එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දි මුදල ලබාගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද,

නොඑසේ නම් සිංගප්පූරුවේද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ පාර්ශ්ව සමග නැවත රැස්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් 2023 මාර්තු 23වැනිදා සිට දින 58ක් ඇතුළත අදාළ නඩු පැවර්ම සිදු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ  සභාපතිත්වයෙන් පැවැති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් විය.

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව හේතුවෙන් සාගර පරිසරයට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව පැවරීම සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් මස පළමු සතිය තුළ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කටයුතු කරන බවත් පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසිය.

මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන සහ මහාචාර්ය අජිත් ද අල්විස් ගේ සම සභාපතිත්වයෙන් යුතු විද්වත් කමිටුවක් මගින් මෙම අනතුර නිසා හානියට ලක්වූ එක් එක් ක්ෂේත්‍රවලට අදාළව මෙම ඇ.ඩො බිලියන 6.2කට ආසන්න තක්සේරුවක්  ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය.  

මෙහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව පවසා සිටියේ, මෙම නෞකා අනතුරට අදාළව වන්දි ලබාගැනීමට සිවිල් නඩුවක් පැවර්ම සම්බන්ධ තීරණයක් ගැනීමට සාගර නීතිය ඇතුළු නීති කටයුතු සම්බන්ධ ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ බවත්, එම කමිටුවේ තීරණය වූයේ නඩු පැවර්ම මෙරටට සිදු කළ යුතු බවත්ය.

එහෙත් මේ සඳහා සිංගප්පූරුවේ නඩු පැවර්මට කැබිනට් අනුමැතියක්ද හිමිව ඇති බවත්, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. එසේම නීතියට අනුව තවත් දින 58ක් තුළ මෙම නඩු පැවරීම සිදු කළ යුතු බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාහු පෙන්වා දුන්හ.

සිංගප්පූරුවේ නඩු පැවර්ම හරහා ශ්‍රී ලංකාවට යම් අවාසියක් සිදුවූයේ නම් එහි වගකීම ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් මේ වනවිටත් සිදුකරන ලබන වෙරළ පිරිසුදු කිරීම්, හානිපූරණ ගණනය ඇතුළු කටයුතු සදහා නෞකාවේ රක්ෂණ සමාගමෙන් මුදල් ලබාදීම නතර කිරිම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය.

අදාළ නෞකාවෙන් සාගර පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා නෞකාව මුහුදුබත්ව ඇති ස්ථානයට ගොස් සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවට කිසිදු අවස්ථාවක මෙම නෞකාව තුළට හෝ  ඒ අසලට යෑමට නීතිමය අවකාශය ලැබී නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසිය.

ඒ අනුව මේ  සම්බන්ධයෙන් සාකච්ඡා කොට නීතිමය කරුණු නිරවුල් කර ගැනීම, විද්වත් කමිටුවට සිය පර්යේෂණ සඳහා මූල්‍ය  පහසුකම් ලබාගැනීම සහ පර්යේෂණ සඳහා නැවට ළඟාවීමට පවතින නීතිමය බාධා නැති කරගැනීම  යනාදී කරුණු වැඩිදුරටත් සමාලෝචනය කිරීම සඳහා ඉදිරියේදී අදාළ පාර්ශ්ව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවට නැවත කැඳවීමටද තීරණය විය.


(උපුටා ගැනීම් - gossiplankanews.com)



සබැඳි පුවත් :


එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අර්බුදය : නීතිපති සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ගැටුමක !

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් මහ සයුරට පිළිකා හදන වස විස එක්වෙලා

 


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්