මේ පිළිබඳ මාතෘකාව 2018 වර්ෂයේ දී කරළියට පැමිණි අතර එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර, ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය සඳහා නීති රාමූ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය කරළියට ගෙන එමින් නව පනත් කෙටුම්පතක් සෑදීමට අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යංශය වෙත ලබා දී තිබිණි.
වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි
කෙසේ වෙතත් වසර පහකට පසු එනම් 2023 නේ ඔක්තෝම්බර් මස 30 වන දින ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය රජය කටයුතු කර තිබිණි.
එහෙත් එම පනත් කෙටුම් පත සම්පාදනයකිරීමේ දී, එම පනතෙන් බලපෑමට ලක්වන පාර්ශ්ව සහ නියමිත ප්‍රවිචාරණයක් (consultation ) සිදු නොකර පනත ගෙනා බවට සමාජය තුළ විශාල කථිකාවක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එම පනත් කෙටුම්පතට එරෙහිව ක්ෂුද්‍ර මූල්‍යය වින්දිතයින්, ප්‍රජා මූල සංවිධාන ඇතුළු සිවිල් නියෝජිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාගයෙන් අවසානයේ දී පනතේ වගන්ති රාශියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු ලබාදුන් අතර පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් එම පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙස රජයට බලපෑම් එල්ල එල්ල විණි. ඒ අනුව එවක රජය විසින් පනත තාවකාලිකව හකුළා ගැනීමට කටයුතු කළේ ය.
මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක්

පසුව මෙම පනත් කෙටුම්පත පිළිබඳව නැවත අදහස් විමසීම සඳහා කමිටුවක් පත් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළේ ය.
ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න හා සෙසු සමාජිකයින් ලෙස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂිකා ලක්මිණි ගුණවර්ධන, මුදල් අමාත්‍යංශයයේ නීති නිලධාරීණී සුජීවා විජයලත්, ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නීති අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රියදර්ශනී, බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන අංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක තරංග විජයකෝන්, ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන සංගමය නියෝජනය කරමින් අනුර අතපත්තු, සිවිල් සංවිධාන නියෝජනය කරමින් රේණුකා භද්‍රකාන්ති, ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ සංගමය නියෝජනය කරමින් සුනෙත් අරුණ කුමාර හා ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය නියෝජනය කරමින් ආචාර්ය අමාලි වෙදගෙදර ඇතුළු නම දෙනෙකුගෙන් යුතුකමිටුවක් පත් කළේය.
සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳව වාර්තාවක්
මාස පහක පමණ සාකච්ඡාවලින් පසුව ඔවුන් විසින් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ යුතු සංශෝධන සහ සලකා බැලිය යුතු සංකල්පීය ප්‍රතිපත්ති පිළිබඳව වාර්තාව මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි වෙත භාරදීම ඊයේ දින සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නීති AKD ආරන්දර, කමිටුවේ කැඳවුම්කරු ලෙස ක්‍රියා කළ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ළසඳමලා මුහන්දිරම්ගේ සහ එම කාර්යාලයේ සංවර්ධන නිලධාරි එරන්දි පීරිස් සහභාගි වූහ.







