1200 x 80 DMirror

2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද (ඔක්තෝබර් 29 වැනිදා) මුහුණ දෙයි. ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (SCG) තරගය ආරම්භ කිරීමට නියමිතය.

ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකම වාර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවු පසුබිම තුළ අද තරගය පැවැත්වීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් වඩාත් උනන්දු වන්නේ සිඩ්නි නුවර ආශ්‍රිත කාලගුණ තත්ත්වය කෙරෙහිය.


Srilanka c 2022.10.29
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවදානමකින් තොරව තවදුරටත් රැඳී සිටීමට නම් නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අද ජයගත යුතුව ඇත.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ නවසීලන්ත කණ්ඩායම මේවන විට ලකුණු සටහනේ ඉහළින්ම සිටින අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයේ රැදී සිටියි.
ඒ අනුව අද තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ට පැමිණීමේ අවස්ථාව උදාවනු ඇත.


සිඩ්නි කාලගුණය කොහොමද?


නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද තරගය පැවැත්වීමට නියමිත කාලය තුළ සිඩ්නි නුවරට මද වලාකුළු සහිත කාලගුණයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අනුව කාලගුණය තරගය පැවැත්වීමට දැඩි බලපෑමක් නොවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර තරගය අතහැර දැමීමේ අවස්ථා ඉතා අල්ප බව වාර්තා වෙයි.

සිඩ්නි නුවර අපේක්ෂිත උෂ්ණත්වය සෙල්සියස් අංශක 18කි. අපේක්ෂිත ආර්ද්‍රතාවය 38% සහ සුළගේ වේගය පැයට කිලෝමීටර 34 ක් පමණ වේ.



නවසීලන්ත - ශ්‍රී ලංකා ගැටුම


නවසීලන්තය අද තරගයට සහභාගි වන්නේ, 2022 T20 ලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව දැවැන්ත ජයගහ්‍රණයක් වාර්තා කරමිනි.

එහෙත් ඔවුන් පහසු ජයක් අපේක්ෂා කළ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ජය ගැනීමට වර්ෂාව හේතුවෙන් ඔවුන්ට නොහැකි විය. ඒ අනුව කණ්ඩායම් දෙකටම ලකුණ බැගින් හිමි විය.

ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති සහ ලොකී ෆර්ගියුසන් මෙන්ම මිචෙල් සැන්ට්නර් වැනි දක්ෂ පන්දු යවන්නන් බලඇණියකින් නවසීලන්තය සන්නද්ධය.

සැන්ට්නර් මෙම වසරේ T20 තරග 12 කදී කඩුලු 17 ක් දවාගෙන ඇති අතර, පන්දුවාරයකට ලබා දී ඇති ලකුණු අනුපාතය 6.69 කි.

ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් මෙන්ම වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකුද ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලියට මුහුණ දෙන්නේ අභියෝගාත්මක පසුබිමකය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව බවට පත්ව ඇත්තේ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් 6 දෙනෙකුම ආබාධවලට ලක්වීමය.

මූලික සංචිතයට ඇතුළත් වුණු ක්‍රීඩකයින් කීප දෙනෙකුම ආබාධවලට ලක්වීම නිසා වෙනමම ක්‍රීඩකයින් පිරිසක් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වනිඳු හසරංග දැඩි පසුබෑමකට ලක්විය. ඔහු යවන ලද පන්දුවාර තුනට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 53 ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්වූහ.

වේගපන්දු යවන්නන්ට වඩා උචිත පර්ත්හි තණතීරුව ඔහුගේ පන්දු යැවීමට එතරම් නොගැලපෙන නමුත් පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හොඳින් දස්කම් දක්වා ඇති සිඩ්නි ක්‍රීඩාංගණය ඔහුට හොඳින් ගැලපෙනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේවෙතත් සිඩ්නි ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලෙස සැලකෙයි.

දිවා/රාත්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වෙන අතර මෙහි කාසියේ වාසිය තීර‌ණාත්මක සාධකයක් නොවන බව ක්‍රීඩාංගණයේ අතීත තරග වාර්තා අනුව පෙනී යයි.

ක්‍රීඩාංගණයේ දැනට පවත්වා ඇති 20/20 තරග 12 න් 6 ක්ම මුලින් පන්දුවට පහර දී ඇති කණ්ඩායම් ජය ගෙන තිබෙන අතර තරග 5 ක් හඹා යමින් ජය ගෙන තිබේ.

ඒ අනුව කාසියේ වාසිය තරගයට එතරම්ම තීරණාත්මක නොවනු ඇත.



බිනුර වෙනුවට ක්‍රීඩා කරන්නේ කවුද ?

Asita Fernando                                             අසිත ප්‍රනාන්දු


20/20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ආදේශ කිරීමට ලෝක කුසලාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කෙසේවෙතත් අද පැවැත්වෙන තරගයට ප්‍රමෝද් මධුෂාන් බොහෝ දුරට ක්‍රිඩා කරනු ඇතැයි වාර්තා වෙයි. ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේ දී බිනුර ආබාධයට ලක් වූ අතර එම ආබාධය නිසා ඔහුට එම තරගයේදී යැවීමට හැකි වූයේ පන්දු 5ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයට ලක් වීම නිසා අසිත ප්‍රනාන්දු, මතීෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල අතිරේක ක්‍රීඩකයින් ලෙස ඕස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එම ක්‍රීඩකයින්ගෙන් අසිත ප්‍රනාන්දු මූලික සංචිතයට එක් කර ඇත.

දේශීය තරගය පිටියේ කැපී පෙනෙන පන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ පැවැති සුපිරි පළාත් විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්විය. ඔහු ජාත්‍යන්තර තරග තුනක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර අසිත ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත්ව සිටියේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුශංක, ධනුෂ්ක ගුණතිලක සහ බිනුර ප්‍රනාන්දු ආබාධවලට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.

කුසල් මෙන්ඩිස් (WK), පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුෂාන්, ලහිරු කුමාර අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට හොඳින් සූදානම්ව සිටින බවයි.

"කලින් තරග වලදී අපේ පන්දු යැවීම ඉතා හොඳ තැනක තිබුණා. පන්දුවට පහර දීම ගැනත් හිතුවොත් අපි ඉන්න ඕන තැන එතනයි. ප්‍රතිවාදීන් ගැන කතා කළොත් පැහැදිලිවම ඔවුන් ලෝකයේ ඉහළම ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉන්නවා. ඔවුන්ව අපි කීයටවත් සුළුවෙන් තකන්නේ නෑ. අපි දන්නවා ‌ලෝක කුසලාන තරගාවලියට එද්දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වගේම ඇෆ්ගනිස්තානයේ ඉන්න කාණ්ඩය සමඟ අපිට ලේසියෙන් තරග කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඒ සඳහා හොඳ සූදානමකින් සිටිනවා. එතැනදි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නම් අප කළ යුතු දේ අපි හරියටම කරන්න ඕන බව දන්නවා" යැයි නවීඩ් නවාස් සදහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, "අපි මේ වගේ තණතීරුවක වෙනස්ම ක්‍රීඩා සැලැස්මක් එක්ක යා යුතුයි."

"අපි තරගයට හොඳින් සූදානම්ව ඉන්නවා. අපි ඒ තරගයේදී අපේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා වගේම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි සෑම උත්සාහයක්ම අපි ලබා දෙනවා" ඔහු පැවසීය.

(BBC සිංහල සේවය ) 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය