මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා රජයේ නිසි අවධානය යොමුවිය යුතු බවත්, රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති තුළින් මේ රටේ නිර්මාණය වුණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා තම පක්ෂය
උපරිම දායකත්වය ලබා දෙන බවත් 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස එබව පවසන්නේ අන්තර් ජාලය ඔස්සේ අද (16) දිනයේ වීඩියෝවක් මුදාහරිමිනි.
ඇඟලුම් නිෂ්පාදනය, මෝස්‌තරකරණය සහ අපනයනය ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රධානතම අංගයක් වේ.
පසුගිය කාලය තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලබන ආදායමට අතිරේකව ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයනු ලබන ප්‍රමුඛතම ආර්ථිකය වුණේ ඇඟලුම් කර්මාන්ත ය. එමගින් නව දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත රැකියා නිර්මාණය කිරීමක් ද සිදුවිය.
එම තීරණාත්මක අපනයන ආර්ථිකය රටට අහිමිවීමත් සමඟ මතුව ඇති ඊළඟ අභියෝගය වන්නේ එම ක්‍ෂේත්‍රයේ රැකියාවන්හි නිරතවෙමින් සිටි, විශේෂයෙන්ම ග්‍රාමීය පළාත්වලින් කර්මාන්තයට හවුල් වූ ඇඟලුම් සේවිකාවන් සහ වෙනත් ශ්‍රමිකයන් මුහුණ දී ඇති ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවයට අදාළ ගැටලුවය.
ශ්‍රී ලංකාව තුළ දහසකට ආසන්න ඇඟලුම් කම්හල් නිෂ්පාදන කාර්යයේ නිරතවෙමින් ඇති බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
ඊට අතිරේකව ශ්‍රී ලාංකික ඇඟලුම් ව්‍යාපාරිකයෝ මාලදිවයින, සිංගප්පූරුව සහ බංග්ලාදේශය වැනි රටවලද ව්‍යාපාරික කටයුතුවල නිරත වෙති.
''අපේ රටේ ආර්ථිකයට වැදගත්ම දායකත්වයක්, ජීවනාලියක්''
රණසිංහ ප්‍රේමදාස යුගයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනක්...
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ඉතිහාසය සිහිපත් කරමින් සජිත් ප්‍රේමදාස එම වීඩියෝ හරහා තවදුරටත් මෙසේද පවසයි.
''අපේ රටේ ආර්ථිකයට වැදගත්ම දායකත්වයක්, ජීවනාලියක් ලබා දෙන්නේ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය. රණසිංහ ප්‍රේමදාස යුගයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනෙන් ශක්තිය ලබපු මේ කර්මාන්තය අද වෙනවිට දැවැන්ත පරිහානියකට ලක්වෙලා තිබෙනවා.
මතක තබා ගන්න මේ රටේ ලක්ෂ හතරක් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියාව කරනවා. මුලුමනින්ම ගත් කළ ලක්ෂ විස්සක් ජීවනෝපාය ලබනවා සෘජුව සහ වක්‍රව. ඒ වගේම මේ කර්මාන්තයෙන් යැපෙනවා.
අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට ඇඟලුම් කර්මාන්තය ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය 5.07%. ඒ වගේම අපේ රටට විදේශ විනිමය ලබා දීමේදී පහුගිය කාලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.06 ක විදේශ විනිමයක් අපේ රටට ලබා ගන්නට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය සමත් වුනා.
නමුත් අද වෙනවිට මේ ක්ෂේත්‍රය බරපතල හානියකට බරපතල කේදවාචකයකට ලක්වෙලා තිබෙනවා. අපේ නිෂ්පාදනවලට අපේ අපනයනවලට ඒ ලබාදුන්නු භාණ්ඩවලට මේ වන විටත් මුදල් ලැබිලා නැහැ. ඒ වගේම අනාගත ඇනවුම් අපේ කර්මාන්තශාලාවලට ලැබිලත් නැහැ.
ඒ නිසා විශේෂයෙන්ම මේ ඛේදවාචකය තුළ අපි රටක් හැටියට උපක්‍රමශීලීව රටේ ආර්ථික ජීවනාලිය වන ඇඟලුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරන්නට අපි මැදිහත් වන්නට ඕනේ.
''මාස තුනකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.05 ක අපනයන අහිමි වෙලා ''
මතක තබා ගන්න ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන් කියන ආකාරයට අප්‍රේල් - මැයි -ජූනි යන මාස තුනෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.05 ක අපනයන අහිමි වුනා. ජූනි මාසයෙන් පස්සේ තවත් සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක අපනයන වෙළෙඳපොළ අපට අහිමි වෙනවා කියලා ඒ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ එම සංගමය අපට පෙන්වා දීලා තිබෙනවා.
එය එසේ සිදුවෙනකොට කාම්බෝජය වියට්නාමය ඉන්දුනීසියාව, ඒ රටවලට කර්මාන්තශාලා ක්‍රියාත්මක වෙනවා, බොහොම විවෘතව ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අය උත්සාහ දරනවා අපේ රටේ අපනයන වෙළෙඳපොළවල් ඩැහැගන්න.
එය එසේ සිදුවුනෝත් ඇත්තෙන්ම අපේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයට මහා බරපතල තත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා.
මෙන්න මේ වගේ තත්වයක් තුළ සෘජුවම රජය මැදිහත් වෙලා මේ කර්මාන්තශාලාවල සේවය කරන ඒ කම්කරු ප්‍රජාවට, විශේෂයෙන්ම කාන්තා ප්‍රජාව, වැටුප් ලබාදීම සඳහා රාජ්‍ය ආධාර මැදිහත්වීමක් සිදුවිය යුතුමයි.
''අලුත් ආර්ථික ක්‍රමෝපායක් නිර්මාණය කරන්නට ඕනේ''
ඒ වගේම අපේ අපනයන වෙළෙඳපොළවල් රැකගැනීම සඳහා අලුත් ආර්ථික ක්‍රමෝපායක් නිර්මාණය කරන්නට ඕනේ. ඒ වගේම මේ කර්මාන්තශාලා පනගන්වලා ක්‍රියාත්මක කිරීම උදෙසා සහන නය වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕනේ.
ඒ වගේම මේ කර්මාන්තශාලාවලට අවශ්‍ය මූල්‍ය ද්‍රවශීලීත්වය, (Financial liquidity) එක ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. මීටත් වඩා මේ රජය මැදිහත්වෙලා මේ ක්ෂේත්‍රයට උපරිම ජවය ලබා දෙන්නට ඕනේ. මේක රැකගන්නට ඕනේ.
පිටරටවල් බලාගෙන ඉන්නවා අපේ ශක්තිය ඩැහැගන්න. ඒකට ඉඩ තබන්නට හොඳ නැහැ. අපිට ඉතාමත්ම ප්‍රගතශීලී ඒ වගේම ශක්තිමත් අපනයන වැඩසටහනක් ඕනේ. ඒ සඳහා දැවැන්ත ක්‍රියාකාරී වැපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන්නට ඕනේ.
ඒ අලුත් වැඩපිළිවෙළ සඳහා විපක්ෂයක් හැටියට අපේ දායකත්වය ශක්තිය අපි උපරිමයෙන්ම දෙන්නට අපි ලැහැස්තියි.
රණසිංහ ප්‍රේමදාස ප්‍රතිපත්ති තුළින් මේ රටේ නිර්මාණය වුණ ඒ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දෙනවායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ.''
වීඩියෝ
කොරෝනා නිසා දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ වැටෙන හැටි...
සමගි ජන බලවේගයේ නායකයා, මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් එවැනි විග්‍රහයක් කරන්නේ, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනාවෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සමුළුවේ මහා ලේකම් ටියුලි කුරේ අවධාරණය කරමින් සිටිය දිය.
බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී ටියුලි කුරේ ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කලේ මෙසේය.
"දැනට පවතින වාතාවරණය තුළ ප්‍රශ්නය මාසතුනක පමණ කාලයකට බලපානවා. බලාපොරොත්තු වූ ආදායම රුපියල් බිලියන1.5ක්. එය නැතිවෙනවා. ඊටත් වඩා ප්‍රශ්නවලට ප්‍රශ්නය බරපතල වීමේ ඉඩකඩක් තියෙනවා''
''දැනට පෙනෙන හැටියට රට තුළ බලපැවැත්වීමට අවශ්‍ය ඇඳිරි නීතිය හේතුවෙන් වැඩ පටන්ගන්න බැරි තත්ත්වයක් පවතින්නේ. ලෝක තත්ත්වය අනුව ඇණවුම් අවලංගු කරන්න සිද්ධ වෙනවා''
එසේම ලෝකයේ පවතින ආර්ථික වාතාවරණය අනුව දැනට ලැබී ඇති ඇණවුම් අවලංගු කිරීමට සිදුවිය හැකි බවත් ඔහු පවසයි.
ඇඟලුම් ව්‍යාපාරික ලෝකයම අනතුරක:
ශ්‍රී ලංකාව පමණක් නොව රටවල් කිහිපයක ජනගහනයෙන් සැලකිය යුතු අනුපාතයක් සම්බන්ධ නිෂ්පාදන ක්‍ෂේත්‍රයක් වන ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවලටත් කොරෝනා වෛරස් උවදුරත් සමඟ එල්ල වී පවතින්නේ නරක කාලයකි.
''අපේ ඇඟලුම් සේවක - සේවිකාවන් කොරෝනා වෛරසයෙන් බේරුනත් , ඔවුන් බඩගින්නෙන් මරණයට පත්විය හැකි අනතුරක් පවතිනවා'' ඉන්දියාවේ 'Ambattur Fashion' ඇඟලුම් ව්‍යාපාරයේ හිමිකරු වන විජේ මහ්තානි එම අනතුර ඇඟවීම කරන්නේ කර්මාන්තය කඩා වැටී පවතින තත්ත්වය සංකේතවත් කරමිනි.
එම ඇඟලුම් ව්‍යාපාරයේ රැකියා කරන ශ්‍රමිකයන් 18,000 කි. ඉන්දියාව, බංග්ලාදේශය සහ ජෝර්දානය යන රටවල් තුනේ ඔවුන්ගේ ඇඟලුම් නිමැවුම්හල් ක්‍රියාත්මක වේ.
එම කම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් දැනටමත් වසා දමනු ලැබ ඇති අතර, මේ මොහොතේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි කම්හල පමණක් අර්ධ මට්ටමින් ක්‍රියාත්මක වේ.
ව්‍යාපාරික ප්‍රජාව පවසන පරිදි සේවක වැටුප් ගෙවීම අසීරු අඩියකට පත්ව තිබෙන්නේ ඔවුන්ගේ රටවල පවතින කොරෝනා වෛරසය නිසාම නොවේ. ප්‍රධාන ගැටලුවවී තිබෙන්නේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි ප්‍රධාන ගැනුම්කරුවන් විසින් සාධාරණ නොවන කොන්දේසි පනවනු ලැබීමය. එම කොන්දේසි මූල්‍ය ගනුදෙනුවලට අදාළ වේ.
කොරෝනාවෛරසයට සම්බන්ධ ප්‍රධාන කරුණු දෙකක් ඇඟලුම් ක්‍ෂේත්‍රයට තදින් බලපෑම් එල්ල කරයි.
එම ප්‍රශ්න ආරම්භ වුණේ පසුගිය පෙබරවාරි මාසයේ දී චීනයෙන් මිළදී ගනු ලබන රෙදි තොග නොලැබීමත් සමඟය. චීනය රෙදිපිළි ආපනයනය කරන ප්‍රධාන රටයි. 2018 දී සිදුකරන ලද විගණනය අනුව, එය මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 118 තරමේ වෙළෙඳ ගනුදෙනුවකි.
වැඩි ශ්‍රමිකයන් කාන්තාවන්:
පෙබරවාරියෙන් අනතුරුව මෑත සතිවල චීනයේ රෙදිපිළි නිපදවන සමාගම් යළි විවෘත කරන ලද නමුත් වෙනත් පැත්තකින් ප්‍රශ්නය මතු විය. චීනයේ නිෂ්පාදනය ආරම්භ වීමත් සමඟ ඇඟලුම් අංශයෙහි නිෂ්පාදකයන් අතර අලුත් බලාපොරොත්තුවක් දල්වන ලද නමුත් කොරෝනාවෛරසයට ගොදුරු වූ ලෝකය පුරා රටවල් 'ලොක්ඩවුන්' වීමත් සමන් අතරමැදි ව්‍යාපාරිකයන්ට යළිත් ඔවුන්ගේ කම්හල්වල දොරටු වසා දැමීමට සිදුවිය.
චීනය 'ලෝක කර්මාන්ත ශාලාව'' ලෙස පිළිගැනීමට ලක්වෙනවා විය හැකිය. එහෙත් රෙදිපිළි කර්මාන්තය අතින් ගත්විට බංග්ලාදේශය-ඉන්දුනීසියාව-කාම්බෝජය- වියට්නාමය සහ මැලේසියාව යන වේගයෙන් වර්ධනය වෙමින් පවතින රටවල් විසින් භූමිකාවක් ඉටු කරනු ලබයි.
එහි අදහස ඇඟලුම් නිමැවුම් කර්මාන්තය අතින්, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත බොහෝ ආසියානු රටවල් විශාල සැපයුම් මගින් එම කර්මාන්තයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන බවය.
බංග්ලාදේශය සහ වියට්නාමය ලෝකයේ රෙදිපිළි අපනයනය කරන ප්‍රධාන රටවල් හතර අතරට එක්ව සිටින බව ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි. වෙළෙඳපොළ සහභාගිත්වය අතින් බංග්ලාදේශය 6.7% ක නිෂ්පාදනයක් එක්කරනු ලබයි. ඊළඟ ස්ථානය හිමිවන්නේ 5.7% ක අපනයන ලෝක වෙළෙඳපොළට එක්කරනු ලබන වියට්නාමයට ය.
බංග්ලාදේශයේ ඇඟලුම් අංශයේ වෘත්තිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතළිහකට වැඩි වේ. පසුගිය වසරේ ඔවුන්ගේ අපනයන ආර්ථිකයෙහි 90%කට අධික සැපයුම් ධාරිතාවක් වාර්තා කරන ලද්දේ ඇඟලුම් නිෂ්පාදන අංශයෙනි.
ඩෙලවෙයා සරසවියේ මෝස්‌තර සහ ඇඟලුම් පිළිබඳ අධ්‍යනාංශයේ, ෂෙන් ලු (Sheng Lu ) පවසන පරිදි, කාම්බෝජයේ සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේත් 60%ට අධික අපනයන භාණ්ඩ වන්නේ ඇඟලුම් නිෂ්පාදනයන්ය.
මෙම කර්මාන්තයේ නිරතවූවන්ගෙන් විශේෂ වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන්නේ කාන්තාවන් විසිනි.
සහකාර මහාචාර්ය ෂෙන් ලු පවසන ආකාරයට - කොරෝනා වෛරසය කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල ඇඟලුම් අංශයේ රැකියා 4% පටන් 9% තෙක් වන අනුපාතයකින් කප්පාදු කිරීමට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ ද බොහෝ ඇඟලුම් කම්හල් වසා දමන ලද අතර, කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් වශයෙන් රටේ බොහෝ පළාත්වල ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ ශ්‍රමික කාන්තාවන් ඔවුන්ගේ ගම්බිම් කරා පිටත්කර හරිනු ලැබිණි.
මෙම දුෂ්කර මොහොතේ සිය රටේ ආර්ථිකයේ තීරණාත්මක අංශය වන ඇඟලුම් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට බංග්ලාදේශ් ආණ්ඩුව ඉදිරිපත්ව සිටී.
බංග්ලාදේශ් ආණ්ඩුවේ අනුග්‍රාහක දිරිගැන්වීමේ පැකේජයට සහන වැටුපක්, ශ්‍රමිකයන්ගේ කෙටිකාලීන ණය දිගුකාලීන ණය බවට පරිවර්තනය කරනු ලැබීම සහ සාධාරණ පොලියක් අය කරනු ලැබීම යන කරුණු ඇතුළත් වේ.
'ස්පැරෝ ඇපරල් බංග්ලාදේශ්' ඇඟලුම් ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂෝන් ඉස්ලාම් අදහස් දක්වමින් ''මුහුණ දී ඇති කුණාටුවට එය ප්‍රමාණවත් නොවන නමුත් එමගින් එක්තරා සහනයක් ලැබෙන'' බව සඳහන් කළේය.
ශ්‍රමිකයන්ට සහන වැටුප් සැලැස්මක් යෝජනා කරන කාම්බෝජ ආණ්ඩුව, ඇඟලුම් කර්මාන්තකරුවන්ට බදු විරාමයක් (tax holidays) ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
සූරාගත් ශ්‍රමයට දැන් ගෙවන්න:
කොරෝනා වෛරසයේ ප්‍රතිවිපාකයක් වශයෙන් ශ්‍රම හිඟය, අමුද්‍රව්‍ය සඳහා ඇති මිල ඉහළයාම සහ නිෂ්පාදන ධාරිතාව ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු රාශියකට ඉදිරිකාලයෙහි මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි සහකාර මහාචාර්ය ලූ පුරෝකථනය කරයි.
එල්ල වෙමින් පැවති දැඩි විවේචන සහ බලපෑම හමුවේ, 'H&M' සහ 'Zara' මෝස්‌තර ව්‍යාපාරයට අයත් 'Inditex' සමාගම ඔවුන් විසින් ඇණවුම් කරනු ලැබ තිබූ නිෂ්පාදන වෙනුවෙන් ඇඟලුම් කම්හල්වලට කලින් ගිවිසගත් ගෙවීම කිරීමට එකඟව සිටිති.
''කිසිදු සමාජමය සුරක්ෂිතභාවයක් සහතික කරනු ලැබීමකින් තොරව,වෙළෙඳ සමාගම් අවුරුදු ගණනාවක් දුප්පත් රටවල ශ්‍රමිකයන්ගෙන් අඩු මිලට වැඩ ගනිමින් විශාල ලාභ ලැබුවා. එම මෝස්‌තර ව්‍යාපාරය මගින් විශාල වෙළෙඳ අධිරාජ්‍ය ගොඩ නැගුණා'' කම්කරු අයිතිය වෙනුවෙන් පෙනී සිටින 'Labour Behind the Label' සංවිධානයේ ඩොමිනික් මුලර් පෙන්වා දෙයි.
''අවුරුදු ගණනාවක් සිදුකරන ලද ශ්‍රම සූරාකෑම වෙනුවෙන් එම කම්කරුවන්ගේ පැවැත්ම සඳහා දැන් ආපසු ගෙවීමක් සිදුකළ යුතුයි''
කම්හල් හිමියකු වන අමිත් මහ්තානි එම ප්‍රකාශය සමඟ එකඟ වේ.
එසේ නොකළොත් කර්මාන්තය සහමුලින්ම බිඳ වැටෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීමක් ද කළේය.
(උපුටා ගැනීම් : බීබීසී සිංහල සේවය)







