බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි ෆාතිමා අයීෂා දැරියගේ මරණය ඝාතනයක් බව ඊයේ අනාවරණ විය. ඒ, එම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු

සිදුකළ පාපොච්චාරණයක් අනුවයි.

සැකකරු බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ දැරිය අතුරුදන් වූ බවට ප්‍රකාශ වූ දිනයේ වෙළදසැලක් වෙත යමින් සිටි එම දැරිය අටලුගම ප්‍රදේශයේ එළවළු කොටුවක් ආසන්නයට තමන් කැදවා ගෙන ගිය බවයි. එහිදී දැරියට අතවරයක් කිරීමට තමන් උත්සාහ කළද දැරියගේ දැඩි අකමැත්ත හා විරෝධය හේතුවෙන් අතවරයක් සිදු කිරීමට නොහැකි වූ බවද සැකකරු ප්‍රකාශ කර ඇත.

දැරිය ඝාතනය කිරීමට තමන් පෙළඹුනේ එම සිද්ධිය යම් ආකාරයකින් හෙළි වේ යැයි යන බිය නිසා බවත් අදාල ස්ථානයේ වතුර වලක ඔබා දැරිය ඝාතනය කළ බවටත් ඔහු පාපොච්චාරණය කර ඇති බව පොලීසිය පැවසිය.  


ඝාතනය සිදුකළ සැකකරු 29 හැවිරිදි වියේ පසුවන මියගිය දැරියගේ නිවස ආසන්නයේ පදිංචි තිදරු පියෙකි. ඔහු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවද හෙළි වී තිබේ. ඝාතනයට පෙර දිනයේ ද සැකකරු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර තිබූ බව අනාවරණ වී ඇත. සැකකරුගේ දරුවන් සහ මියගිය දැරිය එකට එක්ව සෙල්ලම් කළ දරුවන් බවද පොලීසිය පැවසිය.



සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ගේ උපදෙස් පරිදි පානදුර දිසා අපරාධ කොට්ඨාසය, කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ණශ සිදුකරයි.  


සැකකරු වෙනුවෙන් නීතිඥ සහයක් නැහැ !



මේ අතර අතුරුදන්ව මියගිය ෆාතිමා අයේෂා දැරියගේ මරණයට වගකිව යුතු වූ අපරාධකරු වෙනුවෙන් පානදුර නීතිඥ සංගමයේ කිසිදු නීතිඥවරයෙක් ඉදිරිපත් නොවන බව එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසිය.

අටුලුගම එම දැරියගේ නිවසට පැමිණ ඥාතීන්ට සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව සඳහන් කළේය. එමෙන්ම මියගිය දරුවාගේ අයිතිවාසිකම් හා පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට  යුක්තිය ඉටු කිරිම සඳහා පානදුර නීතීඥ සංගමය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.



පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි



ඝාතනයට ලක්වූ දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (30) පානදුර රෝහලේදී පැවැත්විණ. අධිකරණ වෛද්‍ය නිලධාරින් 03 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බවය.

මැයි (27) පෙරවරු 10.00ට පමණ කුකුළු මස් මිලදී ගැනීම සඳහා අසල පිහිටි වෙළෙඳසැලකට පිටත්කර හරිනු ලැබූ ඇය යළි නිවසට පැමිණ තිබුණේ නැත.
ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය සෙවීමේ කටයුතු ආරම්භ කළ අතර, පසුදින (මැයි 28) පස්වරුවේ දැරියගේ සිරුර සොයාගැනුනේ නිවසට ආසන්න ප්‍රදේශයක වගුරුබිමක තිබිය දී ය.

මෙය මෑතකාලීනව ගත්විට වසර එකහමාරක පමණ කාලයක් තුළ සිදුවූ 14වැනි ළමා මරණය ලෙස සැලකෙන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පෙන්වා දෙයි.


"දෙමව්පියන්ගේත් වගකීමක්"



දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් දෙමව්පියන්ට හා භාරකරුවන්ට වගකීමක් ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරීයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ යි.

මෙම දරුවා වැඩිහිටියෙකු සමඟ වෙළෙඳසැල වෙත ගියේ නම් මෙවැනි සිද්ධියකට මුහුණපෑමට ඉඩ නොතිබෙන්නට තිබූ බව ඔහු කියා සිටියේ ය.

එබැවින් හැම විටම දරුවන් ගමන් ගන්නා ස්ථාන, ඇසුරු කරන පුද්ගලයින් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීමේ වැදගත්කම ඔහු අවධාරණය කර සිටියි.


දරුවන්ට නිදහසේ ජීවත්වීමට ඉඩදෙනු!


large group of joyful kids running with a kite in springtime 1185810377 dcb01232039742648e6c978b22d94991

එක් සිදුවීමක උණුසුම හා ආන්දෝලනය මැකී යන්නටත් මත්තෙන් තව තවත් එවැනි සිදුවීම් වාර්තාවීම අප සමාජයේ නීතියේ ප්‍රතිපාදන තුළ හා යුක්තිය පසිඳලීම තුළ දරුවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන මන්දගාමී බව නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ කරවන බව, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා ය.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විමර්ශන කටයුතු කඩිනම් කිරීමටත්, අපරාධකරුවන් අනාවරණය කර ගැනීමටත් යුහුසුලුව මැදිහත් වන ලෙස යි.

ආණ්ඩුවට හා මේ සම්බන්ධව වගකිවයුතු ආයතනය වන ළමා ආරක්ෂක අධිකාරියට බලකර සිටින බව ද එම සංවිධානය සඳහන් කළේ ය.

එපමණක් නොව,

# මේ දිනවල ඖෂධ නොමැතිකමින් රෝහල්වල මියයන දරුවන්

# ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන් පෝලිම්වල දවස ගෙවද්දී අනාරක්ෂිත වී ඇති දරුවන්

# වසංගතය හමුවේ අධ්‍යාපනය අඩාලවීමෙන් අධ්‍යාපනය හැරගිය අනාගතය අහිමි වූ දරුවන්

# වැරදි අධ්‍යාපන ක්‍රමවේදයන් නිසා පාසල් තුළ හිංසනයට හා දණ්ඩනයට ලක්වන දරුවන්

# ණයබර, ක්ෂුද්‍ර මූල්‍ය ණය, ගොවි ගැටළු, පවුල් ආරවුල් ආදී වැඩිහිටියන් මුහුණ දෙන ගැටළු නිසා පවුල් පිටින් සියදිවි නසා ගනිද්දී අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන දරුවන්

# අනාරක්ෂිතකමෙන් සිදුවන රිය අනතුරු, කින්නියා මඟී බෝට්ටු අනතුර ආදි තත්ත්වවලින් අගතියට පත්වන දරුවන්

# ළමා මෙහෙකාර සේවය, ළමා ලිංගික ශ්‍රමිකයින්, අන්තරායකර හා අනාරක්ෂිත රැකියා, ළමා විවාහ හා මිත්‍යා ආගමික විශ්වාස නිසා අගතියට පත්වන දරුවන්

ආදී නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට ලක්වන දරුවන් වෙනුවෙන් වගවීම හා ඔවුන් එවන් තත්ත්වයන්ගෙන් මුදාගැනීම සදහා සාධනීය යාන්ත්‍රණයක් ගොඩනැංවීම රජයක වගකීම බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කළේ ය.



ඒ සියල්ල සඳහා වර්තමාන ආණ්ඩුව උචිත පියවර නොගන්නේ නම්, එකී පීඩනය ද වර්තමානයේ ආර්ථික අර්බුදය සේම සමාජ බලවේගයක් වී පුපුරා යනු ඇති බවට ආණ්ඩුවට අනතුරු අඟවන බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.


 124967350 284823352 3172667396380923 6830233518767807840 n.jpg


නීතිය ක්‍රියාත්මකවීම කාර්යයක්ෂම ද?


දරුවන් මුහුණදෙන අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්ම කිරීම හෝ යුක්තිය පසිඳලීම කාර්යයක්ෂම ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මෙසේ කියා සිටියා ය:

"ශ්‍රී ලංකාවේ දරුවන් සම්බන්ධ මේ වගේ නඩු අහන්න අවුරුදු 10ක් 12ක්වත් යනවා. අඩුම ගානේ මේ වැරදි සම්බන්ධයෙන් හරි වෙනම අධිකරණයක් දාලා නඩු විභාග කරන්න ඕනේ. නීතිපති වාර්තාවලට ගියාම අවුරුදු ගාණක් යනවා ඒ රිපෝට්ස් එන්න. කියමනක් තියෙනවානේ "Justice delayed is justice denied" [පමා වූ යුක්තිය යනු යුක්තිය ඉටුනොකිරීම යි] කියලා. ඒකට හොඳ උදාහරණයක් සේයාගේ මරණය ගැන බැලුවාම."

"පාකිස්තානයේදී මැරිච්ච කෙනා වෙනුවෙන් මේ වෙනකොට දඬුවම් දීලා හිරෙත් දාලා ඉවරයි. නීතිය ක්‍රියාත්මකවීම මීට වඩා කාර්යක්ෂම වෙන්නේ නැත්නම් මේ රට කවදාවත් හරි මාර්ගයකට යන්නේ නැහැ," ඇය සඳහන් කළා ය.

"මේවා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරනකොටත් ඒවට කිසිම නියාමනයක් නැහැ. ඒවට කිසිම ගයිඩ්ලයින් එකක් නැහැ."

"පොලීසිය ක්‍රියාත්මක වීම සහ යුක්තිය පසිඳලිය යුතු ආයතන කොච්චර යුහුසුළුව කටයුතු කරනවද කියන එක ප්‍රශ්නසහගත යි. මෙන්න මේ දේවල්වලට හරියට නීතිය ක්‍රියාත්මක වීම කාර්යක්ෂම නැත්නම් ඔය කොච්චර පාර්ලිමේන්තුවේ කතා කළත්, කොච්චර අපි නීති සම්මත කළත්, නීති ක්‍රියාත්මක කිරීම හරියට සිද්ධවෙන්නේ නැත්නම් කවදාවත් යුක්තිය පසිඳලීමක් සිද්ධ වෙන්නේ නැහැ ලංකාවේ. අපි අවුරුදු ගාණක් කතා කරලා තියෙනවා. කිසිම කෙනෙක් සාධනීය විසඳුම් ලබා දීමට අපොහොසත් වෙලා තියෙනවා," ඇය වැඩිදුරටත් පැවසුවා ය.

(උපුටා ගැනීම්- BBC සිංහල සේවය)

 

Leader Whats app

 

  23

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්