ඒ 1985 මැයි 15 වැනි දිනයි. එදින උදෑසන කාන්තාවන්, දරුවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් හැත්තෑ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
ඩෙල්ෆ්ට් දූවෙන් ''කුමුදිනී'' යාත්‍රාවට නැගුනේ යාපනය නගරයට ලගා වීමේ අරමුණෙනි. ඔවුන්ට නගරයෙන් ලබා ගැනීම සදහා බොහෝ අත්‍යාවශ්‍ය සේවා, බේත්හේත් හා තවත් කළමනා තිබෙන්නට ඇත. එසේ මුත් ඔවුන් බොහොමයකට යාපනය නගරයට ලඟා වීමේ ඉඩක් නොවි ය. ඉතිරි අයවලුන්ගේ ගමනාන්තය වූයේ ආරෝග්‍ය ශාලාවන් ය.

 


ඒ ඇයි?

මහමුහුද මැදදී නයිනතිව් (නාගදීප) නාවික කදවුරේ භටයන් යයි සැක කරන සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකට ''කුමුදිනී'' යාත්‍රාව මැදි  විය. මේ ප්‍රහාරයෙන් කාන්තාවන්, දරුවන් හා පිරිමින් ඇතුලත් 36 දෙනකුගේ දිවි අහිමි විය. විසි දෙනෙක් බරපතල ලෙස තුවාල ලැබූහ. මෙතැනදී මිය ගිය 23 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මගින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබුණි.

 මෙහි දී මහත් වූ අවාසනාව වන්නේ මේ මලවුන් කිසිවකු තම දිවි තොර කරනු ලැබීමේ හේතුවක් නොදැන සිටීම ය. එසේ ම අනෙක් අතට ඔවුන් මරණයට පත් කළවුන් තමන් මේ ගැහැණුන් දරුවන් හා පිරිමින්ගෙන් සැදුම් ලත් පිරිසගේ දිවි තොර වන්නේ ය යි පෙනී පෙනී, ඔවුන්  ගිනි අවි, තියුණු මන්නා හා අත් පොරව ආදිය යොදා ගෙන ප්‍රහාරයට ලක් කරන්නේ කුමන හේතුවක් නිසා දෝයි සවිඥානකව සිටි බවක් දැන ගැනීමට නොතිබී ම ය. මේ ඝාතකයන් පෙළන ලද්දේ කුමන නම් වියරුවකින් ද?

 මේ සිදුවීම් මධ්‍යයේ මගී යාත්‍රාව යාපන වෙරළට ලඟා වන විට එදින සැන්දෑව එළඹී තිබිනි. එතෙක් දිවි රැකගෙන සිටි, මරුමුවට පත් වීමට පෙර ආරෝග්‍යශාලාවක් වෙත ගෙන යනු ලැබීමට තරම් වාසනාවන්ත වීමෙන් යන්තමින් දිවි ගැලවුනු වින්දිතයන්ගේ අත්දුටු කතාන්දර බොහොමයකි. ඒ කතා අනුව පෙනෙන්නේ

 
 
දෙමළ නම් මරණය ද?
 

Kumudini massacre 1985 jaffna

මේ මගී යාත්‍රාවට ඇතුල් වූ නාවික හමුදා සාමාජිකයන්යන් යැයි සැක කරන පිරිස් සරල ප්‍රශ්න දෙක තුනක් පමණක් නගා ඇති බවයි. එනම්,  “නුඹලා අතර කථා කිරීමට දන්නා අය සිටී ද? යන්නේ කොහාට ද? මොකට ද?” ආදී ලෙසිනි. අනතුරුව සැමට තම තමන්ගේ නම් හා පදිංචිය හඩ නගා කිය ලෙස අණ ලැබී තිබේ. මේ කිසිවකින් ඇති පල ප්‍රයෝජනය කුමක් දැයි තමන්ට අවබෝධයක් නොවුන බව වින්දිතයකු ප්‍රකාශ කළේය.

 මේ ප්‍රශ්න වලට ලැබුණ පිළිතුරු වලින් ලැබෙන්නේ ඔවුන් දෙමළ ජාතිකයන් ය යන දත්තය පමණි. එසේ දැන ගැනීමත්, අනතුරුව මේ මාරාන්තික ප්‍රහාරය දියත් කිරීමත් අතර ඇති හේතු පල සම්බන්ධය කුමක් ද? ඝාතකයන් එකී දත්තය අනුව කුමන නම් හේතු පල නියමයක් සකසා ක්‍රියා කර ඇත් ද?  හේතුව දෙමළ වී නම් පලය නින්දිත මරණයකට සුදුසුකම් ලැබීම බවද? ඉන් මේ ජනතාවට ලබා දෙන ඥානය කෙවැනි ද? දෙමළ වීමේ කර්මය නිසා තමන් නින්දිත අයුරින් ඝාතනයට ලක් වීමේ ඵලයට උරුම කම් කියන බව ද?

 මේ ප්‍රහාරයට මුහුණ දී ආරෝග්‍ය ශාලාවේදී පියවි සිහිය ලත් අන්නලක්ෂ්මී සිවලිංගම් පළමුව විමසා ඇත්තේ තමන්ගේ ඇකයේ සිටි කුඩා දරුවා ගැනය.

 ''මම මගේ දරුවා සමග වාඩිවෙලා සිටිමින්ම මගේ හැදුනුම්පත නාවික භටයාට පෙන්නුවා. ඔහු මට වාඩිවෙලා ඉන්න එපා කියලා මාව උඩ තට්ටුවට අරගෙන ගියා. එක් නාවික භටයෙක් අතින් ඇදලා මට පිහියකින් ඇන්නා. ඉන් පසු සිද්ධ උනේ මොකක්ද කියා මට මතක නෑ. ඊලගට මට තේරුනේ මං ඉස්පිරිතාලෙක ඉන්න එකයි, මාව දම්වැලකින් තදින් ගැට ගසා තියෙන බවයි. මම මගේ දරුවා ගැන දිගටම ඇහුවා. එතන හිටපු අය කීවේ දරුවා ගෙදර ඉන්න බවත්, බොන්න එළකිරි දෙන බවත්. මට වෙලා තියෙන තුවාල හින්දා මට කට අරින්න පුලුවන් කමක් තිබුනේ නෑ. ඒ නිසා වසරකට වැඩි කාලයක් දියර කෑම වලින් තමා ජීවත් වුනේ. මගේ දරුවා මරා දාලා කියලා දැන ගත්තේ, සිදුවීමෙන් සුමාන හයකට විතර පස්සේ.''

 ඒ අතර කනපතිපිල්ලේ ආනන්දකුමාර් ආරෝග්‍යශාලාවේ දී පවසා ඇත්තේ ප්‍රහාරයට ලක් වූ තමන්ට සිහි  එළැඹුණේ දින හතරකට පසුව බවයි. එසේ ම තමන් එදා මෙදා තුර කිසිම වෘත්තියක යෙදීමට තරම් සුවයක් නොලද බවයි.

''ඒ ගොල්ලෝ අපිව නවත්තන කොට අපි හිටියේ බෝට්ටුවේ. එයාලා අපිට ඇතුලට යන්න කීවා. අපි ඇතුලට ගියාට පස්සේ අපිව කාමරයකට දාලා වැහුවා. අපෙන් අහුවා මේ ඉන්න අයගෙන් කවුරුහරි සිංහල දන්නවද කියල. කිහිපදෙනෙක් ඔව් කියමින් ඉදිරියට ගියා. අපි දන්නේ නෑ ඒ අයට මොනවා උනාද කියලා. අපි හිටපු  කාමරයට පිටින් AK (තුවක්කු) අතේ තියාගෙන නේවි එකේ දෙන්නෙක් හිටගෙන සිටියා. එලියේ තවත් දෙන්නෙක් සිටියා ග්‍රෙනේඩ් අරගෙන.

 ඒගොල්ලෝ ඇතුලේ හිටපු සැමට කීවා තම තමන්ගේ නම්  හයියෙන් කියන ලෙස. ඉතිං අපි හැමෝම එහෙම කළා. මේක කළේ ඒ ශබ්දය නිසා කාමරයේ සිදුවන දේවල් හංගන්න බව පෙනුනා. ඒගොල්ලෝ පිරිමින්ට බෝට්ටුවේ පිටිපස්සට යන්න කීවා. මම පසුපස දිහාට ඇවිදගෙන යන කොට මගේ නලලට පොල්ලකින් ගැහුවා. ඊට පස්සේ මොනවා උනාද කියා මම දන්නේ නෑ. මේ කාමරයේ අවුරුද්දටත් වඩා අඩු වයසේ ඉතා පුංචි දරුවනුත් සිටියා. එක මාස හයේ දරුවකුට පිහියෙන් ඇනලා මරා දැමුවා.  තවත් භීෂනකාරී ක්‍රියා අතරේ ගැහැනු ලමුන්ව දූෂණය කළා. පිරිමි මරා දැම්මා.''

 කනපතිපිල්ලේ ආනන්දකුමාර් හෙළි කළ තොරතුරු අනුව තවත් හේතු ඵල නියමයක් ජනිත වෙයි. එනම් දෙමළ වීමේ හේතුව සමග ගැහැණු ළමයකු වීමේ හේතුවද එක්වූ කල්හි ගැහැණු ළමයකු වීමෙන් දූෂණයත් දෙමළ වීම නිසා නින්දිත මරණයත් යන ද්විත්ව ඵලයන්ට උරුමකම් කියන බවයි.


අවි දැරීමට මග සෑදීම

මේ සමූලඝාතන සිදුවිම දැනගත් පසුව දෙමළ සමාජය විය යුතු පරිදි ම ශෝකයත් කෝපයත් මුසුවූ කම්පාවෙන් ඇලලී ගියේ ය. මේ සිදුවීම අහම්බයක් හෝ හුදකලා වූ වක් නොවී ය. මෙම ඝාතනය කිරීම 'කම්පනයට ලක් කළ සිදුවිමක්' වූ බව මීට අට වසරකට පෙර 2012 දී ඉරිදා ලංකාදීපයේ පලවූ DBS ජෙයරාජ් ගේ ලිපියක සදහන් ය. ෂර්මිලා හෙවත් අජන්තී යන යුවතිය පිළිබද කතාව හෙලි කරන මෙම ලිපිය මෙසේ ද කියයි. ''අහිංසක මිනිසුන් කුරීරු ලෙස ඝාතනය කිරීම ඇයව කම්පනය ලක් කළ සිදුවීමකි. 'කුමුදිනී' සිදුවිම ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ අතර අවිගෙන සටන් කිරීමට ඇය තීරණය කළේ මෙම සිදුවීමෙන් පසුවය''.

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා