මහාචාර්ය එස්. පෝල් කපූර් දින 3ක නිල සංචාරයකට ලංකාවට පැමිණෙයි
ආරක්ෂිත සමුද්‍රීය කලාපයක් සහ කුඩා රාජ්‍යයන්ගේ භූමිකාව ගැන වොෂින්ටන් දෘෂ්ටිකෝණය එළියට
විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන් සහ ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාරික නායකයන් රැසක් එකම වේදිකාවකට
ට්‍රම්ප් පරිපාලනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධානී මෙන්ම ඇමරිකානු නාවික පශ්චාත් උපාධි පාසලේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ මහාචාර්ය ආචාර්ය එස්. පෝල් කපූර් වෙනුවෙන් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡා හමුවක් අද (23) කොළඹදී පැවැත්විණි.
ජූනි 21 සිට 24 දක්වා සිදුවන මෙම සංචාරය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එහා ගිය, කලාපීය භූ-දේශපාලන බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන අතර, මෙහිදී ඉන්දු-පැසිෆික් කලාපීය ආරක්ෂාව සහ සහයෝගිතාව පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.
මෙම හමුව සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රතිපත්ති විශේෂඥයන්, ප්‍රමුඛ ව්‍යාපාරික නායකයන්, සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අංශ නියෝජනය කරන පිරිස් සහභාගී වූ අතර, දේශීය හා කලාපීය වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් නිර්මාණාත්මක සංවාදයක නිරත විය.
මෙම අවස්ථාවේදී තම අදහස් දක්වමින් සහකාර රාජ්‍ය ලේකම් කපූර් , ආරක්ෂිත හා සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් ප්‍රවර්ධනය කිරීමේදී කුඩා සමුද්‍රීය රාජ්‍යයන්ගේ භූමිකාව පිළිබඳ සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. එමෙන්ම වර්තමාන භූ-දේශපාලනික හා ආර්ථික වර්ධනයන්, කලාපීය සම්බන්ධතා, සමුද්‍රීය ආරක්ෂාව, වෙළඳාම සහ වැඩිදියුණු කළ සහයෝගිතා අවස්ථා පිළිබඳව ද සාකච්ඡා සිදු විය.
මෙම හමුව, මතුවෙමින් පවතින අභියෝග, අවස්ථා සහ තිරසාර ආර්ථික වර්ධනයක් මෙන්ම කලාපීය ස්ථාවරත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට වේදිකාවක් බවට පත්විය. අන්තර්ක්‍රියාකාරී සංවාදය මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින ගතිකත්වයන්ට මුහුණ දීම සඳහා හවුල්කාරිත්වය, දැනුම හුවමාරුව සහ සහයෝගීතාවයේ වැදගත්කම මෙම අවස්ථාවේදී අවධාරණය කෙරින.
පාත්ෆයින්ඩර් පදනම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්වාධීන චින්තන කේන්ද්‍රයක් ලෙස අඛණ්ඩව කටයුතු කරමින්, ජාතික, කලාපීය සහ ගෝලීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ දැනුවත් සංවාද ප්‍රවර්ධනය කිරීම සහ අදහස් හුවමාරුවට පහසුකම් සැලසීම සිදු කරයි. එහි වැඩසටහන් සහ සම්බන්ධතා ක්‍රියාකාරකම් හරහා, ප්‍රතිපත්තිමය සංවාදවලට දායක වීමත්, වර්තමාන අභියෝග හා අවස්ථා පිළිබඳ අවබෝධය ශක්තිමත් කිරීමත් එහි අරමුණ වේ.
ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (වැඩ බලන) ඇන්තනී ප්‍රිනෝට්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැට්‍රික්, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, ලංකා වානිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක අශරෝෆ් ඔමාර්, කැපිටල් මහාරාජා විධායක අධ්‍යක්ෂක නිමල් කුක්, ඉන්දියන් විධායක නිලධාරී සංසදයේ ප්‍රධාන විධායක ක්‍රිෂෝර් රෙඩ්ඩි, ශ්‍රි ලංකා වෙලාරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් රොහාන් ජෝෂප් සහ ලරන් ඒෂියා හි ප්‍රධාන විධායක රොහාන් සමරජීව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සබැඳි පුවතක් :
ට්‍රම්ප්ගේ ‘දකුණු ආසියානු උපායමාර්ගික’ පෝල් කපූර්ගේ සංචාරයේ සැඟවුණු න්‍යාය පත්‍රය ?








