*කාලසීමාවට වඩා ජීවිතයට වන හානිය හඳුනාගැනීම ප්‍රතිකාර සඳහා ප්‍රධාන සාධකයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති
*ඩිජිටල් ඇල්ගොරිතම සහ මානසික පීඩනය ගැටලුව උග්‍ර කරන බවට අනාවරණය වෙයි
ළමා වියේ සහ යොවුන් වියේ සිට අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමට දැඩි ලෙස යොමුවීමෙන් පුද්ගල ජීවිතවලට සිදුවන බලපෑම සහ ඉන් මිදීමේ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව ජාත්‍යන්තර වෛද්‍ය හා මනෝවිද්‍යා විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබේ. බ්‍රිතාන්‍ය ඔලිම්පික් කිමිදුම් ක්‍රීඩක ෆ්‍රෙඩී වුඩ්වර්ඩ් (Freddie Woodward) ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අත්දැකීම් පාදක කරගනිමින් මේ පිළිබඳ නවතම සාකච්ඡාවක් මතුව ඇත.
වයස අවුරුදු 12 දී පමණ දැඩි ලෙස අසභ්‍ය අඩවි පරිශීලනයට හුරුවූ බව පවසන වුඩ්වර්ඩ්, තමන් ඔලිම්පික් මට්ටමේ තරගකාරී පුහුණුවීම්වල නිරතව සිටි කාලයේ පවා දිනකට කිහිප වතාවක් ඊට යොමුවූ බව සඳහන් කරයි. මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඔහු පවසන්නේ, අසභ්‍ය දර්ශනවලින් මිදීමට නම් තමන්ගේ මානසික දැක්ම සහ අනන්‍යතාව මුල සිටම වෙනස් කරගත යුතු බවයි.
ඇබ්බැහියක්ද, පාලනයෙන් තොර චර්යාවක්ද?

මනෝවිද්‍යා ක්ෂේත්‍රය තුළ "අසභ්‍ය දර්ශන ඇබ්බැහිය" (Porn Addiction) යන්න තවමත් ස්වාධීන නිල රෝගී තත්ත්වයක් ලෙස නම් කර නොමැත. කෙසේ වෙතත්, මෙය "ප්‍රශ්නගත අසභ්‍ය දර්ශන පරිශීලනය" (Problematic Porn Use) ලෙස බොහෝ විශේෂඥයෝ හඳුන්වති.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෙය හඳුනාගන්නේ 'පාලනයෙන් තොර ලිංගික චර්යා ආබාධයක්' (Compulsive Sexual Behaviour Disorder) වශයෙනි. ලෝරල් මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක වෛද්‍ය පෝලා හෝල් (Dr. Paula Hall) පෙන්වා දෙන්නේ, යම් ක්‍රියාවක් පාලනයෙන් ගිලිහී ගොස් දැඩි මානසික පීඩාවක් ගෙනදෙන්නේ නම් සහ නතර කිරීමට ගන්නා උත්සාහයන් අසාර්ථක වන්නේ නම් එය අවධානය යොමුකළ යුතු තත්ත්වයක් බවයි.
ලිංගික හා සබඳතා පිළිබඳ මනෝචිකිත්සක සිල්වා නෙවෙස් (Silva Neves) සඳහන් කරන්නේ, ගැටලුව තීරණය වන්නේ යමෙකු අසභ්‍ය දර්ශන නරඹන කාලය හෝ වාර ගණන මත නොව, එයින් එදිනෙදා ජීවිතයට, රැකියාවට හෝ පවුල් සබඳතාවලට වන හානිය මත බවයි.
මූලික සංඥා සහ බලපාන හේතු
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කැම්ප්බල් ඉන්ස් (Campbell Ince) පෙන්වා දෙන පරිදි, මෙවැනි තත්ත්වයක් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයකි:
| නැරඹීම පාලනය කිරීමට හෝ නතර කිරීමට නොහැකි වීම.
| සතුටක් නොලැබුණද පුරුද්දක් ලෙස එය දිගටම කරගෙන යාම.
| රැකියා ස්ථානය, අධ්‍යාපනය හෝ පෞද්ගලික වගකීම් මඟහැරීම.
මානසික ආතතිය, හුදකලා බව, ළමා වියේ කම්පන සහ ඍණාත්මක ආත්ම විශ්වාසය මෙවැනි චර්යාවන්ට මුලපිරිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. තවද, නවීන තාක්ෂණික ඇල්ගොරිතම සහ AI මඟින් නිර්මාණය වන අන්තර්ගතයන් හේතුවෙන් පරිශීලකයන් දැඩි ලෙස මෙයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බවද නිරීක්ෂණය වී ඇත.
සුවය ලැබීමේ ප්‍රායෝගික පියවර
මෙම තත්ත්වයෙන් මිදීම සඳහා පියවරෙන් පියවර ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් සායනිකව නිර්දේශ කෙරේ:
| වෘත්තීය උපදෙස් ලබාගැනීම: ගැටලුව සමඟ බැඳී පවතින වෙනත් මානසික අවපීඩන හෝ ආතති තත්ත්වයන් හඳුනාගැනීම සඳහා ලියාපදිංචි මනෝවිද්‍යාඥයෙකුගේ සහාය පැතීම.
| උත්තේජක හඳුනාගැනීම: තමන් අසභ්‍ය දර්ශන නැරඹීමට පෙළඹෙන්නේ කුමන අවස්ථාවලදීද (තනිකම, අධික ආතතිය වැනි) යන්න හඳුනාගෙන, එම අවස්ථාවලදී විකල්ප ක්‍රියාකාරකම්වල නිරත වීම.
| තාක්ෂණික බාධක යෙදීම: දුරකථන සහ පරිගණක සඳහා අන්තර්ගත අවහිර කිරීමේ මෘදුකාංග (Blocking software) භාවිත කිරීම.
| සහයෝගිතා කණ්ඩායම්: මත්පැන් ඇබ්බැහිය සඳහා භාවිත වන 12-Step Program වැනි පුනරුත්ථාපන වැඩසටහන් හා එක්වීම.
ළමුන් සහ තරුණයන් හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ට නිරාවරණය වීම වැළැක්වීම සඳහා ඩිජිටල් ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමේ වැදගත්කමද සෞඛ්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්ව ඇත.
මුලාශ්‍ර :
BBC වාර්තාව: How a former GB Olympian curbed his porn problem - and the signs and steps to recovery
ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග වර්ගීකරණය (ICD-11 - Compulsive Sexual Behaviour Disorder):








