රට තුළ මාධ්‍ය නිදහස තහවුරු කර ඇති බවට රජය දෙන සහතිකය අවලංගු කරමින් මාධ්‍ය මර්දනය මේ වන විටත් ක්‍රියාත්මක වෙන බවට චෝදනා නගන උද්ඝෝෂණයක් උතුරේ දියත් කර තිබේ.


ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය යෙදී තිබුන මැයි 3 වැනිදා  යාපනය මාධ්‍ය සමාජය ඉදිරිපිටදී, සහෝදර මාධ්‍යවේදීන් සමග විරෝධතා දියත් කළ එම මාධ්‍ය සමාජයේ සභාපතිවරයා දෙමළ බසින් සඳහන් කළේ, මෙවරත් ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීමට සිදුව ඇත්තේ මාධ්‍ය මර්දනයක් මධ්‍යයේ බවයි.

" අපේ මාධ්‍ය නිදහස තාම තහවුරු කරලා නෑ. මර්දනය තුළ තමයි අපිට ලියන්න වෙලා තියෙන්නේ. අපේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න, අපේ සමාජය මුහුණ දෙන ප්‍රශ්න, අපේ රට මුහුණ දෙන ප්‍රශ්න මේ මර්දනය තුළ තමයි හෙළිදරව් කරන්න වෙලා තියෙන්නේ. මාධ්‍ය මර්දනය අදටත් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වය තුළ තමයි ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අපිට සමරන්න වෙලා තියෙන්නේ. "

යාපනය මාධ්‍ය සමාජයේ සභාපති මාධ්‍යවේදී ආරුමුගම් සබේස්වරන් එහිදී රජයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේ ඝාතනයට සහ අතුරුදහන් කිරීමට ලක් කළ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීමට රජය ක්‍රියා කළ යුතු බවයි.

JP 2023.04.04


ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනයේ කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සදහන් කළේ මාධ්‍යකරුවන්ට, මාධ්‍ය නිදහසේ හැසිරවීමට ඉඩ ප්‍රස්තාව රජය ලබා දී ඇති බවයි.

" මාධ්‍යකරුවන්ට තර්ජන, ගර්ජන, බියවැද්දීම් යනාදියෙන් තොරව මාධ්‍ය නිදහසේ හැසිරවීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම රජයක යුතු කම හා වගකීම වෙනවා. ඒ වගකීම අපේ රජය අකුරටම ඉෂ්ට කරලා තියනවා.කිසිදු අවස්ථාවක දී රාජ්‍ය විවේචනය කිරීම්, මාධ්‍ය වලින් විවිධ අසත්‍ය වු ප්‍රකාශ පවා ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ මාධ්‍යවේදීන්ට බියගැන්වීම් යනාදී කිසිදු ක්‍රියාවක් අපේ කාලය තුලදී වාර්තා වෙලා නෑ."

වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය නිදහසට බාධාකාරී වන නීතියක් පවා වෙනස් කර ඇති බව සිනාමුසු මුහුණින් යුතුව පැවසු  ජනමාධ්‍ය අමාත්‍යවරයා එහිදී මාධ්‍ය ආයතන සතු වගකීමත් සිහිපත් කළේය.

" විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාධ්‍ය නිදහසට බාධාකාරී වෙන සාපරාධි අපරාධ නීතිය පවා වෙනස් කරලා එතුමාටත් අපහාස උපහාස ලැබෙන ආකාරයට මාධ්‍ය නිදහස තහවුරු කරලා තිබෙනවා. නමුත් ඒ මාධ්‍ය නිදහස ඉතාම සබුද්ධික ලෙස පාවිච්චි කිරීම සදහා වන වගකීමක් අපේ මාධ්‍ය ආයතන හා මාධ්‍ය සහෘදයන් සියළු දෙනා වෙත පැවරෙනවා."

මාධ්‍ය වෘත්තිකයන්ට සෘජු බලපෑම් එල්ල විය හැකි බවට  නීතිවේදීන් මේ වන විටත් අනතුරු අඟවා තිබෙන, අධිකරණ ඇමැති යෝජනා කර ඇති  ත්‍රස්ත විරෝධී පනත (ATA) ට විරෝධය පළ කිරීම ප්‍රමුඛ කරගනිමින් යාපනය මාධ්‍ය සමාජය ඇතුළු මාධ්‍යවේදීන්  හිසෙහි කළු රෙදි  කඩක් බැද ගනිමින්  දියත් කළ විරෝධයේ මූලික ඉල්ලීම් වී තිබුනේ  මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස බල කිරීම හා  ඝාතනය කළ සියළුම මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමයි.


මාධ්‍යවේදීන් 44 ක්


ජනතා අරගලයකින් මීට වසරකට ඉහත දී පලවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවෙකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනයේ වැඩි දුරටත් කියා සිටියේ ජනතාවට හිතවාදී, රටට හිතවාදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් ඇති කිරීම සදහා රජය වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවයි.

මාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදහන් කිරීම ගැන වගකිව යුත්තන්ට ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩු විසින් දඬුවමින් මිදී සිටීමේ වරප්‍රසාදය සලසා දීම යුක්තිය ඉටු කිරීමට ප්‍රධානතම බාධාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය ඇතුළු ආයතන විසින් පෙන්වා දී ඇතත්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන කිසිදු පියවරක් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නැත. 

Press 2023.05.04

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්