පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට

එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විපක්ෂයෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබේ.

ඔහු එසේ ඉල්ලා අස්නොවන්නේ නම්, මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව සදුදා බාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර  අතර ඇතැයි පැවසෙන සබඳතා( ළබැදියාවන් අතර ගැටුම) හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම ඵලදායි කරුණක්  නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.

රංජිත් බණ්ඩාර ගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවද එම මන්ත්‍රීවරු පවසති.

මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවයි.

ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බවද කතානායකවරයා කීවේය.

කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ තීරණය කළේය.

''මෙය ඉතා සංවිධානාත්මක ප්‍රහාරයක් '' - මහාචාර්ය රංජිත් බණ්ඩාර


තමන්ට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්  අදහස් දක්වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, නොවැම්බර් 14 වන දින ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව ඉදිරියට කැඳවීම සම්බන්ධයෙන් සහ තමා කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳව තමාගේ පුතනුවන්ද ඈඳා ගනිමින් විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් අසාධාරණ ලෙස තමා හට අභූත චෝදනා නගමින් සිටින බව පවසයි.


මෙය ඉතා සංවිධානාත්මකව පාර්ලිමේන්තුව තුළදීත් මින් පිටදීත් සිදුකරන බව පෙනෙන බවත්, මෙමගින් තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවත් ඔහු පවසයි.

එම චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කර සිටියි.

1. කතා කිරීමට අවස්තාව නොදුන් බව සම්බන්ධයෙන්:

මේ වන විට රට දැඩි විවේචනයට ලක්වන සහ දේශපාලන අර්බුදයක් ලෙස මතුව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදු කළ එම සාකච්ඡාවේදී විශාල පිරිසක් එක වර ඝෝෂා කරමින් කතා කිරීමට උත්සාහ කිරීමේදී සභාව හැසිරවීම තරමක් අපහසු කාර්යයක් විය.

එම අවස්ථාවේ මමත් කතා නොකර එක් පුද්ගලයෙකුට කතා කිරීමට අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් වෙතින් වාචිකවත් පසුව කිහිප දෙනෙකුට ඇඟිල්ලෙන් සංඥා කළෙමි. එය පාර්ලිමේන්තුවේ පවා සිදු කරන සාමාන්‍ය ක්‍රියාවකි.

එසේ සිදු කළේ මේ දක්වා ඉතාමත් ඉහළ වෘත්තීය මට්ටමකින් පවත්වාගෙන ආ කෝප් කමිටුවේ ගෞරවය ඒ ආකාරයෙන්ම රැක ගනිමින් බාධාවකින් තොරව කමිටු රැස්වීම පවත්වාගෙන යෑමේ අරමුණෙනි. එම නිසා කථා කිරීමට වැලැක්වුවාය, අවස්ථාව නොදුන්නාය යනාදි වශයෙන් නගා ඇති චෝදනාව තරයේ ප්‍රථික්ෂේප කරමි.

අවාසනාවකට අද සමාජ මාධ්‍ය තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම එය වැරදි ආකාරයට අර්ථ ගැන්වීම කණගාටුවට කරුණකි.


2. පුතා කෝප් කමිටුවට පැමිණීම සම්බන්ධයෙන්

2020.10.05 වන දින සිට සිට මාගේ කණිටු පුත් නීතිවේදී කණිෂ්ක බණ්ඩාර සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස මාගේ රාජකාරි කටයුතු වලට සහභාගී වේ. නීති විද්‍යාලයේ විභාග සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුහුණු කාල සීමාවේ හැර හැකි සෑම අවස්ථාවකම අවසර සහිතව මාගේ කටයුතුවලට ඔහු සහාය වී තිබේ.

අදාළ කමිටු රැස්වීම සඳහා ද මාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන කණිෂ්ක බණ්ඩාර, විධිමත් අවසරයක් සහිතව කමිටුවට සහභාගී වී ඇති අතර ඊට අදාළ ලිපි ලේඛන මේවනවිටත් කතානායක වෙත ඉදිරිපත් කර ඇත. අනවසරයෙන් මාගේ පුතා කැදවාගෙන ආවාය යන චෝදනාව තරයේ ප්‍රථික්ෂ්ප කරමි.


3. ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇතැයි කියන ළබැදියාවන් සම්බන්දයෙන්:

2020 වසරේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන විට වසර තිහකහට ආසන්න කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටි බව නොරහසකි.

2016 වසරේ මා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙස සේවය කරන අවස්ථාවේදී වසර දෙකක් සඳහා නිවාඩු ලබා ගෙන කොළඹ 7, වෝඩ් පෙදෙසේ “කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල” ආරම්භ කරන ලදී. මා එහි සමාරම්භක ප්‍රධානියා බව මුලු රටම දන්නා කරුණකි.

මෙම කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල දිවයිනේ බොහොමයක් ව්‍යාපාර ආයතන වලට විධායක පුහුණුව, උපදේශනය සහ සංයුක්ත සැලසුම් ලබා දී තිබේ. ශ්‍රී ලංකා රග්බි, ශ්‍රී ලංකා ක්‍රිකට්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හේලීස් සමාගම, මංචි බිස්කට් සමාගම වැනි ආයතන ගණනාවකට අපගේ වෘත්තීය සේවාව සපයන ලදී.


2017 වසරේ තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ කාලසීමාව තුළ “ක්‍රිකට් පාසැලක්” ආරම්භ කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව සකස් කරදෙන ලෙස අපෙන් ඉල්ලා සිටින ලදී. කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් අප එම සංකල්ප පත්‍රිකාව සකස් කළ අතර ක්‍රිකට් පාසැල ආරම්භ කිරීමේ කටයුත්තට ප්‍රධාන උපදේශකයෙක් ලෙස සේවය සැපයීමටද එකඟ විය. එම කටයුත්ත නිමාවකින් තොරව නතර විය. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අප කිසිදු අය කිරීමක් සිදුකර නොමැත. එසේ අයකළත් එය වෘත්තියමය සේවාවක් සැපයීම වෙනුවෙන් මිස එය අද මා දරන තනතුරේ වගකීම වෙනුවෙන් ලබාගත් අත්තිකාරමක් නොවේ. එසේ හුවා දැක්වීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණකි. එම නිසා ලබැදියාව පිළිබද නගා අති එම චෝදනාව මා තරයේ ප්‍රථික්ෂේප කරමි.


4. කෝප් කමිටුවට කැදවිය යුතු ආයතන මොනවාද යන්න කමිටුව විසින් ආකාර තුනකට සිදුකරනු ලබයි. විගනකාධිපතිතුමාගේ නිර්දේශ, කමිටු සමාජිකයන්ගේ බහුතර කැමැත්තෙන් කරනු ලබන නිර්දේශ සහ එදිනෙදා කමිටු සාකච්චාව වලදී ගනු ලබන තීන්දු.

මා කිසිවිටකත් පෞද්ගලිකව කිසිදු ආයතනයක් ගෙන්වීම හෝ නොගෙන්වීම සහ්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැත. පෞද්ගලිකව කොමිටු සාමාජිකයන් කරන ඉල්ලීම්ද කමිටුව තුල සලකා බලන අතර ඒ සදහා වන තීන්දුන්ද කමිටු සාමාජිකයන් විසින් ගනු ලබයි.

ක්‍රිකට් ආයතනය සහ වෙනත් ආයතන සම්බන්දයෙන් කළ එවැනි ඉල්ලීම ඒ ආකාරයටම කමිටුවතුල සලකා බැලු බව මාගේ විස්වාශයයි.

විශේෂයෙන් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කල ලිඛිත ඉල්ලීම පිළිබද සාකච්චාවේදී මධුර විතානගේ මන්ත්‍රීවරයා එය හදිසියේ කැදවිය යුතු නැතිබවත් ඒ වෙනුවට CPC සහ CEB ආයතන කැදවිය යුතු බවට කමිටුව තුලදී තින්දුකරන ලදි. දැනටමත් CPC කැදවා ඇති අතර CEB  කැදවීමේ ලයිස්තුවට ඇතුලත් කර ඇත. එම නිසා එම චෝදනාව මා සම්පුර්ණයෙන්ම ප්‍රථික්ෂේප කරමි.

මා වෙත නගා ඇති සියලු බොරු චෝදනා එක හෙලාම ප්‍රථික්ෂේප කරමි. මාගේ වගකීම මෙරට මහජනතාවට බව මා තෙරුම් ගෙන ඇති අතර මා එය නොපිරිහෙලා ඉටු කරලීමට අදිටන් කරසිටිමි.''

සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්