කොරෝනා හරහා මතුවන "ඒකාධිපතිවාදය වලක්වමු" 

රට බරපතල ආපදාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවා ආපදා කළමනාකරණ සේවා මෙහෙයවන මෙන් විරුද්ධ පක්ෂ මෙන් ම උගතුන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු පිරිස් ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

බීබීසී සිංහල සේවය ඇතුළු මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, කොරෝනාවෛරස වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට මුහුණ දී සිටින බවට අනතුරු අඟවා තිබුණි.

Screen Shot 2020 03 30 at 10.02.34 PM                                                             මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ලිපියෙන් කොටසක්

විශේෂයෙන්ම වසංගතය මතුවෙමින් පවතිද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම දැඩි දෝෂදර්ශනයට ලක් කරන මහාචාර්ය රත්නජීවන් හූල්, පවතින වාතාවරණය යටතේ "ඒකාධිපතිවාදයක්" මතුවීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් වහාම අවලංගු කරනු ලැබිය යුතු බවත් අවධාරණය කරයි.

 මහාචාර්ය රොහාන් සමරජීව කියන කතාව :

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්ය රොහාන් සමරජීව පවසා තිබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවන මෙන් තමන් ද හිටපු කතානායක කරු ජයසූරිය අමතා කිහිප වතාවක් ම ඉල්ලා සිටි බවය.

හිටපු කතානායකවරයාගේ ඉල්ලීම ප්‍රකාර අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය දා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබිණි.

Screen Shot 2020 03 30 at 10.02.39 PM
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, වසංගතය සම්බන්ධ කටයුතු මෙහෙයවන සම්බන්ධීකරණ කමිටුව ගැන සෑහීමකට පත්විය නොහැකි බවය.

විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය අගමැතිවරයා දිනපතා මාධ්‍ය හමුවෙමින් කොරෝනා මර්දන ව්‍යාපෘතියට නායකත්වය දුන් අතර, එක්සත් ජනපදයේ එයට නායකත්වය දෙනු ලබන්නේ උප ජනාධිපතිවරයා බව පෙන්වා දෙන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, අප්‍රේල් 30 වෙනි දිනෙන් අනතුරුව මහජන මුදල් භාවිතයට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් අවධාරණය කරයි.


RW 30ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් ජයසේකරද පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/7 වගන්තිය ප්‍රකාර විසුරුවා තිබෙන පාර්ලිමේන්තුව හදිසි අවස්ථාවකදී යළි කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවය.

"වෛරසයට එරෙහි සාමූහික සටනේ ජෙනරාල්වරු සහ සොල්දාදුවන් වන වෛද්‍යවරු සහ හෙදියන්" මෙන්ම රාජ්‍ය සේවය, පොලීසිය සහ ත්‍රීවිධ හමුදාව ද ඔවුන්ගේ දරන ප්‍රයත්නයට කෘතඥතාව පළ කරන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද වසංගතය ලොව පුරා පැතිර යද්දී "රජයේ ඉහළම පාර්ශවයන්ට සම්බන්ධ අය විසින්" සංචාරක ප්‍රවර්ධන වීඩියෝවක් නිර්මාණය කිරීමත්, පාසල් පවා වසා දැමූ නමුත් දිගටම මැතිවරණය වෙනුවෙන් පෙනී සිටීමත් ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක් කර තිබිණි.

 

"පාර්ලිමේන්තුවක් නැතිවීම අභාග්‍යයක්"

දැනට එඩින්බරා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින කෞශල්‍යා හේරත් පවසන්නේ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි යන මතය "සියුම් ලෙස නමුත් තිරසර ලෙස කාවැදෙමින් තිබීම" භයානක තත්ත්වයක් බවය.

"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන වටිනාකම අපිට කෙටිකාලීනව කියන්න අමාරුයි," බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඇය කියා සිටියාය.

"හදිසි අවස්ථාවකදී ඒකාධිපති චීනය වගේම ප්‍රජාතන්ත්‍රවාදී ඉතාලියත් එක ලෙස බැටකමින් ඉන්නවා අපිට පේනවා. චීනය යම් දුරකට තත්ත්වය ඒකාධිපතිත්වය පාවිච්චි කරලා සමනය කරගත්ත නිසා ඒක සාර්ථක මොඩලයක් කියන්න බෑ. උදාහරණයක් විදියට චීනයේ පවතින ඒකාධිපති ක්‍රමයම තමයි මුලින්ම වෛරස ගැන අනතුරු අඟවපු වෛද්‍යවරයා නිහඬ කරලා මෙහි ව්‍යාප්තිය වැඩිවෙන තැනට කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි ඒ ගැන චීනයේ සමාජමාධ්‍ය වල කතිකාවතක් ඇති වීම පවා පාලනය කෙරුණා."

 111472817 331741ec de10 4942 8a4e 185e27232fb3                                                                            කෝවිඩ්-19 වසංගතය ගැන අවන්ත ආටිගල ගේ කාටුනයක් 

 ඕනෑම රටක හදිසි තත්ත්වයකදී එය පාලනය සඳහා හමුදාව සහ පොලිසිය යොදාගැනීම සාමාන්‍ය තත්ත්වයක් බව පෙන්වාදෙන කෞශල්‍යා හේරත්, "ලංකාවෙ ඉතා ම දක්ෂ විනය ගරුක හමුදාවක් ඉන්නවා සහ ඒක ලංකාවට හදිසි ආපදාවලට මුහුණ දීමට ශක්තියක්. ගිය වසරේ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වාගන්නට රජය අසමත් වුනත් ඉන් පස්සේ හමුදාව නිසිලෙස තත්ත්වය කළමනාකරණය කළා. එක විදියකට මේ වසරේ වෙන්නෙත් ඒ හා සමානකම් තියෙන දෙයක්. වෛරසය රටට ඇතුළුවීම රජයට වළක්වාගන්න බැරි වුනත් ඉන් පසු ඇඳිරිනීති තත්ත්වය ‍යටතේ හමුදාව නිසි ලෙස ඒ තත්ත්වය පාලනය කරනවා. නමුත් ආපදාවක් කළමනාකරණය කිරීමේදී සම්පූර්ණ පාලනය හමුදාව හෝ පොලීසිය අතට දීම නම් අනුමත කරන්න බෑ," යනුවෙන් ද සඳහන් කළාය.


''මෙවැනි අවස්ථාවක පවා සෞඛ්‍ය සේවයේ කටයුතුවලට අමතරව අනෙකුත් කටයුතු සියල්ල හමුදාවට කිරීමට සිදුවීම රාජ්‍ය ‍යාන්ත්‍රණයේ දුර්වලකමක් බව කෞශල්‍යා හේරත්ගේ අදහසය.''

විශේෂයෙන්ම රටේ පාර්ලිමේන්තුවත් නොමැති අවස්ථාවේ චීනයෙන් රුපියල් මිලියන 500 ක ණයක් ලබාගනිමින් රජය අර්බුදයට මුහුණ දෙමට සැරසෙන බව පෙන්වාදෙන ඇය, "අප දැනටමත් අසාමාන්‍ය ලෙස ණයකාර රටක්. දූපතක් වන රටට වෛරසය නොගෙන්වාගෙන කටයුතු කිරීමට තිබූ හැකියාවන් මඟහරවාගෙන දැන් ලෝකයට ණය වී රටේ මිනිසුන් සියලුදෙනා පීඩාවට පත්වෙන ලෙස, රටේ සියලු නිෂ්පාදන, පරිපාලන, අධ්‍යාපන සහ සමාජ කටයුතු අඬපණ කරගෙන අප මේ ව්‍යසනයට මුහුණ දෙමින් සිටිනවා," යනුවෙන් ද සඳහන් කළාය.

"ඇත්තටම හදිසි වසංගත තත්ත්වයකදී රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් සහ පරිපාලන යන්ත්‍රයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම අභාග්‍යයක්. මේ වෙලාවෙ ජනතාව ඉතාමත් කල්පනාකාරී විය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ප්‍රවාහයන් උත්කර්ෂයට නොනංවා රටේ දීර්ඝකාලීන සුභසිද්ධිය ගැන විවෘතව සහ බුද්ධිමත්ව දකින්න. 

හදිසි අවස්ථාවකදී, විශේෂයෙන්ම වසංගත තත්ත්වයකදී විවිධ ක්ෂේත්‍ර පාලනය කිරීම සඳහා එක් එක් ක්ෂේත්‍ර වලට අදාල විශේෂඥයින්ගේ සහය ගන්න ඕනේ. වෛද්‍යවරුන්ගේ සංගමයත් මේක පැහැදිලි කරලා තිබුණා. ඇඳිරි නීති තත්ත්වයක් කියන්නෙ රටේ විවිධ ක්ෂේත්‍ර වල බිද වැටීමක්, එහිදී සමාජයේ වඩාත්ම ආන්තික කොටස් වඩා වැඩි පීඩාවකට ලක්වෙනවා. මේ වෙලාවෙ නීති ක්‍රියාත්මක කිරීමට එහා ගිය සමාජ ආර්ථික කළමනාකරණයක් සහ පරිපාලනයක් අවශ්‍ය වෙනවා. ඒ සේරම හමුදාව මඟින් පමණක් කරන්න පුළුවන් නම් රටට අනෙකුත් වෘත්තිකයින් අවශ්‍ය වන්නේ නෑ."

 

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ?

පාර්ලිමේන්තුව යළි කැඳවන මෙන් කරන ඉල්ලීම සහ ව්‍යසනයක් අවස්ථාවේ මැතිවරණය කල් නොදැමීම සම්බන්ධයෙන් එල්ලවන විවේචන පිළිබඳව විමසීම පිණිස ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විමසා ප්‍රතිචාරය දැක්වීමට උත්සහ කරන බවය.

කෝවිඩ්19 වසංගතය සම්බන්ධයෙන් ක්‍රියා කරන කාර්ය සාධක බලකාය පිළිබඳව එල්ලවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් මොහාන් සමරනායක සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් මේ වනවිට කාර්ය සාධක බලකා කිහිපයක්ම පත් කරනු ලැබ තිබෙන අතර ඒ අතරින් බලකා කිහිපයකම ප්‍රධානත්වය හිමිවන්නේ සිවිල් සහ සෞඛ්‍ය බලධාරීන්ට බවය.

විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත් ප්‍රධානම කාර්ය සාධක බලකාය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බව ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 100 ක් යොදවා "කෝවිඩ්19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල" පිහිටුවන ලද බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)


සබැඳි පුවත් :

මනාප ගන්න 'කොරෝනා බඩු මලු බෙදීම' නීති විරෝධියි! - ''නාමයෝජනා අවලංගු කර මැතිවරණ බාධා ඉවත් කරන්න: සියලු පක්ෂවල මහජන නියෝජිතයින්ට සම අවස්ථාව දෙන්න'' -මැතිවරණ කොමිසමට බලපෑම්!!


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්