*"කයට හා මනසට ක්ෂණික ශක්තිය ලබාදෙනවා" යන ප්‍රචාරණයන් නොමඟ යවන සුළු බවට ඉන්දීය ආහාර සුරක්ෂිතතා අධිකාරියෙන් (FSSAI) තීන්දුවක්
*දින 90ක් ඇතුළත වෙළඳපොළ ලේබල් වෙනස් කිරීමට නිෂ්පාදකයන්ට නියෝග; විරෝධය පාන සමාගම්වලට අධිකරණය හමුවට යන ලෙස දන්වයි

අධික කැෆේන් අඩංගු පාන වර්ග 'ශක්තිජනක පාන' (Energy Drinks) ලෙස හඳුන්වමින් වෙළඳපොළට නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) විසින් ප්‍රමුඛ පෙළේ බහුජාතික සහ දේශීය පානීය නිෂ්පාදන සමාගම් වෙත දැඩි නියෝගයක් නිකුත් කර තිබේ.
2028 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක වටිනාකමකට ළඟාවනු ඇතැයි අනුමාන කෙරෙන ඉන්දියාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන මෙම පානීය වෙළඳපොළ නියාමනය කිරීමට රජය ගත් තීරණය වෙනස් කරන ලෙස පෙප්සි (Pepsi), රෙඩ්බුල් (Red Bull), මොන්ස්ටර් (Monster Beverage), හිල්ලෙයින් (Hell Energy) සහ ඉන්දියාවේ ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ රිලයන්ස් (Reliance) යන දැවැන්ත සමාගම් කළ ඉල්ලීම් ද ඉන්දීය බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.
නියාමනයට හේතු වූ කරුණු සහ නීතිමය පදනම
ඉන්දීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය පෙන්වා දෙන්නේ ඉන්දීය ප්‍රමිතීන් යටතේ 'Energy Drink' නමින් නිශ්චිත පාන වර්ගීකරණයක් හෝ ප්‍රමිතියක් නොමැති බවයි. එමෙන්ම අදාළ නිෂ්පාදන මගින් "කයට සහ මනසට ක්ෂණික ප්‍රබෝධයක් ලබාදෙන බවට" හෝ "ශරීරයේ දුර්වලතා මඟහරවන බවට" සිදුකරන ප්‍රචාරණයන් පාරිභෝගිකයා නොමඟ යවන සුළු (Misleading) බව ද FSSAI අධිකාරිය අවධාරණය කරයි.

පසුගිය සිකුරාදා (ජූලි 24) බහුජාතික සමාගම්වල ප්‍රධානීන් සහ ඉන්දීය ආහාර සුරක්ෂිතතා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී රාජිත් පුන්හානි (Rajit Punhani) අතර පැවැති සංවෘත සාකච්ඡාවකදී ද මෙම තීරණය වෙනස් නොකරන බව බලධාරීන් තහවුරු කර තිබේ. මෙම නියාමනය හේතුවෙන් තමන්ගේ ව්‍යාපාරික නාමයන්ට සහ අලෙවියට දැඩි බලපෑම් එල්ල වන බවට සමාගම් නියෝජිතයන් කරුණු දැක්වුවද, පවත්නා තීරණයට එකඟ විය නොහැකි නම් ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට සමාගම්වලට නිදහස ඇති බව ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවෙන් අනතුරුව තම නිෂ්පාදනවල ඇසුරුම් සහ ලේබල් වෙනස් කිරීම සඳහා දින 90ක සහන කාලයක් ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර, එම කාලය ඇතුළත 'Energy Drink' යන යෙදුම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සමාගම් එකඟ වී ඇති බව ඉන්දීය රාජ්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විරෝධය සහ වෙළඳපොළ බලපෑම
මහා පරිමාණ පානීය නිෂ්පාදන සමාගම් නියෝජනය කරන ඉන්දීය පානීය සංගමය (Indian Beverage Association - IBA) විසින් ජූලි 06 වනදා FSSAI වෙත රහස්‍ය ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, පූර්ව දැනුම්දීමකින් තොරව මෙවැනි තීරණ ප්‍රසිද්ධ කිරීම මගින් සමාගම්වල කීර්තිනාමයට හානි සිදුවන බවත්, පාරිභෝගිකයන් අතර අනවශ්‍ය කුතුහලයක් සහ ව්‍යාකූලත්වයක් ඇතිවන බවත්ය. විද්‍යාත්මක පදනමකින් සහ ආයතන සමඟ සාකච්ඡා කර අදියරෙන් අදියර නියාමනයන් ක්‍රියාත්මක කරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.

ඉන්දියාවේ 'Energy Drink' වෙළඳපොළ 2018 සිට 2023 දක්වා කාලය තුළ වසරකට 100%ක පමණ අධික වර්ධනයක් පෙන්නුම් කළේය. විශේෂයෙන්ම 2017 වසරේදී පෙප්සි සමාගම විසින් ඉන්දියානු රුපියල් 20ක් (ඇමරිකානු ශත 21ක්) වැනි අඩු මිලකට 'Sting' පානය හඳුන්වා දීමත් සමඟ ග්‍රාමීය ප්‍රදේශවල සහ අවුරුදු 15-19ත් අතර යෞවනයන් අතර මෙම පාන වර්ග අතිශය ජනප්‍රියත්වයට පත් විය.
සෞඛ්‍යමය අවදානම සහ ක්‍රියාත්මක කෙරෙන වැටලීම්
අධික ලෙස කැෆේන්, සීනි සහ ටෝරින් (Taurine) වැනි ඇමයිනෝ අම්ල අඩංගු මෙම පාන වර්ග දිනපතා භාවිත කිරීම මගින් සෞඛ්‍යමය ගැටලු රැසක් මතුවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඇතැම් පාරිභෝගිකයන් මෙම පාන සඳහා ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙන අතර, එංගලන්තය වැනි රටවල් ද ලබන වසරේ සිට වයස අවුරුදු 16ට අඩු අයට මෙම පාන අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නියාමන තීරණයත් සමඟ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයකම නීති විරෝධී ලෙස 'Energy Drink' නමින් අලෙවි කළ Sting, Campa Energy සහ Red Bull තොග දහස් ගණනින් භාරයට ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත. එමෙන්ම Amazon, Flipkart, Blinkit සහ Swiggy Instamart වැනි ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික වාණිජ (e-commerce) ජාල වෙත ද නිවේදන නිකුත් කරමින්, සිය අන්තර්ජාල අලෙවි සංසදයන්හි 'Energy Drink' යන නාමය යටතේ මෙම පාන වර්ග ප්‍රචාරණය කිරීම වහාම අත්හිටුවන ලෙස ප්‍රාන්ත රජයන් නියෝග කර තිබේ.
මුලාශ්‍රය :
India firm on 'energy drink' crackdown despite Pepsi, Red Bull, Monster protest - By Aditya Kalra








