1200 x 80 DMirror

පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේ ඊයේ (නොවැ. 12) සවස පැවති විරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධිය සම්බන්ධයෙන්

පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර ඇති බවත් ය.

පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසිපතිවරයා නියෝග කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කාන්තාවක් දෙදෙනකු ඊයේ (නොවැ. 12) කළුතර නගරයේ සිට ගාලු මුවදොර දක්වා විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව පානදුර, පල්ලියමුල්ල ප්‍රදේශයේදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයට නංවා ගැනීමට යාමේදී අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා ඉදිරියට තල්ලු කර තිබිණි.

ඒ බව දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යවල ද සංසරණය වෙමින් පවතී.

“බලන් ඉන්නේ විරිත්තගෙන… මගුල” යනුවෙන් පවසමින් අදාළ පොලිස් නිලධාරියා බැන වැදෙන අයුරු ද එම දර්ශනවල සටහන් වී ඇත.

එම අවස්ථාවේදී අදාළ කාන්තාවන් දෙදෙනා රැගෙන යාමට බාධා කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද පොලිසිය රැගෙන ගිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබිණි.

                         
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මහ ජනතාවගේ භාෂණයේ නිදහසට බාධා වන ආකාරයට කටයුතු කර තිබෙනවා ද? කාන්තා පොලිස් නිලධාරිනියන්ට අකටයුතු වීමක් සිදු වන ආකාරයට හා ඔවුන්ට අගෞරවයක් වන ආකාරයට කටයුතු කර ඇති ද යන්න සම්බන්ධයෙන් එම විමර්ශනයේදී අනාවරණය කර ගැනීමට නියමිත බව ඔහු පැවසීය.

ඒ අනුව, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා සිදු කරන නිර්දේශ මත පොලිස්පතිවරයා ඉදිරි පියවර ගනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයින් තිදෙනා පානදුර දකුණ පොලිස් ස්ථානයේදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ පොලිස් ඇප මත නිදහස් කර තිබේ.


සිවිල් ක්‍රියාකාරීන්ගේ බලවත් විරෝධය !


පොලිසියේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ මානව හිමිකම් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් දැඩි ප්‍රතිචාර දක්වා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හිටපු කොමසාරිස්වරියක වන නීතිඥ අම්භිකා සත්කුළුනාදන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුණේ "ජ්‍යෙෂ්ඨ පිරිමි පොලිස් නිලධාරියෙකු කනිෂ්ඨ කාන්තා පොලිස් නිලධාරිනියකට එරෙහිව බලය පාවිච්චි කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේම ඇති සමස්ත ගැටලුව මොනවට ප්‍රදර්ශනය වීමකි. බලය නොමැති පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අමානුෂික සැළකීම සාමාන්‍යකරණය වී තිබෙන අතර බලවතුන් ආරක්ෂා කිරීමට පොලිසිය නීතිය බිඳදමින් තිබේ" යනුවෙනි.


ambika 2022.12.11


 ''සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දාවක්'' - ශ්‍රී ලංකා නීතීඥ සංගමය


 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කර ඇත්තේ, වර්තමානයේ පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ක්‍රියාකලාප සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දාවක් බවය.

එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, ඊයේ (12) දිනයේ වාර්තා වූ සිදුවීම් කිහිපයකින් පොලීසිය කෙතරම් පිරිහී ඇත් ද යන්න පැහැදිලි වන බවය. කළුතර සිට කොළඹ දක්වා පා ගමනින් විරෝධතා දක්වමින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම එහි උච්චතම අවස්ථාවක් බව සාලිය පීරිස් පෙන්වා දෙයි.

අදාළ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිස් කොස්තාපල්වරියන්ගේ ගෙලෙන් අල්ලා හිංසනයට ලක්කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන ඡායාරූපය පිළිබඳව ද නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය කනස්සල්ල පළකර තිබේ.

මෙම සිදුවීම්වලින් පොලීසියේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කෙරෙන අතර මෙවැනි සිදුවීම්වලට හේතුව බලය ඇති අයගේ අසාර්ථකත්වය සහ උදාසීන ආකල්පය බව සාලිය පීරිස් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Saliya Pierise                ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තැබූ ෆෙස්බුක් සටහන


තවමත් රැඳවුම් භාරයේ සිටින වසන්ත සහ සිරිධම්ම හිමි


මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, මාස 3කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය (නොවැම්බර් 10 වැනිදා) නියෝග කරනු ලැබීය.

ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත වහාම ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

එහෙත් මේ දක්වා වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර නොමැත.

නොවැම්බර් 21 වැනිදාට වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රඳවා තබා ගෙන දින 90ක් සම්පූර්ණ වෙයි.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය