අද (අප්‍රේල් 18 සෙනසුරාදා ) 'ලංකාදීප' පුවත්පතේ හි 'කොරෝනා අවදානම ඉවරයි' යනුවෙන් පළකර ඇති ප්‍රධාන සිරස්තලය, ආණ්ඩුවට හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ජනතා මනස සැකසීම
සඳහා ම පළ කරවන ලද්දක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයකට ලක්වෙමින් තිබේ.
ආණ්ඩුවේ හා ආණ්ඩුවට හිතවත් සියලුම පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයන් හරහා එම පුවත් සිරස්තලය වඩාත් ඉස්මතු කරමින්, අද උදැසන පුළුල් ප්‍රචාරයක් ලබාදෙනු ලැබුවේ, එම නාලිකා වල 'පුවත් සිරස්තල' වැඩසටහන් හරහාය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයක් ඉදිරිපත් කළ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.
''අද ලංකාදීපේ සිරස්තල වුනේ "කොරෝනා අවදානම ඉවරයි" කියලා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා පැවසු බවයි. ඒ ප්‍රකාශය වැරදි බව එතුමා විසින්ම අද ප්‍රකාශයක් කලා. කොරනා වසංගතය යම් තාක් ශ්‍රී ලංකාව තුළ පාලනය වී ඇත්නම් ඊට හේතුව මේ පනවා තියෙන ඇදිරි නිතිය සහ පනවා ඇති සමාජ සීමාවන්. නමුත් ඒ සිමාවන් ඉවත් කලොත් දැනට පාලනය වී ඇති වසංගතය නැවත සමාජය තුල පැතිරෙනවා.
ඒ වගේම කොරෝනා රෝගය ගැන බොරු කීවාම මිනිස්සු හිරේ දානවා. දැන් පොලිස්පති තුමා මේ ගැන අවදානය යොමු කල යුතුයි. මේ සාවද්‍ය පුවත ලියන ලංකාදීප පත්තරේ කතෘට ඒ නිතිය වලංගු නැද්ද?''
මින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාදීප පුවත්පතට එරෙහිව බරපතල විවේචනයක් එල්ල වූ අතර ඇතැමුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ කෙරෙහි ද සැක මතුකර තිබිණ.
වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රතිචාරය මෙන්න
එම තත්වය තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් 'ලංකාදීප' පුවත් වාර්තාව හා කොවිඩ් 19 අවධානමේ වර්තමාන තත්වය පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදු කර තිබුනේ මෙසේය.
"ශ්‍රී ලංකාවේ කොරෝනා අවධානම පහව ගොස් ඇති බවට , ප්‍රකාශ කළ බවට අද දින ප්‍රධාන පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස සටහන් වෙලා තියෙනවා. මේ ශීර්ෂ පාඨය ප්‍රධාන වශයෙන්ම වැරදි සහගතයි. නමුත් එහි අභ්‍යන්තරය කියවන විට පැහැදිළි වෙනවා මේ කරනු ලැබූ ප්‍රකාශය කුමක්ද කියන එක.
ඇත්තවශයෙන්ම ගතහොත් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රජා පැතිරීමක්, සමාජ පැතිරීමක්, එහෙමත් නැත්නම් Social Transmission තත්වයක් ඇත්තේ නැහැ. එය ඇත්ත වශයෙන්ම ඒ කියන Clusters වලට සීමා වෙලා තියෙනවා. ඒ සීමා වීම ඇති කරනු ලැබුවේ දිගින් දිගටම ගනු ලැබූ ක්‍රියාමාර්ග ඔස්සේ.
එතකොට මේ තත්වය තුළ අපට කියන්න බැහැ කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව. ඒ පුවත්පතේම ඒ සටහනේ සඳහන් වෙනවා කොරෝනා අවධානම සම්බන්ධයෙන් ඉදිරියටත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු සියලු අංශ ගෙන යන වැඩපිළිවෙළ දිගටම රැගෙන යන බවට.
එය නිවැරදියි. ඒ අනුව අප විසින් ගෙන යනු ලැබූ වැඩපිළිවෙළ මේ රට විවෘත වීමක් ඇති වුවද දිගින් දිගටම පවත්වාගෙන යා යුතු වෙනවා. මොකද මේ අවධානම තවදුරටත් පවතින බැවින්.
කෙසේ වෙතත් අපට ප්‍රකාශ කරන්න පුලුවන් මේ රටේ කොවිඩ් 19 තත්වය මේ වන විට පාලනයට නතුකරගෙන ඇති බව. ඒ පාලනයට නතු කිරීම යන්නෙන් අදහස් වන්නේ අවධානම නැත කියන එක නොවේ. අවධානමක් පවතිනවා. නමුත් මේ පවතින පාලනය තවදුරටත් ගෙන යාමෙන් මේ කියන අවධානම් තත්වය සම්පූර්ණයෙන්ම ඉදිරියට පහ කර ගැනීමට යම්කිසි කාලයක කාලසීමාවක් තුළ හැකියාව ලැබෙයි"







