"ඇදිරි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාෆියාව ලැබූ අන්ත පරාජයක් බව" රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
"පාදෙණියලා හැදුවේ ආණ්ඩුව බය කරලා, ඔක්කොම අවුල් කරන්න. මුලින්ම ඇවිත් බොරුවට බය කරලා අනවශ්‍ය 'ලොක් ඩවුන්' එකකට යන්න ආණ්ඩුව පෙළඹුවා. ලංකාවට ඕන ලොක් ඩවුන් එකක් නෙමෙයි, සමාජ දුරස්ථභාවය තියාගෙන රටේ ආර්ථිකය දිගටම ගෙන යන ක්‍රමයක්.
පහුගිය දවස් ටිකේ පාදෙණියලාව ජනාධිපති කාර්යාලය පැත්ත පලාතේ දැක්කේ නෑ. මුල් කාලයේ ජනාධිපති කාර්‍යාලයේ දෙවැනි, තුන්වැනි මට්ටමේ නිලධාරීන් කීප දෙනෙක් අල්ල ගෙන වෙන කාටවත් ලං වෙන්න නොදී මාෆියාවක් තියාගෙන හිටියා. දැන් ඒ මාෆියාව ඉවරයි" යයි theleader.lk වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය බෙල්ලන මෙසේද සඳහන් කළේය.
"එයාලා කියනවා එයාලට වසංගත රෝග අංශයෙන් දත්ත දෙන්නේ නැතිලු. එයාලා කවුද දත්ත දෙන්න. එයාලා වෘත්තීය සමිතියක්. වෘත්තීය සමිති එක්ක ආණ්ඩුවේ දත්ත බෙදා ගන්න ආණ්ඩුවට පිස්සුද? එහෙම වුණොත් අනික් වෘත්තීය සමිති එක්කත් ආණ්ඩුවේ දත්ත බෙදා ගන්න වෙනවානේ."
GMOA එක වෘත්තීය සමිති පණතේ සීමා වලින් එහාට ගිහින් වැඩ කරන්නේ. ආයතන සංග්‍රහයේ සහ වෘත්තීය සමිති පණතේ සීමා වලට මේ අය කොටු කරගත්තේ නැති නම්, ආණ්ඩුව ඒ අයට දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගෙදර යන එක හොදයි..
මේ අය වෘත්තීය සමිතියක් විදියට ඉල්ලන්නේ කම්කරු ඉල්ලීම් ද? ළමයා රෝයල් දාගන්න එකයි, වාහන පර්මිට් ගන්න එකයි, මේවාට නේ ලෙඩ්ඩුන්ගේ ජීවිත අවදානමට දාලා වර්ජනය කරන්නේයැ"යි ද වෛද්‍ය බෙල්ලන පැවසීය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රජයේ කොරෝනා මර්දන කමිටුවේ සාමාජිකයෙකු වන අතර, රසායනාගාර අධ්‍යක්ෂ ලෙස මිස, වෘත්තීය සමිති නායකයෙකු ලෙස තමා එම රැස්වීම් වලට සහභාගී නොවන බවද ඔහු අවධාරණය කළේය.







