‘රජමහා විහාර’ නාම පුවරු සවි කරමින් හමුදා දායකත්වයෙන් කන්කසන්තුරේ තයියට්ටියේ ඉදි කර ඇති විහාරස්ථානය ව්‍යාජයක් බව උතුරේ ප්‍රධානතම නාහිමියෝ වදාරති.
විහාරය ඉදිකළ භුමියේ සැබෑ හිමිකරුවන් එම ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජනතාව බව පිළිගන්නා උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන් එම අයිතිය තහවුරු කරදීමට ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ජාතීන් අතර ගැටුම් පුපුරා යාමේ අවදානමක් ගැන අනතුරු අඟවා තිබේ.
දෙමළ ජනයාට ඔප්පු ඇති ඉඩම් යුද්ධයෙන් අත්පත්කරගනිමින් ඉදිකර ඇති විහාරය සැබෑ තිස්ස විහාරය නොවන බවයි නාගදීප පුරාණ රජමහා විහාරාධිපති හා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් පවසන්නේ.
"ඇත්ත තිස්ස විහාරය තිබෙන්නේ දැන් තිබෙන ව්‍යාජ තිස්ස විහාරයට යාබදව. ඒ තිස්ස විහාරය අයිති නාගදීප විහාරස්ථානයට තමයි ඒ තිස්ස විහාරයේ අයිතිවාසිකම් තිබෙන්නේ. නමුත් දැන් තිස්ස විහාරය කියන කොටස අයිතිය තිබෙන්නේ කන්කසන්තුරේ තයියට්ටි ප්‍රදේශයේ සිටින සිවිල් ජනතාවට. ඒ යුද සමයේදී සිවිල් ජනතාවගේ ඉඩම් අත්පත්කරමින් අනවසරයෙන් ඉදිකරපු ස්ථානයක් තමයි ඔය තිස්ස විහාරය කියලා ව්‍යාජ තිස්ස විහාරයක් ආරම්භ කරලා තියෙන්නේ."
දශක පහකට වැඩි කාලයක් එම ප්‍රදේශයේ ජීවත් වන තමන් වහන්සේ තරම් වෙනත් කිසිදු බෞද්ධයකු ඒ සම්බන්ධයෙන් නොදන්නා බව පදුමකිත්ති තිස්ස නාහිමියන් විඩියෝ අනුශාසනාවක් නිකුත් කර ඇත්තේ, යුද හමුදා දායකත්වයෙන් ඉදි කළ යාපනය, කන්කසන්තුරය ඓතිහාසික තිස්ස රජමහා විහාරාධිපති සද්ධර්මකීර්ති ශ්‍රී, සාමවිනිසුරු (මුදි) පුජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන් වෙත අමරපුර ශ්‍රී කල්‍යාණවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් කොළඹදී පිරිනැමීමෙන් පසුවයි.
"අවුරුදු 53 ක් තිස්සේ ජීවත් උනේ මම මේ නාගදීප විහාරස්ථානයේ දෙමළ ජනතාවත් සමග මේ ප්‍රදේශයේම. මේ ප්‍රදේශයේ සෑම අපගේ සහෝදර ජනතාව දන්නවා නාගදීප විහාරස්ථානයේ හාමුදුරුවෝ කවුද කියන එක. අපි මෙතෙක් කාලයක් හිටියේ සමගියෙන්, සමාදානයෙන්. "
වර්තමානයේ උතුරට පිටතින් පැමිණෙන ස්වාමීන් වහන්සේලා දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලා ගනිමින් විහාරස්ථාන ඉදිකරන බව පිළිගන්නා උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ ඒ ‘නොකළ යුතු වැඩේ’ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ඉල්ලා සිටිති.
"දැන් ඇත්ත වශයෙන්ම හාමුදුරුවන් වහන්සේලා පැමිනිලා දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලමින් විහාරස්ථාන ඉදිකරමින් පවතිනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ඒක නොකළ යුතු වැඩක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා මේ කළබල වෙන්න එපා ජනතාව කවුරුත්. මේ ලංකාවාසී සියළුම ජනතාව කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන කම තියනවා. ඒ නිසා රජය මේකට ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරනවානම් හොඳයි කියලා තමයි මගේ අදහස."
සත්‍යය හෙළි කොටගෙන තිස්ස විහාරයේ ඉඩම් ගැටළුව සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගැනිම සම්බන්ධයෙන් කිසිදු ස්වාමීන් වහන්සේ නමක් හෝ රජය මේතාක් කටයුතු කර නැති බවටත් නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් එහිදී සඳහන් කර තිබුනි.
"ඒ වගේම තමයි මේ නාගදීප විහාරස්ථානයේ හාමුදුරුවොත් සමග මේක සාකච්ඡා කරනවානම් යම් කිසි තැනකට ඇවිල්ලා අන්න එතනින් අපිට ඔප්පු කරන්න පුළුවන් කම තියනවා මේක ව්‍යාජ ස්ථානයද එහෙම නැතිනම් සැබැ ස්ථානයද කියන එක. එහෙම කවදාවත් මම සම්බන්ධ කරගෙන කටයුතු කරේ නැ රජයෙන්වත්, ඒ වගේම අපේ හාමුදුරුවන් වහන්සේලාවත්. ඒ නිසා මේ සියළු දෙනා ඒකරාශි වෙලා මේකට විසදුමක් සෙවීම තමයි මුලික පරමාර්ථය වෙලා තියෙන්නේ මට. එතකොට අපිට අපේ ජනතාවත් එක්ක, මෙහේ ඉන්න දෙමළ සහෝදර ජනතාවත් සමග අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කම තියනවා."
තිස්ස විහාරයේ ඉඩම් ගැටළුව කඩිනම්න් නිරාකරණය කර ගැනීමක් සිදු නොවුනහොත් එය ප්‍රදේශයේ අනිකුත් බෞද්ධ විහාරස්ථාන කෙරෙහි අයහපත් ආකාරයකින් බලපෑ හැකි බවට නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ අනතුරු අගවති.
"මේ වගේ ගියොත් මේ විහාරස්ථානය මුල් කරගෙන මේ ප්‍රදේශයේ ඉන්න අනිත් හාමුදුරුවන් වහන්සේලාටත් ඒ වගේම මේ ප්‍රදේශයේ තිබෙන විහාරස්ථානවලට කවදාවත් ඉන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක සාමකාමීව විසදන්න නම් මේ රජයේ පින්වත් පිරිස අපේ ජනාධිපතිතුමාට මම කියන්නේ ජනාධිපතිතුමා මේකට මුල් වෙලා නාගදීප විහාරස්ථානයේ හාමුදුරුවන් වහන්සේ ඒ වගේම ඒ තයියට්ට් ප්‍රදේශයේ සිටින දෙමළ ජනතාව, ඉඩම් අයිති අය ඒ ගොල්ලන්ගේ ඔප්පු තිරප්පු හැමදෙයක්ම අරගෙන ඇවිල්ලා ඒ ගොල්ලන්ට ඔප්පු කරන්න පුළුවන් කම තිබෙනවා මටත් ඔප්පු කරන්න පුළුවන් කම තිබෙනවා නියම තිස්ස විහාරය කොහේද තියෙන්නේ කියන එක."
නාගදීප පුරාණ රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් එහිදී යළි යළිත් ජනාධිපතිවරයාට අනුශාසනා කර තිබුනේ එම ඉඩම් ගැටළුව ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් බවට පත් වීමට මත්තෙන් සාකච්ඡා මාර්ගයෙන් විසදාගැනීමට කටයුතු කරන ලෙසයි.
"විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් නැවතත් ඉල්ලා සිටිනවා මේ ගැන සාකච්ඡා කරලා විසදගන්න නැත්නම් ඉදිරියට මීට වැඩිය ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්."
තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට අමරපුර ශ්‍රී කල්‍යාණිවංස නිකායේ උත්තර ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබද ශ්‍රී සන්නස් පත්‍රය හා විජිනි පත පිලිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමියන් බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යවරයාද සහභාගී වූ උත්සව සභාව අමතමින් 2025 දෙසැම්බර් 21 වැනිදා අවධාරණය කර තිබුනේ තිස්ස විහාරයේ දෙමළ ජනයා අයිතිය කියා පාන භුමිය ඔවුන්ට නිදහස් කර දීම විහාරාධිපති හිමියන්ට සැබෑ ගෞරවයක් වන බවයි.
"ආයෙත් මාසෙකට පාරක් අර වගේ වීඩියෝස් වැටෙන් නැති වෙන්න මං හිතන්නේ තිස්ස විහාරේ ප්‍රශ්නෙත් අපේ ඇමැතිතුමා ඉන්නවා. අපට විසදගන්න පුළුවන්නම් බොහෝම හොදයි. ඕනෑම ගැටළුවක දෙපැත්තක් තියනවා. ඒ නිසා අපට පුළුවන්නම් ඒ දෙපාර්ශවයත් එක්ක අපිට කතා කරලා අපේ පන්සලට අවශ්‍ය කරන ප්‍රමාණවත් භුමි භාගයක් අපට අත් හැරීමට, පරිත්‍යාගය කියන එක අපේ බෞද්ධ දර්ශනයේ තියන දෙයක්. එහෙම අපිට අත් හරින්න පුළුවන් කොටසක් තියනවානම් ඒ ඉල්ලන අයට, දෙමළ ජනතාවට බාර දීලා මං හිතන්නේ අපට මේක විසදගන්න පුළුවන්නම් මුන් වහන්සේගේ නායක පදවිය ගත්ත දවසේ ඒක ලොකු ගෞරවයක්."
තිස්ස රජමහා විහාරස්ථානය ඉදි කර තිබෙන සිය ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලමින් 2023 වසරේ සිට සෑම මසකම පුර පොහොය දිනයේ විහාරස්ථානය සමීපයේ විරෝධතාවයේ නිරත දෙමළ ජනයා චෝදනා කරන්නේ දෙමළ පවුල් 14 ට අයත් පරප්පු 100 කට (අක්කර 6.2) ආසන්න භුමියක් බලහත්කාරයෙන් අත්පත්කර ගනිමින් යුද හමුදාව තිස්ස විහාරස්ථානය ඉදි කර ඇති බවයි.
“ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වෙතැ,” යි යුද හමුදාව පවසයි.
"කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය" 2023 අප්‍රේල් 27 වැනි දින සිදු කළ බව 2023 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිල පුවත් වෙබ් අඩවියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.
සබැඳි පුවතක් :
උතුරේ බලහත්කාරයෙන් විහාරයක් ඉදිකළ හිමිනමකට නාහිමි පදවියක්







