රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් ගතවීමටත් පෙර ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ච ප්‍රහාර එල්ල කිරීමේදී නීතීඥවරු සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස්වලටත් පහර දී තිබුණත්

සාමකාමී අරගලය ජය ගන්නා තුරු නීතීඥ සහයෝගය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥයෝ අවධාරණය කරති.

අද (22) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙ බව අවධාරණය කරනු ලැබීය.

රට අරාජිකත්වයකට පත් වී ඇති අවස්ථාවක මෙවැනි ප්‍රහාර එල්ල කිරීමෙන් ජත්‍යන්තර වශයෙන් තව දුරටත් අපකීර්තියට පත්වන බවත් මාර්තු 31 වනදා සිට ආරම්භ වූ සාමකාමී අරගලවලට මේ දක්වා නීතීඥ වරු ලබා දුන් දායකත්වය ඉදිරියට ලබා දෙන බවත් එහිදී ඔවූහු ප්‍රකාශ කළහ.

නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ සුසන්ත දොඩාවත්ත, නීතිඥ අකලංක උක්වත්ත මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.


''ගිලන් රථයකින් තුවාලකරුවන් ඉවත්කර ගැනීමට පවා බාධාකර තිබෙනවා'' -නීතිඥ සුසන්ත දොඩාවත්ත

Susantha Dodaawatta 2022.07.22 1                          නීතිඥ සුසන්ත දොඩාවත්ත


මාධ්‍ය හමුව ඇමතු නීතිඥ සුසන්ත දොඩාවත්ත මෙසේ සඳහන් කළේය.

“ආණ්ඩුවේ හමුදාව යොදාගෙන අද පාන්දර ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය ජාතික ජන බලවේගයේ නීතිඥයන් හෙළා දකිනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව අද සවස 2.00ට භාරදෙන බවට ප්‍රකාශ කර තිබියදී, මෙම ප්‍රහාරය එල්ල කළා.

අරගලය වෙනුවෙන් මුල සිටම පෙනී සිටි නීතිඥ, නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිඥ, චාමිකර ජයසිංහට අති අමානුෂික ලෙස ගුවන් හමුදාව සහ යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය යන සෙබලුන් පහර දී තිබෙනවා.

හතළිහකට ආසන්න අරගලකරුවන් පිරිසක් පහර කෑමට ලක්වී සිටියත්, ගිලන් රථයකින් ඉවත්කර ගැනීමට පවා බාධාකර තිබෙනවා.

ජනතා පදනමක් නැති පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් අභිනවයෙන් පත්වුණු රනිල් වික්‍රමසිංහ කියන පාලකයා විසින් හමුදාව යොදාගෙන අති අමානුෂික ලෙස පහර දී තිබෙනවා. අතිශය සාමකාමී තත්වයක් තිබියදී, අරගලකරුවන් විසින් අත්කරගත් අනෙකුත් ස්ථාන රජයට භාරදී තිබියදී මෙම පහර දීම කළා.

ඒ වගේම සාමය ආරක්ෂා කරන්න පොලිසියට බාරදිය හැකිව තිබියදී ජනාධිපති විසින් හදිසියේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව යුද හමුදාව කැඳවා අවම බලය භාවිතා කිරීමෙන් තොරව පවා ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ටත් මෙරට මාධ්‍යවේදීන්ටත් ප්‍රහාර එල්ල කරන තැනට යොමු වී තිබෙනවා.

සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දැක්වීමේ අයිතියට එරෙහිව මෙම පහර දීම සිදුකර තිබෙනවා. මිරිහානෙන් ආරම්භ වුණු මේ ජනතා නැගිටීම වෙනුවෙන් මුල් අවස්ථාවේ සිට මේ දක්වා අධිකරණ තුළත් ඉන් පරිබාහිරවත් නීතිඥවරුන් විදිහට අප සිදුකළ මැදිහත් වීම මේ අරගලය ජය ගන්නා තුරු අඛණ්ඩව සිදුකරන බව අවධාරණය කරනවා.”


''පහරදීමට පැමිණි හමුදා නිලධාරීන් අධික බීමත්කමින් ඉඳලා'' - නීතිඥ, උපුල් කුමරප්පෙරුම


Upul Kumarapperuma 2022.07.22 1                            නීතිඥ, උපුල් කුමරප්පෙරුම


මාධ්‍ය හමුව ඇමතු නීතිඥ, උපුල් කුමරප්පෙරුම මෙසේ සඳහන් කළේය.



“රට අද ඉතාම බරපතළ අරාජිකත්වයකට පත්වී තිබෙනවා. රට පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් රට තුළ නැහැ. ඒ නිසා පිටරටින් ලබාගන්න විවිධ කටයුතු සිදුකරමින් ඉන්නවා. අපිට ණය දෙන සංවිධාන සහ රටවල් අපේ රටේ පාලකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ නීතියේ පාලනය නිසියාකාරයෙන් පවත්වා ගන්නයි. මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නයි. රටේ නිශ්චිත පාලනයක් ස්ථාපිත කරන්න කියන එකයි.

ගාලුමුවදොර ප්‍රහාරයෙන් ලෝකයට දී තිබෙන්නේ තාමත් ශිෂ්ටභාවයට පත්නොවූ රටක් බවයි. එක්සත් රාජධානියත්, එක්සත් ජනපදයත්, කැනඩාවත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා. අපි ණය ගනුදෙනු කථාකරන්න ඕනෑ ඔය රටවල්වල නියෝජිතයෝ එක්ක. එහෙම තිබෙද්දී රටේ මුදල් ඇමති, විදේශ ඇමති හෝ මහ බැංකු අධිපතිට ලෝකය හමුවේ අපේ රටේ මානව අයිතිවාසිකම් ගැන, නීතියේ පාලනය ගැන, කියන්න පුළුවන්ද?

අරගල භූමිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. විදේශ තානාපතිවරුන් මේ සාමකාමී අරගලය ආරක්ෂා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාටත් මේ ජනාධිපතිවරයාටත් හිටපු කැබිනට් මණ්ඩලයටත් දන්වා තිබුණා. ඒ සියල්ල තිබියදී පහර කෑමට ලක්වුණු වින්දිතයන් වෙනුවෙන් ක්‍රියාකළ නීතිඥයන් වගේම පහර කෑමට ලක්වුණු නීතිඥයන් කරුණු දක්වමින්, ප්‍රහාරක හමුදා අධික බීමත්කමින් සිටි බව වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරකයන් උදලු මිටිවලට සමාන පොලුවලින් පහර දුන් බව ප්‍රකාශ කර තිබෙනවා. මැයි 09වැනිදා ප්‍රහාරයට ලක්වුණු අනුරංග නමැති අරගලකරුවාටත් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ නීතිඥ නුවන් බෝපගේ ඔහුව බේරන්න මැදිහත් වී තිබෙනවා. නුවන් බෝපගේට පහර දී තිබෙන්නේ ඒ අවස්ථාවේදී.

කාන්තාවකටත් අමානුෂික අයුරින් පහර දී ඇති ආකාරය ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට පහර දෙන්න හමුදාවට බලයක් දී තිබෙන්නේ කොහෙන්ද?

 රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ 1988-1989යේ මර්දනය මම පුද්ගලිකව දැක තිබෙනවා. කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පරිණත වුණු, නීතියත් එක්ක කටයුතු කරන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක් හැටියට මිථ්‍යාවක් ඇති වුණා. මිනිස්සු ඒ මිථ්‍යාව විශ්වාස කළා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් යන්නත් කලින් ඉවත් වීමට සිටි අරගලකරුවන්ට ගහන්න හේතුව මොකක්ද? හමුදාව යවන්නේ මොන කාරණයකටද? හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයා හමුවන්න ජනාධිපති ඊයේ සවස ගිය බවට ප්‍රවෘත්ති තිබෙනවා. රාජ්‍ය නායකයා “මේක ගහලා ඉවර කරන්න.” කියලා තිබෙනවාද? නිරායුධ මිනිසුන්ට ප්‍රහාර එල්ල කරන්න අණ දෙන්න රාජ්‍ය නායකයාට පුළුවන්ද?

හමුදාවක් කියන්නේ විනයක් සහිතව විධායකයේ කොටසක් ලෙස පාලනය වෙන ආයතනයක්. රටේ මිනිසුන්ට පොලු කෑලිවලින් ගහන්න, තුවක්කුවලින් හෝ වෙන දේකින් ගහන්න, ඒ මිනිසුන්ගේ දේපළ විනාශ කරන්න හමුදාවට හැකියාවක් නැහැ.

හමුදාපතිවරුන් තිදෙනා සහ පොලිස්පතිවරයා ඊයේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, එහි ම්ලේච්ඡභාවය සම්බන්ධයෙන්, අතුරුදහන් වූ දේපළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුයි.

අරගල භූමිය යම් අවස්ථාවකදී මේ රටේ සංස්කෘතික භූමියක් බවට පත්වුණා. එතැන කැමරා තිබුණා. චිත්‍රපට ශාලා තිබුණා. කලාගාරයක් තිබුණා. පුස්තකාලයක් තිබුණා. ප්‍රොජෙක්ටර්, කම්පියුටර්, වීඩියෝ කැමරා, ඔවුන්ගේ දුරකථන ආදී සියල්ල අරගෙන ගිහින්. අපරාධයක් සම්බන්ධයෙන් නම්, නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තිබෙනවා. මේ බඩු ගෙනගියේ මොන නීතියෙන්ද? නඩු භාණ්ඩයක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. මෙතනදි මංකොල්ල කෑමක් තිබෙන්නේ.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට පහර දුන්නේ කුමන කාරණයක් මතද, දේපළ විනාශ කළේ කුමන කාරණයක් මතද? අත්අඩංගුවට ගත්තේ කුමන කාරණයක් මතද, බඩු භාණ්ඩ ගෙනගියේ කුමන කාරණයක් යටතේද? කියලා පැහැදිලි කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි. මේ වන විට ජනාධිපතිටත් මේ වගකීම පැවරී තිබෙනවා. වහාම ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.”



''කෝට් එක ඇඳලා, ඉංග්‍රීසියෙන් කථා කළ පමණින් මිනිසුන් ශිෂ්ට වෙන්නේ නැහැ.'' - නීතිඥ අකලංක උක්වත්ත


Akalanka Ukwatta 2022.07.22 1                     නීතිඥ අකලංක උක්වත්ත


“ජනරජය කියන්නේ ජනතාවමයි. ජනතාව විසින් පත්කළ ආණ්ඩුව උඩ ඉන්න මිනිසුන්ගේ නියෝග මත ජනතාවටත් ප්‍රහාර එල්ල කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒ සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

සමහර නායකයෝ රුසියාවේ ලුවී රජ්ජුරුවෝ කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගොල්ලෝ තාවකාලිකව ඉන්න පාලකයන් විතරයි. මේ රටේ අටවෙනි විධායක ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී, ව්‍යවස්ථාව දන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග දන්න අනික් කිසිවෙකුත් නැති බව හිතාගෙන ඉන්නවා. මේ රටේ ෆැසිස්ට් වාදය අවුළුවන්න ඉඩ නොදෙන බව ඔහු මාධ්‍යයට කියා තිබෙනවා.

 අපිට කියන්න තිබෙන්නේ ජනතා කැමැත්තෙන් බලයට එන්න බැරිව වෙන ගේම්වලින් ජනතා මතය නොවන ආකාරයෙන් බලයට ආ කෙනෙක්. ෆැසිස්ට්වාදය කියන එකට මේවාත් අඩංගුයි. ඔහුගේ භාවිතයෙන් ෆැසිස්ට්වාදී කරුණු ඉස්මතු කරන්න එපා කියලා අවධාරණය කරනවා.

එතුමාගේ මාමා, ඉපදිලා තිබෙන්නේ 1906යේදී. 1977 බලයට ඇවිත් රටේ පළවෙනි විධායක ජනාධිපති වනවිට වයස අවුරුදු 72යි. 1981 වනවිට රනිල් වික්‍රමසිංහගේ අද වයසමයි. එයාගේ මාමත් මිනිසුන්ට එරෙහිව ෆැසිස්ටවාදය දියත් කළේ ඔය වයසේදීමයි. මේ අනුව පාරම්පරික ප්‍රශ්නයක් තිබෙනවාද කියලා හිතෙනවා.

ආණ්ඩුවකට මර්දනය කියන්නේ ආයුධයක්. ජනතාව භේදභින්න කර, මර්දනය කරන්නයි මේ ලැහැස්ති වෙන්නේ. ත්‍රිවිධ හමුදාවත් එක්ක ජනතාව භේද කර 1983නේ තත්වය ඇති කරන්නයි මේ හදන්නේ. නමුත් මේ වෙලාවේ ජනතාව සම්පූර්ණයෙන්ම නිරායුධයි. අරගලකරුවන් ළඟ තියෙන්නේ ෆෝන් එකක් විතරයි. ඒ කාලයේත් විද්‍යුත් මාධ්‍ය ලෝකයටම නිරාවරණය වී තිබුණා නම්, එදා අරගලයත් මේ වගේම බව පැහැදිලි වේ.

 මේවා අශිෂ්ට සමාජයක සිදුකරන ම්ලේච්ඡ ක්‍රියා බව අවධාරණය කරනවා. කෝට් එක ඇඳලා, ඉංග්‍රීසියෙන් කථා කළ පමණින් මිනිසුන් ශිෂ්ට වෙන්නේ නැහැ. එතුමාගේ බහුශ්‍රැතභාවය, කියවීම සම්බන්ධයෙන් අපි අගය කරනවා. මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් ඇසුවාම හැමවෙලේම ධම්ම පදය මතක් කරනවා. බුද්ධාගමේ කියා තිබෙන්නේ ක්‍රියාවෙන් තමන්ව එළියට පේන බවයි. ධම්ම පදය තුළ තිබෙන දේවල් ක්‍රියාවට නගන්න කියලා අපි අවධාරණය කරනවා.

දින සිය ගණනක් තිබුණු අරගලයක් මර්දනය කරන්න අලුයම් කාලයේ ත්‍රිවිධ හමුදාව යෙදවීමෙන්ම එතන තිබෙන අවුල පැහැදිලි වෙනවා. අයින් වෙන්න හිටි අයට, ජනතාව එක්ක ත්‍රිවිධ හමුදාවේ අවුළක් හදන්න ඕනෑද. ආණ්ඩුව මර්දනය කිරීම සඳහා ජනතාව සහ ත්‍රිවිධ හමුදාව අතර, පොලිසිය අතර ගැටුම් ඇතිකරන බව ජනතාව තේරුම් ගන්න ඕනෑ.

 ගැටුම කියන මෙවලම වෙනුවෙන් ආණ්ඩුව උල්පන්දම් දෙනවා නම්, අරගලකරුවන් සහ ජනතාව ඒ මෙවලම භාවිතා නොකර ඉන්න අධිෂ්ඨාන කරගන්න ඕනෑ. නිර් ප්‍රචණ්ඩත්වය බියගුලු කමක් නොවෙයි කියලා මහත්මා ගාන්ධිතුමා කියා තිබෙනවා. මේ ජයග්‍රහණය තවදුරටත් ස්ථාවර කරගෙන යන්න, ඉතිහාසයට එකතු කරන්න ඕනෑ සාමකාමී අරගලයක් ලෙසයි.

නීතිඥ ප්‍රජාව වශයෙන් සහ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ වශයෙන් මේ නිහීන ප්‍රහාරය හෙළා දකින අතර, මිරිහානේ සිට ජනතා අරගලයක් එක්ක හිටගත් නීතිඥයන් තවදුරටත් පෙනී සිටින බව අවධාරණය කරනවා. නීතිඥ ප්‍රජාව එසේ කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තහවරු කර තිබෙන ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස නිසියාකාරයෙන් භාවිතා කරන නිසයි.

නීතිඥවරුන්ටත් ආණ්ඩුවේ මර්දනය එනවා නම්, ජනතාවත් නීතිඥවරු සමග ඉන්න අපි දන්නවා. ජනතාව ආරක්ෂාකර, උත්තරීතර නීතිය වෙනුවෙන් නීතිඥවරුන් ජනතාව සමග පවුරු බැඳ එකතු වුණා. දැන් ඒ ජනතාව පවුරු බඳිමින් ඉදිරියට එන බව අපි දන්නවා. ආණ්ඩුවට අපි ඒ බව අවධාරණය කරනවා.”



මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාද?

පිළිතුර:-
අනිවාර්යයෙන්ම ගන්නවා. පහරදීමට අමතරව එතන තිබුණු භාණ්ඩ රැසක් නැතිවී තිබෙනවා. මංකොල්ල කෑමක් වගෙයි. ඒ සියල්ල සම්බන්ධයෙන් දැනටත් නීතිඥවරුන් ක්‍රියාකරමින් ඉන්නවා. කෲර සහ අමානුෂික ලෙස, හරියට රාජ්‍ය ත්‍රස්තවාදය වගේ ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ප්‍රහාරයට අණදුන් සියල්ලන්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් සහ අනෙකුත් නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියාකරනවා.


ප්‍රශ්නය:- ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕන පාලකයන් මෙහෙම කරන්නේ ඇයි?

පිළිතුර:-
 ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන නායකයන් තමයි මර්දනය වෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගල භූමියෙන් ඉවත් වෙන්න ඒ අයම තීරණය කර තිබුණා. අද දිනයේ ඉවත්වීමට අදාළ සියලු කටයුතු කරමින් සිටියදී ගහන්න අරගලකරුවන්ගේ සමුගැනීම ගෞරවාන්විත ලෙස සිදුවුණොත් ඉදිරියේ එන ප්‍රශ්නවලදී පාලකයන්ට හොඳ පිළිතුරක් වෙන්නේ නැහැ.

ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නැත්නම් නැවත අරගලයට එන බව අරගලකරුවන් ප්‍රකාශ කළොත් ආණ්ඩුව ඉදිරියේ තිබෙන ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාවක් නැති වෙනවා. මර්දනය කියන මෙවලම ඉදිරියට ගෙන ආවේ ඒ නිසයි.

 ඒ වගේම පොලිසියත්, හමුදාවත්, ජනතාවත් කෙටවීමටයි මේ වැඬේ කළේ. අද වෙනකොට සාමාන්‍ය ජනතාව සහ හමුදාවට ලැදි කණ්ඩායම් මුහුණු පොතේ පළ කර තිබෙන ප්‍රකාශවලින් මේ බව හොඳටම පැහැදිලි වෙනවා. පාලකයන්ට අවශ්‍ය දේ යම් ප්‍රමාණයක් සිදුවී තිබෙනවා.

1988 කාලයේ සිදුවුණෙත් මේක. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ. ජනතාව බලන්න ඕනෑ හමුදාවත් එක්ක තිබෙන ප්‍රශ්නයක් විදිහට නොවෙයි. ආණ්ඩුවත් එක්ක තිබෙන ප්‍රශ්නයක් විදිහට. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් හැඟීම්වලට කටයුතු නොකරන ලෙසත්.

ජූලි 09වැනිදා ජනතාව සහ ආරක්ෂක අංශ එකතුවෙන හැටි අප පැහැදිලිව දැක්කා. එය බෙදීමක් දක්වා ගෙනයන්නයි ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ. ආරක්ෂක අංශ සමග කිසිදු ගැටීමකට නොගිහින් කටයුතු කිරීමේ විශේෂ වගකීමක් ජනතාවට තිබෙනවා. ආරක්ෂක අංශවලට අණ දෙන්නේ පාලකයන්ගෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම බෙදීමක් ඇති කරන්න. එයට ඉඩ නොදීමේ වගකීම, මේ රටේ සියලු පුරවැසියන්ට තිබෙනවා.


අද අලුයම ගාලු මුවදොර අරගල භූමියේදී මොකද වුනේ ?


කොළඹ, ගාලු මුවදොර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ ඒ අවට ප්‍රදේශයෙන් පළවා හැරීමට ආරක්ෂක අංශ අද අලුයම (ජූලි 22) පියවර ගන්නා ලදී.

ඒ අවස්ථාව සජීව ලෙස ආවරණය කරමින් සිටි BBC මාධ්‍යවේදීන් ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකටම රජයේ ආරක්ෂක නිලධාරීහු පහර දුන්හ.

එම ස්ථානයේ සිටි BBC දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල්ට පහරදීමෙන් පසු සොල්දාදුවෙක් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන එහි දර්ශන මකා දැමීමට ද කටයුතු කරන ලදී.

මාධ්‍යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා BBC කළ විමසීමකදී පැවසුවේය.

කොළඹ, ගාලු මුවදොර අරගල භුමියේ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ දෙනෙකුට හමුදා සෙබළුන් විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරන දර්ශන සහිත බොහෝ වීඩියෝ පට මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින අතර මෙම සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්