කෙතරම් බලපෑම් කළ ද ඉන්දියාව තම පාලන ක්‍රමයට එහා යන විසදුමක් සඳහා ලංකාවේ දෙමළ ජනතාවට සහාය පළ නොකරන බවට උතුරේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු අවධාරණය කර තිබේ.


 දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්ෂ හයක් එක්ව ලිපියක් ලියමින් ඉකුත්දා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුනේ ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මැදිහත් වන ලෙසයි.

''අපේ නායකයෝ යෝජනා කරන විසදුම් වෙනුවෙන් ඉන්දියාවට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටියට ඔවුන්ගේ පාලන ව්‍යුහයට එහා ගිය දේකට නම් ඒ අය කිසි සේත්ම සහාය දෙන්නේ නැහැ. ඊට එහා මුකුත් අපි ඉල්ලන්න හොඳ නැහැ. අනෙක් පැත්තෙන් ඉන්දියාවෙන් උදව් ඉල්ලන්න ගියාම රට ඇතුලේ විරෝධයක් මතු වෙනවා. ඒ හින්දා රට ඇතුළෙන්ම විසදුම් සොයන එක තමයි හොඳ,''යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්දසංගරි පවසයි.

 මඩකළපුව, කල්අඩි හි සංචාරක හෝටලයකට ප්‍රදේශයේ මාධ්‍යවේදීන් මාර්තු 02 වැනිදා කැඳවූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු නායකයා කියා සිටියේ දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න අතුරින් ප්‍රධානතම ගැටලුව වන්නේ ජාතික ප්‍රශ්නය බවයි.



ලංකාවේ දෙමළ ජනයාගේ ජාතික ප්‍රශ්නය විසදීම සඳහා ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉන්දියාවට යෝජනා කිරීම මගින් දෙමළ නායකයන්ගේ රාජතාන්ත්‍රික කටයුතු වල නොදැනුවත් කම පෙන්වන බව වී.ආනන්දසංගරී පෙන්වාදෙයි.



''පි ඉදිරිපත් කරන විසදුම් සිංහල ජනතාව පිළිගන්න විසදුමක් වෙන්න ඕනෑ. නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වුනත් ඉන්දියාව ලබා දුන් එකක්. දැන් අපේ දෙමළ නායකයෝ කට්ටියක් 13 ඕනෑ කියනවා, කට්ටියක් 13 එපා කියනවා''

 දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු නායකයා පෙන්වා දෙන්නේ, ජාතික ප්‍රශ්නය සඳහා ෆෙඩරල් විසදුමක් යන්න සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවය.

 ඒකීය රාජ්‍යයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවට “එක රටක් රාජ්‍ය දෙකක්“යන දේශපාලන විසඳුම දිනා ගන්නට පෙළ ගැසිය යුතු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) මහ සමුළුව ඉකුත්දා තීන්දුවකට එළැඹිණි.

 “රට තුලින්ම විසඳුමක්” යෝජනා කරන අතරේ වී ආනන්දසංගරී අනික් අතට පවසන්නේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද ෆෙඩරල් පාලන ව්‍යුහයක් කිසිසේත්ම ලබා නොදෙන බවයි.



රනිල් ආවානම් පෙඩරල්



''2006 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කළේ ෆෙඩරල් විසදුමක් ලබා දෙන බව කියමින්. ඊට විරුද්ධව ඒකීය රාජ්‍ය කියමින් මහින්ද රාජපක්‍ෂ තරග කළා. මහින්දට සියයට 50.2 ක් ද, රනිල්ට සියයට 49.2 ක් ද ජන්ද ලබා දීලා තිබුණා. ඒ දිනවල අපේ නායකයෝ ගෙවල් ගානේ ගිහින් ඡන්දය වර්ජනය කරන්න කියලා ඉල්ලුවා. එදා අපේ නායකයෝ රනිල් වික්‍රමසිංහට ජන්දය දීලා තුනෙන් දෙකේ බලයක් අරන් දුන්නා නම්, අපිට ෆෙඩරල් පාලනයක් ලබා ගන්න තිබුණා.''




 ඒ අවස්ථාව දෙමළ ජනතාවට අහිමි වුයේ දෙමළ දේශපාලන නායකයන්ගේ නොදැනුවත් කම නිසායැයි  ඔහු පවසයි.

''ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වසර 40 කට වැඩි කාලයක් ක්‍රියාත්මකයි. ඉස්කෝලේ ළමයි ඇවිත් මේකට විරුද්ධව අත්සන් කරන්නේ හරියට මොකක් හරි අලුතෙන් එළියට ආවා වගේ,'' යැයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ රටපුරා ක්‍රියාත්මක කර තිබෙන ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය ද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු නායකයාගේ විවේචනයට ලක් වී තිබේ.

මේ අතර දෙමළ කතා කරන ජනයාගේ දේශපාලන අභිලාෂයන් හා ඉන්දු ලංකා ගිවිසුම මැයින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යොමු කළ දෙමළ පක්‍ෂ හයේ නායකයන් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් හමුවීමට නියමිතය.

 ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නයට විසදුම් ලබා දීම සඳහා රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කරන ලෙස තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීම මෙම හමුවේ අරමුණ වී තිබේ.

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්