leader s

බොහෝ දෙනෙකු එකක් ලෙස පටලවා ගන්නා Heart Attack සහ Sudden Cardiac Arrest අතර ඇති වෙනස


අනතුරු ඇඟවීමකින් තොරව සිදුවන ක්ෂණික හෘද අක්‍රියතාවලින් ජීවිත බේරාගැනීමට ප්‍රජාව දැනුවත් විය යුතු හැටි



“ඔයා මගේ හදවත හරියට තේරුම් අරගෙන නෑ” යන්න බොහෝ සමීපතමයන් අතරේ භාවිත වන සේම සිනමාපට සහ ටෙලිනාට්‍යවලින් පවා අසන්නට ලැබෙන ප්‍රකාශයකි. මේ සම්බන්ධයෙන් හෘදවේදය පැත්තෙන් මට ද යමක් කිව හැක. එනම්, අපේ සාමාන්‍ය සමාජය අනුන්ගේ හදවත් පිළිබඳව කෙසේ වෙතත්, තමන්ගේ හදවත පිළිබඳව පවා නිසි ලෙස කරුණු නොදන්නා බව ය.

හෘදයාබාධය (Heart Attack / Myocardial Infarction) සහ ක්ෂණික හෘදය ඇනහිටීම (Sudden Cardiac Arrest – SCA) යන තත්ත්ව දෙක බොහෝ දෙනෙකු එකම රෝගී තත්ත්වයක් ලෙස වරදවා වටහා ගැනීම ඉන් එකක් පමණි. වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් අනුව ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් හේතු, ලක්ෂණ සහ ප්‍රතිකාර ඇති හදිසි තත්ත්ව දෙකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association – AHA) සහ මේයෝ ක්ලිනික් (Mayo Clinic) වැනි ප්‍රමුඛ වෛද්‍ය ආයතන මේ වෙනස පැහැදිලිව පෙන්වා දී තිබේ.

 

94894513 151223111547 heart attack 624x351 thinkstock.jpg

හෘදයාබාධයක් යනු හෘද පේශියට රුධිරය සැපයීම අඩාල වීමෙන් ඇතිවන රුධිර සංසරණ ගැටලුවක් වන අතර, ක්ෂණික හෘදය ඇනහිටීමක් යනු හෘදයේ විද්‍යුත් පද්ධතියේ හදිසි අක්‍රමිකතාවක් නිසා හෘද ස්පන්දනය එකවරම නතර වීමෙන් ඇතිවන, ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයකි. මේ දෙක අතර යම් අන්තර් සම්බන්ධයක් තිබුණ ද, ඒවා එකම රෝගී තත්ත්වයක් නොවේ. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝග තත්ත්වයන් දෙකම “හාට් ඇටෑක්” නමින් හඳුන්වන අවස්ථා අතිශය සුලබ ය. එහෙත් ඉන් සමහර ඒවා හෘදයාබාධ නොව ක්ෂණික හෘදය ඇනහිටීම් බව අපට වැටහෙන්නේ ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර විමසන විට ය.

හෘදයාබාධයක් ඇතිවන්නේ හෘද පේශියට රුධිරය සපයන කිරීටක ධමනියක කොලෙස්ටරෝල් තැන්පත් වී ඇති පට්ටිකාවක් (Atherosclerotic plaque) පුපුරා යාමෙන් පසුව ඇතිවන රුධිර කැටියක් හේතුවෙන් එම ධමනිය අවහිර වීමෙනි. කාටත් වැටහෙන ලෙස කිවහොත් මෙය කුණු රොඩු සිරවීමෙන් ජලය බැස යන නල මාර්ග අවහිර වීමක් මෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස හෘද පේශියට ඔක්සිජන් සහිත රුධිරය නොලැබී පේශි සෛල මිය යාමට පටන් ගනී. මෙහිදී සාමාන්‍යයෙන් හෘද ස්පන්දනය නතර නොවන මුත් පපුවේ තද ගතියක්, මිරිකන්නාක් මෙන් වේදනාවක්, එම වේදනාව වම් අතට, උරහිසට හෝ පිටුපසට පැතිරීම, හුස්ම ගැනීමේ අපහසුව, සීතල දහඩිය, ඔක්කාරය සහ කරකැවිල්ල වැනි ලක්ෂණ රෝගියා තුළ දක්නට ලැබේ.

 

heart doctor


කාන්තාවන්, වැඩිහිටියන් සහ දියවැඩියා රෝගීන් තුළ අධික තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව හෝ ආහාර ජීර්ණ අපහසුතාව වැනි අසාමාන්‍ය ලක්ෂණ පමණක් පවා පෙනී යා හැක. වයස, පවුල් ඉතිහාසය වැනි වෙනස් කළ නොහැකි සාධක මෙන්ම අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, දුම්පානය, තරබාරුකම, ව්‍යායාම නොකිරීම සහ මානසික ආතතිය වැනි ජීවන රටා සාධක මෙහි අවදානම ඉහළ නංවයි. නවතම හෘද රෝග ප්‍රතිකාර මාර්ගෝපදේශ අනුව හෘදයාබාධයකදී හැකි ඉක්මනින් කිරීටක ධමනිය විවෘත කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඇන්ජියෝප්ලාස්ටි සහ ස්ටෙන්ට් ප්‍රතිකාරය විනාඩි 90ක් ඇතුළත; එනම් හෘදවේදයට අනුව කියතොත් ‘දොරේ සිට බැලූනය තෙක් කාලය’ (Door-to-balloon time) තුළ සිදු කළ හැකි නම්, මරණ අනුපාතය සහ හෘද පේශි හානිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

නමුත් බොහෝ දෙනකු ‘හාට් ඇටෑක්’ එකක් ලෙසම සඳහන් කරන ක්ෂණික හෘදය ඇනහිටීම (Sudden Cardiac Arrest – SCA) ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. ක්ෂණික හෘදය ඇනහිටීම යනු හෘදයේ විද්‍යුත් රිද්මය හදිසියේ අක්‍රමවත් වීම නිසා හෘදය ඵලදායී ලෙස රුධිරය පොම්ප කිරීම නතර වන හදිසි තත්ත්වයකි. බොහෝ අවස්ථාවලදී Ventricular Fibrillation (VF) හෝ Pulseless Ventricular Tachycardia (VT) වැනි අනතුරුදායක රිද්ම වෙනස්කම් මෙයට හේතු වේ. තත්පර කිහිපයක් ඇතුළත මොළයට රුධිරය ගමන් කිරීම නතර වන බැවින් රෝගියා හදිසියේ ඇද වැටී සිහිසුන් වී, ස්පන්දනය සහ සාමාන්‍ය හුස්ම ගැනීම නතර වේ. මෙම තත්ත්වය කිරීටක ධමනි රෝග, හෘද පේශි රෝග (Cardiomyopathy), ජානමය විද්‍යුත් රෝගී තත්ත්වයන් (Long QT Syndrome, Brugada Syndrome), දරුණු විද්‍යුත් ලවණ අසමතුලිතතා හෝ කලාතුරකින් නිරෝගී ලෙස පෙනෙන පුද්ගලයන් අතර ද ඇති විය හැක.

uiu

එය ද සාමාන්‍ය සමාජය දකින්නේ “හාට් ඇටෑක් එකක්” ලෙසිනි. මෙහිදී ජීවිතය රැකගැනීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මිනිත්තු කිහිපයක් තුළ සිදුකරන ක්‍රියාමාර්ග මත ය. වහාම හෘද පුනර්ජීවන ප්‍රතිකාරය (CPR) ආරම්භ කිරීම සහ ස්වයංක්‍රීය බාහිර විදුලි කම්පන යන්ත්‍රයක් (AED) භාවිතයෙන් අවශ්‍ය විදුලි කම්පනය ලබාදීම ජීවිත බේරාගැනීමේ ප්‍රධාන ක්‍රම වේ. නවතම ජාත්‍යන්තර දත්ත අනුව CPR වහාම ආරම්භ කර මුල් මිනිත්තු 3-5 තුළ AED භාවිතයෙන් විදුලි කම්පනය ලබාදිය හැකි අවස්ථාවලදී ජීවත් වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යයි. දිගුකාලීනව ඉහළ අවදානමක් ඇති රෝගීන් සඳහා සිරුර තුළ තැන්පත් කරන විදුලි කම්පන යන්ත්‍රයක් (Implantable Cardioverter Defibrillator – ICD) සවි කිරීම, නැවත ඇතිවිය හැකි ක්ෂණික හෘදය ඇනහිටීම් වළක්වා ගැනීම සම්බන්ධයෙන් සාර්ථක ක්‍රමයකි.

එමෙන්ම මෙම තත්ත්ව දෙක අතර වැදගත් සම්බන්ධතාවයක් ද පවතී. හෘදයාබාධයකදී හෘද පේශියට ඔක්සිජන් නොලැබීම නිසා හෘදයේ විද්‍යුත් පද්ධතිය අස්ථාවර වී Ventricular Fibrillation වැනි අනතුරුදායක රිද්ම වෙනස්කම් ඇතිවිය හැකි අතර, එමගින් ක්ෂණික හෘදය ඇනහිටීම දක්වා තත්ත්වය වර්ධනය විය හැක. එහෙත් සෑම ක්ෂණික හෘදය ඇනහිටීමක්ම හෘදයාබාධයක් නිසාම සිදු නොවන බව ද අප වටහා ගත යුතු ය. බොහෝ අවස්ථාවලදී එයට වෙනත් හෘද රිද්ම අක්‍රමිකතා හෝ ජානමය හේතු ද බලපායි. සරලව පැවසුවහොත්, හෘදයාබාධයක් ඇති පුද්ගලයෙකුට බොහෝ විට පපුවේ වේදනාව, අපහසුව සහ අනතුරු ඇඟවීමේ ලක්ෂණ මතුවන අතර, ක්ෂණික හෘදය ඇනහිටීමකදී පුද්ගලයා කිසිදු පෙර අනතුරු ඇඟවීමක් නොමැතිව හදිසියේ ඇද වැටී සිහිය නැති විය හැක.

ge45y6y

එබැවින් පපුවේ වේදනාවක් හෝ හෘදයාබාධයකට සැක සහිත ලක්ෂණ ඇති විට වහාම හදිසි වෛද්‍ය සේවාව ලබාගැනීමත්, ප්‍රජාව තුළ ඉහත සඳහන් කළ CPR සහ AED භාවිතය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමත් අතිශය වැදගත් ය. එමෙන්ම, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමත් ජීවිත බේරාගැනීමට සහ හෘද රෝග නිසා සිදුවන මරණ අවම කිරීමට අතිශය වැදගත් වේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මා පවසන්නේ අප අනුන්ගේ හදවත් පිළිබඳව දැන ගැනීමට වඩා, කාගේත් හදවත් ගැන නොදන්නා යමක් දැන ගැනීම ජීවිත සුරක්ෂිතතාව තහවුරු කරවන්නක් බවකි.



Namal Wijesinghe Prof(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)

හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්