තමා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට පත්කිරීමට යනබවට ඇතැම් මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, තමන් කිසිසේත්ම එවැනි තනතුරක් බාර ගැනීමට බලාපොරොත්තු නොවන බවත් ඌව පළාත් හිටපු මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ පවසයි.
මැති ඇමතිවරුන්ගේ සමීප ඥාතීන්ට රාජ්‍ය ආයතනවල තනතුරු බාර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීමට අනුව තම පවුලේ කිසිවකුට රජයේ කිසිඳු තනතුරක් බාර නොගන්නැයි සිය පියා වන අමාත්‍ය චමල් රාජපක්ෂ දැනුම් දී ඇතැයි ද ඔහු කියා සිටියේය.
තමා සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගේ අනුදැනුම මත ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට සිදු කරන සැලසුම් සහගත ප්‍රචාරක ව්‍යාපෘතියක කොටසක් විය හැකි බවට ඔහු සැක මතුකළේය.
'පොහොට්ටුව' යටතේ ඉරිදී මහ මැතිවරණයට මොනරාගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින තමා මේවනවිටත් එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ශෂින්ද්‍ර රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දැනටමත් වැඩ ආරම්භකර ඇතිබව ඔහු වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති පහත නිර්මාණයෙන් පැහැදිලිවේ.
ගෝඨාභය රාජපක්ෂගේ මැතිවණය ජයග්‍රහණයෙන් පසු රටපුරා තාප්පවල චිත්‍ර ඇඳීම මේදිනවල තරුණ තරුණියන්ගේ 'විලාසිතාවක්' බවට පත්ව ඇති අතර තරුණයින් පිරිසක් විසින් එවැනි චිත්‍ර අදිමින් සිටි අවස්ථාවකට ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එක්විය.
ඔහු මොණරාගල දිස්ත්‍රීක්කයේ එවැනි අවස්ථාවට එක්ව සිටියේ මෙසේය.









