රට තුල ළමා මන්දපෝෂණය ඉහල යමින් තිබිය දී පාසල්වලින් ජල සැපයුමට මුදල් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු වෘත්තිය සමිතියක් හෙළි කර තිබේ.


මීට පෙර පාසල්වල ජල බිල්පත් මහාභාණ්ඩාගාරය විසින් ගෙවනු ලැබුවද මේ වන විට පාසල්වලට ජල බිල්පත් ලබා දීමට ජාතික ජලසම්පාදන මණ්ඩලය කටයුතු කර ඇති බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.

"මේ වන විට බොහෝ පාසල්වලට ජලබිල්පත් ලබාදී ඇති අතර, 2022 ජනවාරි මස සිට හිඟමුදල් ද අය කිරීමට ජල සම්පාදන මණ්ඩලය මගින් කටයුතු යොදා ඇත. සමහර පාසල් වෙත ජල සැපයුම අත්හිටුවීමට අදාළ අවසන් නිවේදන නිකුත් කර ඇති අතර, දින 14 ක් තුළ අදාළ ජල සැපයුම් අත්හිටුවන බවට ද, නීති මගින් කටයුතු කරන බවට ද දැනුම් දී ඇත." යැයි 19 බදාදා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.



රජයේ පාසල් සඳහා මේ වන විට ජල සම්බන්ධතා 1500 ක් ලබා දී ඇති බවත් ඒ සඳහා මසකට ජල ඝණ මීටර 470,000 ක් පමණ සපයනු ලබන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පාසල්වලට යවා ඇති නිවේදනයෙන් දැනුම් දී ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. ඒ සඳහා රුපියල් මිලියන 26 ක් පමණ වැය කෙරෙන අතර, සහන ගාස්තු යටතේ පාසල්වලින් ගෙවිය යුතු වන්නේ රුපියල් මිලියන 12 ක් පමණ ද එහි සඳහන් කර ඇත.



"ජල සම්පාදන මණ්ඩලය මගින් වසරකට පාසල් වෙත ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 310 ක් පමණ වැය කරන බවත්, 2015 වසර දක්වා රජයේ පාසල් වෙත සපයන ජලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් වසරකට රුපියල් මිලියන 50 ක පමණ ප්‍රතිපාදන වෙන් වූ බවත් 2016 වසරේ සිට එම ප්‍රතිපාදන නොලැබෙන බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත." යි ගුරු සංගමය තවදුරටත් කියා සිටි.

පාසල්වල ජල බිල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවන්හිදී අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කළ අවස්ථාවේදී පාසල්වලින් ජලගාස්තු අය නොකරන බවට පොරොන්දු වුවද මේ වන විට අදාළ බිල්පත්, නිවේදන සහ ජල සැපයුම අත්හිටුවීමේ නිවේදන පාසල් වෙත යොමු කර ඇති බව එම සංගමය පවසයි.

"දරුවන්ට ලැබිය යුතු බව සියලු පාර්ශව පිළිගන්නා තත්වයක හොඳම දේ තබා අත්‍යවශ්‍ය පහසුකමක් වන බීමට අවශ්‍ය ජලයත් දරුවන්ට නොලැබෙන තත්වයක් මේ ඔස්සේ නිර්මාණය වී ඇත," යි ගුරු සංගමයේ නිවේදනයෙන් අනතුරු අඟවයි.

පාසල් දරුවන්ට අවශ්‍ය ජලය ලබාදීමට ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන බලධාරීන් ද මැදිහත් විය යුතු බව සිහිපත් කර දෙන ලංකා ගුරු සංගමය පාසල්වලින් ජල ගාස්තු අය කිරීම නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස වැඩිදුරටත් රජයට අවධාරණය කර ඇත.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්