මුලතිව් කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමියේ හමුදා අනුග්‍රහයෙන් ඉදිකර තිබෙන කුරුන්දි විහාරයේ ඉදිකිරීම් උසාවි නියෝග කඩකිරීමක් බවට දෙමළ ජනතාව විසින් ඉදිරිපත් කරන ලද කරුණු අධිකරණය හමුවේ තහවුරු වී තිබේ.

පුරාවිද්‍යා රක්ෂිතයේ හින්දුන් වැඳුම් පිදුම් කළ ශිව දේවාලයක් පිහිටි ස්ථානයේ හමුදා අනුග්‍රහයෙන් අලුතින් බෞද්ධ විහාරයක් ඉදිකිරීම අභියෝගයට ලක් කරමින් ප්‍රදේශවාසී ජනතාව ගොනු කළ විරෝධය සම්බන්ධ නඩුවේ තීන්දුව දැනගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු යුද පීඩිත ජනකායක් මුලතිව් අධිකරණයට පැමිණ සිටි බව වන්නි මාධ්‍යවේදීහු පවසති.

පැමිනිලි පාර්ශවයේ නීතිඥ වී.එස් ධනංජයන් පවසන්නේ දෙමළ ජනතාවගේ පුජා භුමියක අලුත් ඉදි කිරීම් තහනම් කරමින් මීට ඉහත දී ලබා  දුන් උසාවි  නියෝගයක් නොතකා කටයුතු කර තිබේදැයි විභාග කිරීම සඳහා ස්ථානීය නිරීක්ෂණයක් පැවැත්වු මහේස්ත්‍රාත්වරයා අගෝස්තු 31 වැනි දින එම නිරීක්ෂණයේ තීන්දුව  ප්‍රකාශයට පත් කළ බවයි.

" 2022 ජුනි මාසේ 12 වැනිදා  අධිකරණය විසින් නිකුත් කළ නියෝගය කඩ කරමින් ඉදිකිරීමේ කටයුතු සිදු වෙන බවට අපි බැතිමතුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත්කර තිබුනා. අධිකරණය ස්ථානීය නිරීක්ෂණ චාරිකාවක යෙදිලා අද නියෝගය නිකුත් කළා. දැනටමත් ලබා දී ඇති නියෝගය උල්ලංඝනය කරලා තියනවා. නියෝගය උල්ලංඝනය කරමින් ගොඩනැගිලි ඉදිකරලා තියනවා. අධිකරණයේ නිරීක්ෂණය කරන වෙලාවේ දක්නට ලැබුන ගලක් දැන් එතන නෑ. අලුතෙන් නාම පුවරුවක් තියලා තියනවා. මෙවැනි කරුණු අධිකරණයේ අද සදහන් කරා."

අධිකරණයේ නඩු කටයුතු නිමා වීමෙන් පසු නීතිඥ  වී.එස් ධනංජයන් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් සහ දේශපාලඥයන් කිහිපදෙනකු පිරිවරා ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සිය රාජකාරිය නිසි අයුරින් ඉටුකර නොමැති වග විනිසුරුවරයා ප්‍රකාශ කළ බවයි.

102
"අධිකරණයේ නියෝගය ආරක්ෂා කරන වගකීම දිලා තිබුනේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ට. ඒත් අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වැඩේ හරියට කරලා නැහැ. ඒ නියෝග නොසලකා හැර ඇති බව අධිකරණයේ දී ප්‍රකාශ උනා."

 

කුරුන්දී විහාරය යනුවෙන් නම්කොට කුරුන්තුර් පුරා විද්‍යා භුමියේ අලුතින් ඉදිකර තිබෙන චෛත්‍ය වන්දනා කරමින් සිටි බෞද්ධ භික්ෂුන් පිරිසක් ඉවත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ජුලි 4 වැනිදා පොලීසියට නියෝග ලබා දී තිබුනේ හින්දුන්ගේද වන්දනාවකට ලක්වු භුමියක අලුත් ඉදි කිරීම් තහනම් කරමින් වසරකට පමණ ඉහත දී ලබා දුන් උසාවි නියෝගයක් නොතකා කටයුතු කර තිබේදැයි විභාග කිරීම සඳහා කළ ස්ථානීය නිරීක්ෂණයේදීය.

 

මුලතිව් අධිකරණයේ නීතිඥයන් ඇතුළු කාර්ය මණ්ඩලය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන් සමග මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්තූර්මලෙයි පුරා විද්‍යා භුමිය නීරීක්ෂණය කරන මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක්ද එම ස්ථානයේ පින්තුර ගනිමින් සැරිසරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබුනි.

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ අධිකරණ තීන්දුව නොතකා හරිමින් අලුතින් ඉදිකිරීම් සිදු කර නොමැති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා 2023 අප්‍රේල් 27 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාට දැන්වීම නිසා ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට විනිසුරුවරයා පසුගිය ජුනි මාසයේදී  තිරණය කළේය.

 

උසාවි තීන්දුවට පිටුපා යමින් යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සම්බන්ධයෙන් 2023 මාර්තු 30 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මාර්තු 2 වැනිදා මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස් හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී තිබුනි.

 

මාර්තු 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, එම දෙපාර්තමේන්තුවේ පිරිසක් සහ පොලිස් නිලධාරීන් පැමිණ සිටියත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයට පැමිණ නොසිටි බැවින් විනිසුරුවරයා ඉල්ලා සිටි වාර්තා ඉදිරිපත් කිරීමට තව දුරටත් කාලය ලබා දෙන ලෙස රාජ්‍ය නිලධාරීන් සිදු කළ ඉල්ලීම හමුවේ විනිසුරුවරයා නඩුව අප්‍රේල් 27 වැනිදාට කල් දැමුවේය.

නව ඉදිකිරීම් සිදු නොකරන ලෙසට අධිකරණය ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් කටයුතු කර නොමැති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අප්‍රේල් 27 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ, අධිකරණ තීන්දුව නොතකා ඉදිකිරීම් සිදු කර තිබෙන ආකාරය ඡායාරූප මගින් විනිසුරුවරයාට පැහැදිලි කිරීමට පැමිනිලි පාර්ශවයේ නීතිඥ  වී.එස් ධනංජයන් කටයුතු කළේය.

යළිත් වරක් නිරීක්ෂණ චාර්කාවකට එක් වන ලෙස පැමිනිලි පාර්ශවයේ නීතිඥ  වී.එස් ධනංජයන් මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගෙන් මාර්තු 2 වැනිදා ද කළ ඉල්ලීමට අනුව ජුලි 4 වැනිදා ස්ථානීය පරීක්ෂාව සිදු කර "බිම සිට අඩි 6ක් පමණ උසින් හතරැස් හැඩයට වේදිකාවක් සකසා ඇත. මැටි බිම පොලිෂ් කර ඇත. හුණු බදාම සංයෝගයක් ආලේප කර ඇත," ආදී වශයෙන් සටහන් යොදා ගැනීමට උපදෙස් දුන් විනිසුරුවරයා පොලීසියට සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුනේ ඔවුන්ට  කීමට ඇති දේ ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව අධිකරණයේ අවසර ඇතිව අවස්ථා දෙකකදීම මතබේදයට ලක්ව ඇති පුරා විද්‍යා භුමියේ පොංගල් උත්සවය සැමරීමට හින්දු බැතිමතුන් කටයුතු කරද්දී, පොලිසිය මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ද ඔවුනට බාධා පමුණුවා තිබුනි.

ජනපතිගේ ප්‍රතිචාරය

අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන්ට ජනපතිගෙන් සහතිකයක්

අගෝස්තු 29 වැනිදා පස්වරුවේ මහනුවර ප්‍රදේශයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ඇතුළු නායක හිමිවරුන් කිහිප දෙනෙකුම බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබුනි.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන්  බැහැ දුටු අවස්ථාවේ දී ප්‍රකාශ කර තිබුනේ පිටස්තරින් කණ්ඩායම් පැමිණිමත් සමග කුරුන්දි විහාරයේ ගැටුම් ඇති වී තිබෙන බවයි.

"ඒ නිසා අප පිටස්තරින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට අවස්ථාව දෙන්නේ නැහැ. මෙම සියලු කටයුතු සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. එහිදී පුරාවිද්‍යා පනතට අනුව කටයුතු කිරීමටත් උපදෙස් දී තිබෙනවා." ජනාධිපති වික්‍රමසිංහ පැවසු බව ජනාධිපති මාධ්‍ය එකකය නිවේදනය කර ඇත.

සංඝනායක හිමියෝ කරුණු පහදයි

 

ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර නාහිමියන් ප්‍රකාශ කළේ පුරා විද්‍යා ස්ථාන වල අයිතිය බෞද්ධ භික්ෂුන්ට නොපැවරිය යුතු බවයි.

 

"පුරාවිද්‍යා ස්ථාන, නිකාය වලට, පාර්ශවවලට, හාමුරුදුවන්ට, පුද්ගලික විහාරාධිපතිකම් නොදී කෙලින්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා ගෙන  රැකබලා ගත්තොත් මං හිතන්නේ ඔය තියන සියළුම ප්‍රශ්න වලට විසදුම එතන තියනවා."

එම මාධ්‍ය හමුවේදී නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගෙන් චෝදනා උතුරට අලුතින් එන භික්ෂුන් කොන්ත්‍රාත් පදනම තුළ ප්‍රශ්න ඇති කරන බවයි.

ඒ සම්බන්ධයෙන්  එහිමියෝ යුද හමුදාවටත් දොස් පැවරූහ.

"විශේෂයෙන්ම හමුදාව අනිවාර්යෙන් මේකට වග කියන්න ඕනෑ. අන්න ඒ අපේ හමුදාව මෙවයින් ඉවත් උනානම් ඔය එකම ප්‍රශ්නයක්වත් නෑ."

හමුදා අනුග්‍රහයෙන් ඉදිකිරීම්

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ අලුතින් ඉදිකිරීම් තහනම් කර ඇති පුරාවිද්‍යා භුමියේ උසාවි අනුදැනීමකින් තොරව යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකර ඇති බවට නඩුවක් ගොනු කර ඇත්තේ 2022 වසරේ දීය. 

ප්‍රදේශවාසි ජනතාව වෙනුවෙන් එම නඩුව ගොනු කර තිබුනේ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කාන්දයියා සිවනේෂන්, හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෛරාජා රවිහරන් සහ සමාජ ක්‍රියාකාරික ජී. ජුඩ් ප්‍රසාන්ත් විසිනි.

එම නඩුව 2022 ජුලි 21 වැනිදා දෙවැනි වරට කැඳවු අවස්ථාවේදී අධිකරණයේ විනිසුරු ඇතුළු පිරිසක් ඉදිකිරීම් කරන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව නියෝග කර තිබුනේ එහි අලුතින් ඉදිකිරීම් වහාම නවත්වන ලෙසයි.

2022 වසරේ නොවැම්බර් 24 වැනිදා එම නඩුව යළි කැදවු අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් නීතිඥ වී.එස් ධනංජයන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග නොතකමින් එහි ඉදිකිරීම් තව දුරටත් සිදු වන බවයි.එම ඉදිකිරීම් නතර කරන ලෙසට විනිසුරුවරයා එදින යළිත් වරක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට සහ විහාරාධිපති හිමියන්ට  නියෝග කර කළේය.

නීතිඥ  වී.එස් ධනංජයන් 2023 මාර්තු 2 වැනි බදාදා  මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවන චෛත්‍යයේ නවතම ඡායාරූප මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා වෙත ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබුනේ විනිසුරුවරයා විසින් දෙවරක්ම ලබා දී ඇති නියෝග කඩකරමින් එම චෛත්‍යයේ ඉදිකිරීම් දිගටම කෙරීගෙන යන බවයි.
 

සබැඳි පුවත් :


කුරුන්තුර්මලේ පුද පුජා සඳහා හින්දුන්ට කොන්දේසි පැනවේ !

කුරුන්තුර්මලේ පුරාවිදු බිමේ හින්දු වතාවත්වලට තහනමක් නෑ

ආගමික ඇදහිල්ලට බාධා කළ පොලිසියට විරුද්ධව ‘පියවර ගන්නවා’ - ජනපති

සිව දේවාලයක පුද පූජාවලට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන පැමිණිලි

‘මේක බෞද්ධ රටක්’ බව උසාවියට කියා දීමට ගිය රියර් අද්මිරාල්ට නීතිඥ විරෝධය

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධය

කොළඹ ඉන්න මන්ත්‍රීවරු වන්නි යන්නේ 'ජාතිවාදය අවුස්සන්නයි'

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්