2011 දී මාලනි ෆොන්සේකා රන්මැණිකා සාලියපුර දී හමුවූ අවස්ථාව ..
එදා සිනමාලෝලින්ගේ හද බැඳ ගත් සිරිපාල සහ රන්මැණිකා සිනමා පටයේ සැබෑ රන්මැණිකා පෙරේදා (02) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය. කලක් රෝගාතුරව සිටි රන්මැණිකා මිය යනවිට 88 වැනි වියේ පසු වූවාය.
70 දශකයේ ලාංකීය සමාජයේ දාමරික චරිතයක් ලෙස මුල්බැස ගත් ‘සිරිපාල‘ (දෙද්දුව ජයතුංගලාගේ සිරිපාලය) චරිතය වටා එවක ලංකාදීප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ ධර්මසිරි ගමගේ පුවත්පත් ලිපි පෙළක් සම්පාදනය කර තිබේ. එම කතාවැල ‘සිරිපාල සහ රන්මැණිකා‘ ලෙස චිත්‍රපටයක් බවට ගෙනාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලකයි.
රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනි ෆොන්සේකා මේ චරිත රඟපෑවා ය. එම චරිතය ආරූඪ කරගැනීම සඳහා රන්මැණිකා උපදෙස් රාශියක් දුන් බව 2011 අගොස්තු මාසයේ 21වැනි දින මාලනි ෆොන්සේකා රන්මැණිකා සාලියපුර දී හමුවෙමින් පැවසුවා ය.
අනුරාධපුර සාලියපුර පදිංචි රන්මැණිකාගේ දේහය මේ වන විට සාලියපුර, ගල්වල හන්දිය මැතිවරණ නිවාස 20 ගම්මානයේ පදිංචි ඇගේ දියණියකගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසාන කටයුතු අද (04) පස්වරු 1ට සාලියපුර පොදු සුසානභූමියේ දී සිදු කිරීමට නියමිත වේ.
(අනුරාධපුර සරත් මනුල වික්‍රම සහ චන්ද්‍රදාස මලවර ආරච්චි)







