leader s

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අලුයම අපවත් වූහ.

මීට සති තුනකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බව වාර්තා වෙයි.

අපවත්වන විට උන්වහන්සේ හැත්තෑවන වියට පාතබා සිටියහ.

උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුර දැරූ බෝමළු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතින් වහන්සේ ය.

1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ උපත ලැබූහ හිමියෝ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිලමේ තුමාගේත්, දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිගේත් වැඩිමහල් පුත්‍ර රත්නයයි. ජයතිලක නම් මෙම කුමරුවා කිතුල්හිටියාව රජයේ පාසලේන් මූලික අධාපනය ලැබුවේ ය.

ජයතිලක කුල කුමරු ජය ශ්‍රීමහා බෝධිස්ථානයේ 1968 මැයි මාසයේ දී පැවිදිබිමට ඇතුළත්විය. අනතුරුව සිරිනිවාස හිමියෝ අනුරාධපුර මහා විහාර පිරිවෙනෙන් ද කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙන් හා සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලබා 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හ.

උන්වහන්සේ උපසම්පදාව ලබාගත්තේ 1975 මල්වතු මහා විහාරයේ දී ය. අධ්‍යාපන කටයුතු නිමාකොට ජය ශ්‍රී මා බෝධි ස්ථානයට පැමිණි උන්වහන්සේ ටික කලක් එහි වැඩවිසීමෙන් පසුව මිරිසවැටි විහාරස්ථානයේ ද අභයගිරි විහාරස්ථානයේ ද භාරකාරත්වය දැරූහ. ඉන් අනතරුව රුවන්වැලි චෛත්‍යාරාමාධිපති වශයෙන් 1995 ජූනි මස 1වැනිදා එම ස්ථානයට වැඩමකරවන ලදි.

මේ අතරතුර අටමස්ථානාධිපතිව වැඩසිටි පල්ලේගම ඤාණරතන නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථාන කොමිටියේ ඒකච්ඡන්දයෙන් 1997 ජූලි මස 27වැනි දින අටමස්ථානාධිපති වශයෙන් සිරිනිවාස නාහිමියෝ පත්වූහ.

ශ්‍රී මහා බෝධී ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ වසර විසිතුනකට අධික සේවාවක් ඉටුකළහ. වසර පහලවකට පමණ පෙර තායිලන්ත රජය මගින් සිරිනිවාස නාහිමියන් ඉටුකරන ලද ලෝක ශාසනික සේවාව අගයා ආචාර්ය උපාධියක් ද පිරිමනු ලැබිණි.

නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර පැවැසීය.
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්