රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට එහි නේවාසිකාගාරයට පැමිණ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලීසියට භාර වී ඇත.


23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාගම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

ඔහු පොලීසියට භාරවූයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග බව එම උසස් පොලිස් නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සඳහා තමන්ද පැමිණි බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා එහිදී පොලීසියට පවසා ඇත.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සැකකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් 05 දෙනෙකු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරින. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සැකකරුවන් අද දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.

ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.



රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ සඳහන් කළේ  මෙම සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි. ඔහු බව කියා සිටියේ අදාළ සිදුවීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන වෛද්‍ය පීඨ සිසුවකුගේ සුව දුක් බැලීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.



පෙරේදා අලුයම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එම පහරදීම සිදුකර තිබූ අතර එහිදි තුවාල ලැබු සිසුන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



මිතුරාට නවකවදය දුන් නිසා ගහන්න ගිහින් !



මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'ද ලීඩර්' කළ විමසීමකදී අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු පැවසුයේ, ඇමතිවරයාගේ පුත්‍රයාගේ සමීපතම මිතුරකු වන යොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන නමැති රාගම වෛද්‍ය පිඨයේ සිසුවකුට තවත් සිසුන් පිරිසක් නවකවදය දෙන බවට ලැබී ඇති දුරකථන ඇමතුමක් මත ඇමතිවරයාගේ පුත්‍රයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති බවයි.

රාජ්‍ය ඇමතිවරයාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු සහ යොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන යන දෙදෙනාම කොළඹ රාජකීය විදුහලේ සමකාලින මිතුරන් බව වාර්තාවේ.

අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු පාසල් අධ්‍යපනය නිමවූ වහාම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව පසුව පෞද්ගලික හේතුන් මත ඉවත්වූ අයෙකි.

අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ගේ පාසල් මිතුරකු බව කියන රාගම වෛද්‍ය ශිෂ්‍ය යොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන නැමති සරසවි සිසුවාගේ මව මෙරට  ප්‍රකට වෛද්‍යවරියක වන දීප්ති පරණවිතාන බව වාර්තාවේ.

ගැටුමේදී තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍ය යොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන මේවනවිට ප්‍රතිකාර සඳහා මිගමුව රෝහලට ඇතුලත් කර ඇත.


සබැඳි පුවත් :
අරුන්දිකට ඇමතිකමෙන් අස්වෙන්නැයි ජනාධිපති ගෙන් දැනුම්දීමක් !


 Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්