසායනික ආලේපනය පවතින්නේ ඉදිරිපස ස්ථරයේ පමණක් වන නිසාය.

එසේම, වෙළඳසැලකින් රිසිට්පතක් ලබාගත් වහාම, විශේෂයෙන්ම කිසියම් ආහාරයක් ගැනීමට හෝ මුහුණ, කට, ඇස් ඇල්ලීමට පෙර සබන් යොදා දෑත් හොඳින් සෝදා හැරීමට වගබලා ගත යුතුය. කුඩා දරුවන්ගේ සම ඉතා තුනී සහ සංවේදී බැවින් ඔවුන්ට මෙම කඩදාසි අතපත ගෑමට දීමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. බොහෝ දෙනෙකුට ඇති තවත් අහිතකර පුරුද්දක් වන්නේ රිසිට්පත් සියල්ල මුදල් පසුම්බියේ මුදල් නෝට්ටු සමඟ එකට ගොඩගසා තැබීමයි. මෙලෙස දිගු වේලාවක් එකට පවතින විට රිසිට්පතේ ඇති රසායනික කුඩු මුදල් නෝට්ටුවල ද තැවරේ. එවිට ඔබ රිසිට්පත් නොඇල්ලුවද, සාමාන්‍ය මුදල් නෝට්ටු පරිහරණය කරන සෑම අවස්ථාවකදීම මෙම විෂ ශරීරගත වේ. එබැවින් අනවශ්‍ය රිසිට්පත් වහාම කුණු බඳුනකට දැමිය යුතුය.

නූතන තාක්ෂණයේ දියුණුවත් සමඟ මෙම ගැටලුවට ඇති හොඳම සහ ස්ථිරසාර විසඳුම වන්නේ ඩිජිටල් රිසිට්පත් (Digital Receipts හෙවත් E-Receipts) වෙත මාරු වීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවා ඇතැම් ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල සහ බැංකු පද්ධති පාරිභෝගිකයාගේ දුරකථනයට SMS පණිවිඩයක් හෝ Email පණිවිඩයක් ලෙස රිසිට්පත එවීමේ පහසුකම සලසා දී ඇත. පාරිභෝගිකයන් ලෙස අප නිතරම කඩදාසි රිසිට්පත් ප්‍රතික්ෂේප කර, මෙලෙස ඩිජිටල් පිටපත් ඉල්ලා සිටීමට පෙළඹෙන්නේ නම් එය අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසර පද්ධතියේ ආරක්ෂාවටද සිදුවන මහඟු සේවයකි.

(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
උපුටා ගැනීම - vinivida.lk








