පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ වගකීමක් යැයි 'පිවිතුරු හෙළ උරුමය' නායක නීතිඥ උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී අද (07) පැවසීය
අදාළ එම වාර්තා අධ්‍යයනය කොට ජනාධිපතිවරයා කටුවාපිටියට ගියේ නම් එහිදි වින්දිතයන් ඇසූ ප්‍රශ්නවලට වැනෙන පිළිතුරු නොදී සෘජු පිළිතුරු ලබා දිය හැකිව තිබුනේ යැයිද ගම්මන්පිල කීය.
මෙම මාධ්‍ය හමුව පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේද කීය.
''ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා.
චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද ?
අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ.
බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය !
ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ.
ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිලිතුරු දෙන්න තිබුණා. මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න. ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න. පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.
ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි. ඒත් කටුවාපිටියේ යනකොටවත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නෑ. මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට විතරක් නොවේ සමස්ත ජාතියටම අයිතියක් තිබෙනවා.
හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු. වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිසම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍යද? නැති නම් මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? “රනිල් ගිහින් රනිල් ඇවිත්” කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක් විය හැකි බවද හෙතෙම පැවසීය .
(lankadeepa.lk - ආරියරත්න රණබාහු)







