මහසිවරාත්‍රී දිනයේ හින්දු ආගමික වතාවත්වලට බාධා කරමින් වවුනියාවේ කෝවිල් භුමියක් තුලදී අත් අඩංගුවට ගන්නා ලද ට්‍රැක්ටරයක් ඇතුළු උපකරණ තොගයක් අධිකරණ නියෝග මත එහි හිමිකරුවන්ට

ආපසු ලබා දීමට පොලීසියට සිදුවී තිබේ.

වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලේ පාලනාධිකාරිය චෝදනා කරන්නේ පොලීසිය විසින් මාසයකට ඉහතදී සිය භාරයට ගන්නා ලද තවත් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් පුජා භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය තොගයක් ආපසු ලබාදී නොමැති බවයි.

පොලීසිය ගත් සියළු භාන්ඩ නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් කෝවිලේ පාලනාධිකාරිය සහ අත්අඩංගුවට ගන්නා ලද හින්දු භක්තිකයන් අට දෙනා ගොනුකළ මෝසමක් විභාගයට ගත් වව්නියාව දිසා අධිකරණය ලබා දුන් නියෝග අනුව අප්‍රේල් 04 වැනිදා පොලීසිය ට්‍රේලරය සහිත ට්‍රැක්ටරයක්, ජල බවුසරයක් සහ ආහාර පිසීමට යොදා ගන්නා ඇලුමිනියම් භාජන තොගයක් නිදහස් කර තිබේ.

ආදී ලිංගේස්වර කෝවිල් පරිපාලන සභාවේ ලේකම් තුරෙයිරාසා තමිල්චෙල්වම් මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ හදුන්කුරු, සදුන්, කපුරු ඇතුළු රුපියල් හතලිස් දාහක වටිනාකමින් යුත් පුජා භාණ්ඩ තොගයක්  සහ ආහාර පිසීමට රැගෙන ගිය හාල් කිලෝ 50 ක්, උදු කිලෝ 10 ක් ඇතුළු රුපියල් දෙලක්ෂ හැට දහසකට ආසන්න වටිනාකමකින් යුත් ආහාර හා තවත් පුජා භාණ්ඩ තොගයක් පොලීසිය විසින් නිදහස් කර නැති බවයි.

ඒවා නිදහස් කරගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බව ඔහු මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ.



 වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු සහ පුජා භාන්ඩ ඇතුළු  උපකරණ තොගය අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.


ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට  කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර  සියළු දෙනා නිදහස් කිරීමට වව්නියාව දිසා අධිකරණය මාර්තු 19 වැනිදා  නියෝග කළේය.

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් එදින  මුදා හරින ලද්දේ කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය.

wedukunari 2024.03.20

අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි


අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට තමන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් අට දෙනා මාර්තු 27 වැනි දා කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර කිරීමටත් කටයුතු කර තිබුනි.

වැරදි කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින හින්දු භක්තිකයෝ තමන්ට සිදු වු මානසික පිඩාව සහ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන ලෙසත් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටියහ.

වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිල තුළ ඉදිරියේදී නිදහසේ වන්දනාමාන කටයුතු කිරීම වෙනුවෙන් ඉඩ සලසා දෙන ලෙසත් කෝවිලේ තිබියදී  එදින පොලීසිය රැගෙන ගිය පුජා භාණ්ඩ ඇතුළු සියළු දේ නැවත හින්දු භක්තිකයන් වෙත ලබා දීමට කටයුතු සලසන ලෙසත් ඔවුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් එදින වැඩි දුරටත් ඉල්ලා තිබුනි.


සබැඳි පුවත් :

වෙඩුක්කුනාරි කෝවිලේ සිදුවීම් ගැන SBSL හා GTF කනස්සල්ලෙන්

වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

මහාසිවරාත්‍රී පුජා පවත්වද්දී අත් අඩංගුවට ගත් 8 කට නිදහස ඉල්ලා පෙළපාලි

සංහිඳියාව පිළිබඳ කයිවාරු මැද උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවල වර්ධනයවන කළකිරීම - ජෙහාන් පෙරේරා

සංහිඳියාවාදී ලෙස පෙනී ඉඳිමින් ආණ්ඩුව ‘සිංහල බෞද්ධකරණයේ’

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්