දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදාගැනීම සඳහා ආණ්ඩුවේ කොටස්කරුවන් වන ලෙස ජනාධිපතිවරයා ලෝක කම්කරු දිනය දා දෙමළ පක්ෂවලට ආරාධනා කරද්දී, ඒකීය රාජ්‍යයක් තුළ විසදුම් සෙවීම නිෂ්පල

ව්‍යායාමයක් ලෙසින් උතුරේ දෙමළ පක්ෂයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

" ද්‍රවිඩ පක්ෂ වලට මම කියනවා මේකෙන් ඈත් වෙලා වැඩක් නෑ. මේ රටේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසදන්නනං කරුණාකරලා මේ ක්‍රමවේදයට ඇවිල්ලා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් හැටියට අපි ඔක්කොම ක්‍රියා කරමු," යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ආරාධනය සිදු කළේ මැයි 1 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල අමතමිනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පවත්වන ලද පළමු මැයි දිනයට සහභාගී වූයේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ආණ්ඩුව සමග හවුලේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම තරයේ ප්‍රතික්ෂේප කළේය.

“ඒකීය රාජ්‍යයක් තුල දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් නැතැ,” යි TNPF නායකයා පවසා සිටියේය.

TNPF 02

 දෙමළ ජාතිය පිළිගැනීම, එහි අද්විතීය ස්වෛරීභාවය සහ ස්වයං නිර්ණය සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට, දෙමළ ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින ෆෙඩරල් ක්‍රමය පදනම් වූ විසඳුමක් සාක්ෂාත් කර ගන්නා ලෙස ඉන්දීය රජය සහ අනෙකුත් මිත්‍ර රටවල් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිය යුතු බව TNPF  සිය මැයි දින පනිවිඩය මගින් අවධාරණය කර තිබේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත් බැවින් එයින් ඉදිරියට යාමට තමා බලාපොරොත්තු වන බව පවසන ජනාධිපතිවරයා මැයි දිනයේ දි සදහන් කර තිබුනේ, ඒ වෙනුවෙන් මේ රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය යුතු බවයි.

" ඒ සඳහා අපි සාකච්ඡා කරමින් සිටින අතර මේ වසර අවසන්වන විට යම් එකඟතාවකට පැමිණිමට මම අපේක්ෂා කරනවා. කිසිවෙකු පාගන්නේ නැතිව, සිංහල මහා ජාතියත්, දෙමළ, මුස්ලිම්, බර්ගර් සුළු ජාතිනුත් ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපි සියලුදෙනාම කැප වෙමු."

 2023 පෙබරවාරි මස 4 වැනිදාට පළමු ජාතික ප්‍රශ්නය විසඳන බවට සහතික වෙමින් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග මේ වසර මුලදී පැවති සාකච්ඡා කෙලවර වූයේ කිසිදු ප්‍රගතියක් අත් කර ගන්නේ නැතිවය. මේ ඔහු දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා යයි කියමින් ආණ්ඩුවට හවුල්වන ලෙස දෙමළ පක්ෂවලට  ප්‍රසිද්ධියේ ආයාචනය කළ දෙවැනි වතාවය.


රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට තරුණ තරුණියන් සිදු කරන ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව, ආණ්ඩුවක් කරගෙන වැඩ කිරීම සදහා එක්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ වලට අමතරව පාර්ලිමේන්තුවේ විපක්ෂයට, වමේ පක්ෂ වලට, වෘත්තීය සමිතිවල, මෙන්ම අනෙකුත් සංවිධානවලටත් ආරාධනා කළේය.



උතුරට විශේෂ ආර්ථික සැලැස්මක්



 පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මැයි දින පනිවිඩය හරහා රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනනේ, වාර්ගික යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර ඊළාම් දෙමළ ජාතිය, යුද්ධයෙන් පීඩාවට පත් කලාපයක් ලෙස ප්‍රකාශ කරමින් රටේ ආර්ථිකය ගොඩනැගීමට විශේෂ මුල්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.


ඉහත කී ක්‍රියාකාරී සැලැස්ම තුළ, යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාව, හිටපු සටන්කාමීන්, කාන්තා මූලික පවුල්, අනාථ දරුවන් යනාදීන්ගේ  ආර්ථිකය ගොඩනැගිය යුතු බව ඉල්ලා සිටින මුලතිව්, අනිච්චංකුලම් දෙමළ විදුහල අසල සිට මැයි දින පෙළපාලියෙන් පැමිණ මල්ලාවි සිවන් කෝවිල අසලදී මැයි දින රැළිය පැවැත් වු දෙමළ ජාතික ජනතා පෙරමුණ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ද ලබාදිය යුතු බව අවධාරණය කළේය.

උතුරු නැගෙනහිර නිජබිමේ ස්වාධිනත්වය, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, වර්ග සංහාරය සම්බන්ධයෙන් ද බලහත්කාරයෙන්  අතුරුදහන් කරවුවන්ටද යුක්තිය ලබාගැනීමත් සිංහල බෞද්ධ ආක්‍රමණයට හා  නව ත්‍රස්ත  පනතට විරෝධය දැක්වීමටත්  ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ද  කිලිනොච්චි  ඩිපෝ හන්දියේ පිහිටි  හරිත උද්‍යානයේදී සිය මැයි දින රැළිය පවත්වා තිබේ.


කදුකරය සහ අගනගරය

Nuv 2023.05.03කදුකරය පදනම් කරගත් ලංකා ජාතික වතු කම්කරු සංගමය මැයි දින පෙළපාළිය සහ මැයි දින රැළිය බදුල්ල නගරයේදී පැවැත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසය ( CWC) සහ ජාතික කම්කරු සංගමය (NUW) ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් කදුකරයේ පිහිටි සිය කාර්යාල වල මැයි දින සැමරුම් පැවැත්වීමට සීමා වූ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අගනගරයත්, මහනුවරත් කේන්ද්‍ර කරගනිමින් ලෝක කම්කරු දින පෙළපාලි සහ රැළි පැවැත්වීමට කටයුතු කර තිබුනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොරැල්ල කැම්බල් පිටියේදී, සමගි ජන බලවේගය කොළඹ ඊ.ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදි, ජනතා විමුක්ති පෙරමුණ  කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලදී , පෙරටුගාමි සමාජවාදී පක්ෂය නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨයේදි, උත්තර ලංකා සභාගය කොළඹ හයිඩ් පාක් පිටියේදි, ජාතික වෘත්තීය සමිති පෙරමුණ කොළඹ පුරහල ප්‍රදේශයේදී, නව සම සමාජ පක්ෂය ගෑස් පහ හන්දියේ පිහිටි පැරණි නගර ශාලාවේදී, එක්සත් සමාජවාදී පක්ෂය කොස්ගස් හන්දියේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට දී සහ  නිදහස ජනතා සන්ධානය මහනුවර සහස් උයන ඉදිරිපිට දී මැයි දින රැළි පැවැත්වීමට කටයුතු කළේය.

ස්වාධින වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 40කට ආසන්න සංඛ්‍යවක් ප්‍රධාන කොටගත් වැඩ කරන ජනතාවගේ ඒකාබද්ධ මැයි දින  රැළිය "අයිතීන් දිනා ගැනිමට එක්සත් වෙමු! ජන පීඩනය සහ මර්දනය පරදවමු! "   යන්න තේමා කරගනිමින්  පවත්වා තිබුනේ කොළඹ  මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රිඩාංගණයේදීය.

දක්ෂිණ ශ්‍රමිකා  සංසදය ඇතුලු කාන්තා සංවිධාන 15ක සහභාගිත්වයෙන්  පවත්වන ලද මැයි දින රැළියක්  ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටදිත්, පහතරට වතු කම්කරු සංවිධානයේ මැයි දින රැළිය මාපලගම, තල්ගස්වල නගරයේදීත් පැවැති  බව දකුණුලක වාර්තාකරුවෝ පවසති.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්